වසර 42ක් ශ්‍රී ලංකා වොලිබෝලය සමඟ සිටින “චන්ද්‍රා”

294

අඛණ්ඩව වසර 42ක් ජාතික මට්ටමේ වොලිබෝල් තරගාවලි සංවිධානය කළ අවිස්සාවේල්ලේ කේ. ආර්. චන්ද්‍රසේකර මහතා වෙත වෙළඳසේවා වොලිබෝල් සංගමය මගින් උපහාර පිදීමක් පසුගිය දා සිදු කෙරුණා.

එම උපහාර උළෙලේ දී ඊට හේතු දැක්වුණේ මේ ආකාරයෙන්. 1978 වර්ෂයේ අවිස්සාවේල්ල චන්ද්‍ර ක්‍රීඩා සමාජය නමින් ක්‍රීඩා සමාජයක් ආරම්භ කර 1980 සිට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩකයින් සහභාගී කරවා ගෙන අඛණ්ඩව මෙම තරගාවලිය පවත්වන ලදි. විශේෂයෙන්ම තම පෞද්ගලික ධනය හා ශ්‍රමය කැප කරමින් තම හිතවත් අනුග්‍රාහකයින්ගේ සහාය ලබමින් වසර 42ක කාලයක් අඛණ්ඩව  මෙම තරගාවලිය පැවැත්වීම තුලින් වොලිබෝල් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට ඔහු දැක්වූ ක්‍රියාකාරීත්වයට මෙම උපහාරය පිරිනැමිණි.”

මෙම උපහාරය පිරිනැමෙන අවස්ථාව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, වෙළඳසේවා වොලිබෝල් සංගමයේ සභාපති චන්දන බණ්ඩාර, වෙළඳසේවා වොලිබෝල් සංගමයේ උප සභාපති සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස් නාලක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් ඉදිරියේ සිදු වුනා.

මේක සුවිශේෂී අවස්ථාවක්. මේ ඇගයීම කළේ මට පමණක් නොවේ. අවිස්සාවේල්ලේ අපි හැමදෙනෙක්ටම. වොලිබෝල් තරගාවලියක් සංවිධානය කිරීම යනු සාමූහික ප්‍රයත්නයක්. එතැන දී ලොකු, කුඩා මෙන් ම පැරණි, ආධුනික අපි හැමෝම එක වගේ මහන්සි වෙනවා. මට මේ හැමදෙනාගෙන් ම සහයෝගය නොඅඩුව ලැබෙනවා. ඒක තරගාවලියක් කළමනාකරණය කර ගැනීමට විශාල පහසුවක්. මේ අගය කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා,” උපහාරලාභී කේ. ආර්. චන්ද්‍රෙස්කර මහතා ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

මේ වන විට 69 වැනි වියේ පසුවෙන කරන්දෙණිය රත්නායක චන්ද්‍රසේකර හෙවත් කේ. ආර්. චන්ද්‍රසේකර වොලිබෝල් තරග සංවිධායකවරයෙක්ට අමතර ව ක්‍රීඩකයෙක් සහ විනිසුරුවෙක් ලෙසින් ද වොලිබෝල් පිටියේ සැරිසැරූවෙක්.

ඔහුගේ ක්‍රීඩාවේ ආරම්භය සිදුවෙන්නේ තමන් විසින් අධ්‍යාපන හැදෑරූ අවිස්සාවේල්ල සාන්ත මරියා (St. Mary’s) විද්‍යාලයෙන්.

මම මුලින් ම පාසලේ කරපු ක්‍රීඩාව බාස්කට්බෝල්. ඊට අමතර ව මලල ක්‍රීඩාවේත් නිරත වුනා. වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වුනේ පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරගවලට පමණයි. නමුත් පසු කාලයේ දී බාස්කට්බොල්, මලල ක්‍රීඩාව හැලිලා වොලිබෝල්වලට පමණක් සහභාගී වුනා.”

ඊට ඔහුට හේතුවක් තිබුණා. චන්ද්‍රගේ පියා සේවය කළේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ. ඒ රැකියාවත් සමඟින් ඔවුන් ඒ කාලයේ තරමක් ඇති හැකි පවුලක් ලෙසින් නඩත්තු වුනා. නමුත් චන්ද්‍රට අවුරුදු 10ක් විතර වෙද්දී පියා මෙලොව හැර යනවා.

අපේ පවුලේ සහෝදර සහෝදරියන් 8 දෙනෙක්. තාත්තා මිය ගියාට පස්සේ තාත්තගෙ පැන්ෂන් එකෙන් තමයි අපි නඩත්තු වුනේ . අම්මා ඒ ලැබෙන මුදලින් අපි 8 දෙනාව නඩත්තු කරන්න විශාල මහන්සියක් වුනා. පැන්ෂන් එකේ මුදල ප්‍රමාණවත් නොවන නිසා අමතර ආදායමක් ලෙසින් කඩවල්වලට රස කැවිලි හදල දැම්මා. මේ ආර්ථික අපහසුතාත් සමඟ බාස්කට්බෝල් අතහැරලා වොලිබෝල් පමණක් ක්‍රීඩා කළා. ඒකට ගොඩාක් හේතු වුනේ  බාස්කට්බෝල්වලට අවශ්‍ය සපත්තු වගේ දේවල්වලට යන වියදම අඩු කරගන්න. අපි ඒ දවස්වල වොලිබෝල් ගහද්දී සපත්තු නොදැම්ම තරම්.”

එහෙම වොලිබෝල් තෝරගත්ත චන්ද්‍ර  1967 වසරේ විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමේ නායකත්වයට පවා පත් වෙනවා. ඒ දවස්වල කලාප, දිස්ත්‍රික් සහ පළාත් තරග නියෝජනය කරමින් ශූරතා රැසක් දිනා දීමටත් චන්ද්‍රගේ නායකත්වයෙන් යුත් සාන්ත මරියා කණ්ඩායම සමත් වෙනවා. ඔහුගේ මෙම දක්ෂතා හේතුවෙන් ම අවිස්සාවේල්ලේ තමන්ගේ නමින් ම යුත් චන්ද්‍ර ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමි වෙනවා.

පැරණි තරගයක මතකයක්…

එම ක්‍රීඩා සමාජය සමඟින් රට වටා පැවති තරගවලට සහභාගී වූ චන්ද්‍රා, වසර කිහිපයක් ම එම කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කරනවා. මේ අවදියේ දී දිවයිනේ පැවති ප්‍රබල වොලිබෝල් තරගාවලි කිහිපයක ම ශූරතා දිනා ගැනීමටත් ඔවුන් සමත් වෙනවා.

ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරන අවදියේ ම මම බටංගල, මහරගම, හෙයියන්තුඩුව, සාන්ත ජෝන් බොස්කෝ වගේ ස්ථානවල පැවති නේවාසික පුහුණු වොලිබෝල් විනිසුරු පාඨමාලාවන් හැදෑරුවා. ඊට පස්සේ කාලයක් තරග විනිසුරුවරයෙක් ලෙසින් ද කටයුතු කළා. ඒත් ඒ දිගේ යන්න මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ. ළඟ-පාත තිබුණ තරගවලට තමයි සහභාගී වුනේ. ඒ දවස්වල කැමැත්තෙන් ම කරපු දේ තමයි තරග සංවිධානය කරන එක.”

මේ සෑම තරගයක් ම ඔවුන් සංවිධානය කළේ අවිස්සාවේල්ල චන්ද්‍ර  ක්‍රීඩාංගණයේ දී. චන්ද්‍රාගේ නමින් ම යුත් ක්‍රීඩා සමාජයක්, ඒ නමින් ම යුත් ක්‍රීඩාංගණයක්!

චන්ද්‍ර නමින් අවිස්සාවේල්ලට බොහෝ බැඳීම් තියෙනවා. 1978 වගේ කාලයේ දී අපේ ක්‍රීඩා නිලධාරිණියක් හිටියා චන්ද්‍රා වික්‍රමසිංහ කියලා. ඇය දැල්පන්දු පුහුණුකාරිනියක්. ඇය මුල් වෙලා තමයි මේ ක්‍රීඩාංගණය අපේ ක්‍රීඩා සමාජයට ලබා දුන්නේ. ඉතිං ඒකට ගරු කිරීමක් ලෙසින් මේ ක්‍රීඩාංගණයේ නම චන්ද්‍රා නමින් ම තැබුවා. ක්‍රීඩා සමාජයටත් ඒ නම ම යෝජනා වෙනවා.”

තරග සංවිධානය කිරීමේ දී දිස්ත්‍රික් හා පළාත් තරග රාශියක් එහි සංවිධානය වන අතර කොළඹින් පිටත පැවති සමස්ත ලංකා තරග රාශියක් සංවිධානය කිරීමේ ගෞරවය ද චන්ද්‍ර වෙත හිමි වෙනවා. ජාතික සුපර් ලීග් තරගාවලිය, ගම්උදාව ජාතික තරගාවලිය, මංචි සුපර් ලීග් තරගාවලිය සහ ජනාධිපති රන් කුසලාන තරගාවලිය වැනි තරගවල මූලික තරග සංවිධාන කිරීමේ කටයුතු ඔවුන් විසින් සිදු කළා.

ඊට අමතර ව 1980 නිදහස් දින විවෘත වොලිබෝල් තරගාවලිය, 1984 සහ 2006 වසරවල සෝවියට් රුසියානු ඔලිම්පික් වොලිබෝල් කණ්ඩායමේ මෙරට සංචාරයේ තරග සහ 2004 වසරේ දී ඉන්දියානු කේරළ ප්‍රාන්ත කාන්තා කණ්ඩායමේ මෙරට සංචාරයේ තරග වැනි තරග තිබෙනවා.

මෙරට පැවති භීෂණ සමයේ දී වගේ ම කොරෝනා වැනි උපද්‍රව පැවති කාලයේ දී ද අපි නොකඩවා තරග සංවිධානය කළා. කොරෝනා කාලයේ තරග සංවිධානය කිරීම තමයි අපහසු වුනේ. ඒත් අපි සෞඛ්‍ය නීති සමඟ ඉතා අසීරුවෙන් වූවත් ඒ සංවිධාන කටයුතු කළා. ඇතැම් තරගවලට ආරාධිතයන් ලෙසින් චරිත රත්වත්තේ, මර්වින් ජේ. කුරේ, ඩිලාන් පෙරේරා සහ රංජිත් සියඹලාපිටියට වැනි ප්‍රභූන් ගෙන්වා ගැනීමටත් අපට හැකි වුනා. ඒ වගේ ම පසු කාලයේ අපේ ක්‍රීඩා සමාජයත් සමඟ අවිස්සාවේල්ල ජාත්‍යන්තර සිංහ සමාජයේ ද අනුග්‍රහය ලබා ගනිමින් මෙම තරග සංවිධානය කිරීමට කටයුතු කළා. ඒක අපිට ලොකු පහසුවක් වුනා.”

මේ අතර කාලයේ රට පුරා පැවති තරග නැරඹීමට රට පුරා සංචාරය කිරීම ද චන්ද්‍රගේ එක් පුරුද්දක් වුනා. “සෝවියට් රුසියානු ඔලිම්පික් වොලිබෝල් කණ්ඩායමේ හැම තරගයක් ම නරඹන්න රට පුරා ගියා. ඒක හොඳ අත්දැකීමක් වුනා, අපිට අවිස්සාවේල්ලේ තරග සංවිධානය කරන එකට,” පැවසුවා.

චන්ද්‍ර මේ හැමදෙයක් ම කළේ තමන් කරන රස්සාවත් කරගෙන කුටුම්බයේ වගකීම් ද නිසි ලෙසින් ඉටු කරමින්. චන්ද්‍රගේ බිරිඳ ටී. එල්. කුසුම්. ඇය ගෘහණියක ලෙසින් දරු දෙදෙනෙක්ගේ ද වගකීම් දරමින් චන්ද්‍රගේ වොලිබෝල් සංවිධාන කටයුතුවලට ද මනා සහයෝගයක් ලබා දෙනවා.

ඇයගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. සමහර වෙලාවට ගෙදර දොරේ වැඩ කටයුතු පවා පස්සට දාමින් වොලිබෝල් සංවිධානය කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඇය, මගේ වොලිබෝල් ජීවිතය ගැන හරියට ම දන්න නිසයි.”

චන්ද්‍රගේ දියණිය මංජුලා ශිවන්ති සහ පුතා ගයාන් අර්ජුන කාලයක් වොලිබෝල් ක්‍රීඩා කටයුතුවලට සම්බන්ධ වූවත්, මේ වෙද්දී ඔවුන් ඒ තුළ නැතිම තරම්. දියණියගේ ස්වාමි පුරුෂයා වන වෛද්‍ය සමන් විපුලත් සහ පුතාගේ බිරිඳ වන සංවර්ධන නිලධාරි මහේෂා කරුණාරත්නත් චන්ද්‍රගේ වොලිබෝල් සංවිධාන කටයුතුවලට දැඩි දායකත්වයක් දක්වන බැව් පවසනවා. එමෙන් ම අමායා සහ යෙහාලි යන මිනිබිරියන්ගේ ආදරය ලබමින් ගත කරන ජීවිතය චන්ද්‍රට මහමෙරක් වගේ කියලයි කියන්නේ.

ක්‍රීඩාවට වගේම චන්ද්‍ර කලාවටත් එක සේ ඇලුම් කළා. පාසල් කාලයේ දී කලා කටයුතු රාශියකට ම සහභාගී වූ චන්ද්‍ර ඒ, ඇල්ම හේතුවෙන් ම අවිස්සාවේල්ල චන්ද්‍ර සිනමා ශාලාවේ කළමනාකරු ලෙසින් ද කාලයක් කටයුතු කළා. මේ වෙද්දී ඔහු ඔහුගේ ම ව්‍යාපාරයක් වන චන්ද්‍ර ක්‍රීම් හවුස් ආයතනය පාලනය කරමින් කටයුතු කරනවා.

එමෙන් ම චන්ද්‍ර 1997 වසරේ සිට මේ දක්වා සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙසින් ආගමික හා සමාජ සත්කාරවල නියැලෙන්නෙක් ද වෙනවා.

අවිස්සාවේල්ල දිස්ත්‍රික් 306 සී 1 ජාත්‍යන්තර සිංහ සමාජයේ ආරම්භක සාමාජිකයෙක් ද වන චන්ද්‍ර එය නියෝජනය කරමින් හොංකොං, ජපන් සහ ජර්මන් යන රටවල ද සංචාරය කර තිබෙනවා.

වොලිබෝල් තරග සංවිධානය කිරීමෙන් ලබන තෘප්තිය මේ තරම් කියල ප්‍රමාණාත්මකව කියන්න බැහැ. ඒ වගේ ම මේ තරග සංවිධානය කිරීම් අප වෙත පැවරෙන්නේ ඔවුන් අප කෙරෙහි තිබෙන විශ්වාසය නිසා. ඒවා පළුදු නොවන ආකාරයෙන් වැඩ කළ යුතුයි.

මගේ අම්මගෙ මිනිය ගෙදර තියාගෙනත් මම සමස්ත ලංකා වොලිබෝල් මූලික වටයේ තරගාවලියක් සංවිධානය කළා. තාත්තත් නැතිව ගොඩාක් දුක් මහන්සි වෙලා අපි ව උස් මහත් කළේ අම්මා. අම්මත් වොලිබෝල් ක්‍රීඩාවට ගොඩක් ඇලුම් කළ කෙනෙක්.

ගොඩක් දෙනෙක් කිව්වේ තරගාවලිය කල් දාමු කියලා. ඒත් මට හිතුණා මම අම්මා කෙරෙහි තිබෙන ගෞරවයට කරන උපරිම දේ තරගාවලිය යොදා ගත් දිනවල දී ම පැවැත්වීම කියලා. 

අනිත් ඒක, ඒක නතර කළා නම් ආයිමත් මුල සිට ම කරන්න ඕන. අම්මා ඒ දවස්වල නිතර ම කියන දෙයක් තමයි කිසිම දෙයක් නිසා කිසි කෙනෙක්ව අපහසුවට පත් කරන එපා කියලා. අම්මගේ ඒ කියමනට මම එදා වගේ ම අදත් ගොඩාක් ගරු කරනවා,” කේ. ආර්. චන්ද්‍රසේකර මහතා ThePapare.com සමඟ පැවසුවා.

චන්ද්‍රගේ කැප වීම ඒ තරම්. එය එදා – අද කියා කිසිදු වෙනසක් නැහැ. හෙට දවසේ ද වොලිබෝල් පිටියේ සක්‍රීය සංවිධායකවරයෙක් ලෙසින් කටයුතු කරන්නයි චන්ද්‍රගේ බලාපොරොත්තුව.

ඒ වෙනුවෙන් ඔහුට ThePapare.com පවුලේ සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<