කැමරූන් බ්‍රසීලය මවිත කරයි; Ronaldoගෙන් කොරියාවට තෑග්ගක්

පාපන්දු ලෝක කුසලානය 2022

2081

2022 පාපන්දු ලෝක කුසලානයේ අද (02) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට දකුණු කොරියාව, උරුගුවේ, කැමරූන් සහ ස්විස්ටර්ලන්තය සමත් වුනා.

බ්‍රසීලය සහ කැමරූන්

ලෝක කුසලානයේ මෙතෙක් අපරාජිතව සිටි ප්‍රබල බ්‍රසීලය පරදවා පෙරළිකාර ජයක් ලබා ගැනීමට කැමරූන් ක්‍රීඩකයින්ට හැකි වුනා.

ආරම්භයේ සිටම ආක්‍රමණශීලී වූ බ්‍රසීලය වෙනුවෙන් 14 වැනි මිනිත්තුවේ දී පන්දුව හිසින් ගෝලයට යොමු කිරීමට Gabriel Martinelliට හැකි වූවත්, එය දක්ෂ ලෙස නවතාලීමට කැමරූන් ගෝල රකින්නා සමත් වුනා.

පළමු අර්ධයේ අතිරේක අමතර කාලයේ දී ක්‍රියාත්මක වූ Gabriel Martinelli නැවතත් පන්දුව ගෝලයට එල්ල කිරීමට සමත් වූවත්, එය ද දක්ෂ ලෙස වැළැක්වීමට කැමරූන් ගෝල රකින ක්‍රීඩක Devis Epassyට සමත් වුනේ කැමරූන් බලාපොරොත්තු ඉහළ නංවමිනුයි.

එම අර්ධය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී කැමරූන් ක්‍රීඩක Bryan Mbeumo විසින් ගෝලයක් ලබා ගැනීමට ආසන්න පහරක් එල්ල කළත්, එය දක්ෂ ලෙස නැවතීමට බ්‍රසීල ගෝල රකින්නාට හැකි වූ නිසා පළමු අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

දෙවැනි අර්ධයේ ද Gabriel Martinelli විසින් ගෝලයට පහරක් එල්ල කළත්, එය ද Devis Epassy විසින් වැළැක්වීමට සමත් වුනේ තවත් දක්ෂ ගෝල රැකීමක් ප්‍රදර්ශනය කරමිනුයි.

තරගයේ අවසන් අමතර කාලයේ දී ලැබුණු පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ගෝලයක් වාර්තා කරමින් බ්‍රසීලයට එරෙහිව පෙරළිකාරී ජයක් ලබා ගැනීමට කැමරූන් ක්‍රීඩක Vincent Aboubakarට හැකි වුනා.

බ්‍රසීලය සහ කැමරූන්මෙම තරගයේ පෙරළිකාරී ජයග්‍රහණයක් ලැබුවත්, ස්විස්ටර්ලන්තය ලැබූ ජයග්‍රහණය නිසා තරගාවලියෙන් ඉවත් වීමට කැමරූන් කණ්ඩායමට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 00 – 01 කැමරූන්

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • කැමරූන්: Vincent Aboubakar 90+2’

ස්විස්ටර්ලන්තය සහ සර්බියාව

තීරණාත්මක මෙම තරගයේ 20 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ස්විස්ටර්ලන්තයට අවශ්‍ය ආරම්භය ලබා දීමට Xherdan Shaqiriට හැකි වුනා.

නමුත් එයට පිළිතුරු ලෙස ක්‍රියාත්මක වූ සර්බියා ක්‍රීඩක Aleksandar Mitrovic දඬුවම් රාමුව තුළට පැමිණි පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ගෝල තත්වය සම කළේ 26 වැනි මිනිත්තුවේ දීයි.

35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් ස්විස්ටර්ලන්තයට එරෙහි දෙවැනි ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට සර්බියා ක්‍රීඩක Dusan Vlahovicට හැකි වුනා.

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී Silvan Widmer ලබා දුන් පන්දුවක් ගෝලය ආසන්නයේ සිට දැල වෙත එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට Breel Emboloට හැකි වුනේ තියුණු පළමු අර්ධයක් අවසන් කරමිනුයි.

ස්විස්ටර්ලන්තය සහ සර්බියාවදෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී, එනම් 48 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලයට එල්ල කරමින් කණ්ඩායමේ තෙවැනි ගෝලය වාර්තා කිරීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Remo Freulerට හැකි වුනා.

තරගයේ මුළු කාලය අවසන් වන තුරු වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම නොහැකි වූ නිසා තියුණු ජයක් ලබමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නට ස්විස්ටර්ලන්තය සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ස්විස්ටර්ලන්තය 03 – 02 සර්බියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ස්විස්ටර්ලන්තය: Xherdan Shaqiri 20’, Breel Embolo 44’, Remo Freuler 48’
  • සර්බියාව: Aleksandar Mitrovic 26’, Dusan Vlahovic 35’

පෘතුගාලය සහ දකුණු කොරියාව

තරගාවලියේ පළමු තරග ද්විත්වයම ජයග්‍රහණය කළ පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබූ අතර එම වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් දකුණු කොරියාවට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වුනා.

දකුණු කොරියානු ලෝක කුසලාන බලාපොරොත්තු ආරම්භයේ තරමක් පිටුපසට ඇද දමමින් 5 වැනි මිනිත්තුවේ දී Diogo Dalot ලබා දුන් පන්දුවක් හිස් ගෝලය තුළට පහසුවෙන් එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට පෘතුගාල ක්‍රීඩක Ricardo Hortaට හැකි වුනා.

සිය ප්‍රේක්ෂකයින්ට තරමක බලාපොරොත්තු ගෙන දෙමින් 27 වැනි මිනිත්තුවේ දී Cristiano Ronaldoගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා හිමි වූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට Young-Gwon Kimට හැකි වුනා.

පෘතුගාලය සහ දකුණු කොරියාවමෙම තරගයේ දී සිය සුපුරුදු රිද්මයට පිවිසීමට නොහැකි වූ Ronaldo හට 42 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට හිමි වූ ඉතාම පහසු අවස්ථාවක් මඟ හැරුණා.

දකුණු කොරියානු ප්‍රේක්ෂකයින්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙමින් පැවති මොහොතක අතිරේක කාලයේ දී ලැබුණු පන්දුවක් ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායමට පෙරළිකාරී ජයක් ලබා දීමට Hee-Chan Hwangට හැකි වුනා.

එම ජයත් සමඟ සිය කාණ්ඩයේ දෙවැන්නා ලෙසින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු කොරියාව සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: දකුණු කොරියාව 02 – 01 පෘතුගාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • දකුණු කොරියාව: 27’, Hee-Chan Hwang 90+1’
  • පෘතුගාලය: Ricardo Horta 5’

උරුගුවේ සහ ඝානාව

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඝානාව සහ උරුගුවේ කණ්ඩායම් ද්විත්වයටම ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වුනා.

තරගයේ පෙරමුණ දිනා ගනිමින් උරුගුවේ ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කිරීමට ඝානා ක්‍රීඩකයින්ට 17 වැනි මිනිත්තුවේ දී විශාල අවස්ථාවක් හිමි වුනේ උරුගුවේ ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් නිසයි.

නමුත් එම දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම භාර ගත් Andre Ayew එල්ල කළ පහර සාර්ථකව වැළැක්වීමට උරුගුවේ ගෝල රකින්නාට හැකි වුනේ 2010 ලෝක කුසලානයේ අමිහිරි මතකය ඝානා ප්‍රේක්ෂකයන්ට නැවතත් මතක් කරමිනුයි.

එයින් කෙටි වේලාවකට පසු ක්‍රියාත්මක වූ උරුගුවේ ක්‍රීඩක Giorgian de Arrascaeta දඬුවම් රාමුවට පැමිණි පන්දුවකට හිසින් වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කළා.

32 වැනි මිනිත්තුවේ දී  Luis Suarez ලබා දුන් පන්දුවක් ගෝලයට එල්ල කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Giorgian de Arrascaetaට හැකි වුනේ තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

උරුගුවේ සහ ඝානාවඑම අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කරමින් තරගයට අවතීර්ණ වීමට ඝානාවට හැකි වුනේ නැහැ.

57 වැනි මිනිත්තුවේ දී උරුගුවේ කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළත්, එය නැවත නැරඹීමෙන් පසු අවලංගු කිරීමට ඔහු තීරණය කළා.

තරගයේ දෙවැනි අර්ධය තුළ ගෝල ලබා ගැනීමට හිමි වූ අවස්ථා සාර්ථක කර ගැනීමට දෙපිලට ම නොහැකි වූ නිසා තරගය උරුගුවේ ක්‍රීඩකයින්ට ජය ගෙන දෙමින් අවසන් වුනා.

තරගය ජය ගැනීමට උරුගුවේ ක්‍රීඩකයින්ට හැකි වූවත් ගෝල පරතරය මත තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වුනේ දකුණු කොරියාව ලැබූ පෙරළිකාරී ජයග්‍රහණය නිසයි.

අවසන් ලකුණු තත්වය: උරුගුවේ 02 – 00 ඝානාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • උරුගුවේ – Giorgian de Arrascaeta 26’ & 32

තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<