හදවත රත්තරං Richarlison

2006 Football World Cup Germany

3855
Brazil's Richarlison
(Photo by TIZIANA FABI/AFP via Getty Images)

බ්‍රසීලය කවදත් සුපිරි පාපන්දු තරු බිහි කරපු රටක්. Richarlison කියන්නේ බ්‍රසීලය බිහිකරපු අලුත්ම තරුව.

හැබැයි ඔහු තරුවක් වෙන්නේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් නිසාම විතරක් නෙවෙයි, රත්තරං වටින හදවතක් තියෙන මනුස්සයෙකුත් වෙන නිසා.

Richarlisonට තියෙන්නෙත් බහුතරයක් බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයින්ට තියෙනවා වගේම දුක්බර අතීතයක් එක්ක පෑහුණු සැපවත් වර්තමානයක්.

ඒ හැමදෙයක්ම ඔවුන් ළඟා කරගත්තේ දරිද්‍රතාවයේ උපරිම පීඩාව විඳීමේ ප්‍රතිඵලයක් විදිහට කිව්වත් වරදක් නැහැ.

1997 මැයි 10 වැනිදා ඉඳන් අද වෙනකම් Richarlison ඇවිත් තියෙන්න ගොඩක් දිග ගමනක්, අද වෙද්දී ඔහු බ්‍රසීල ජාතික කණ්ඩායමේ ප්‍රධානම තෝරා ගැනීමක් වගේම, Tottenham ක්‍රීඩා සමාජය වෙනුවෙනුත් කැපී පෙනෙන දස්කම් පෙන්වන ක්‍රීඩකයෙක්.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීලය විසින් රැස් කරලා තියෙන ගෝල තුනෙන් දෙකකම අයිතිය තියෙන්නෙත් ඔහුගේ නමට.

ඒත් අපි නොදන්න, ඔහු සහ ඔහුගේ සමීපතමයින් විතරක් දැන ගෙන හිටිය  Richarlisonගේ වෙනස් පැත්තකුත් තියෙනවා.

ඔහුගේ ඒ කතාව ගැන විස්තර හොයාගෙන යද්දී දැනෙනවා “මනුස්සයෙක් කවදාහරි ජීවත් වෙන්න ඕන මෙන්න මේ විදිහට“ කියලා!

“ගොඩක් අය දන්නේ නැහැ, බ්‍රසීලයේ Barretos වල තියෙන පිළිකා රෝහලකට අනුයුක්තව මට අයිති ගෙදරක් තියෙනවා. ඒ ගෙදර තියෙන්නේ රෝහලේ නතර වෙන්න මුදල් නැති මිනිස්සුන්ට නතර වෙලා ඉන්න. ඔවුන්ට කෑම බීම හැමදේම නොමිලේ ලබා දෙනවා. මම උපයන ආදායමෙන් 10%ක මුදලක් වෙන් කරලා තියෙන්නේ මේ මිනිස්සුන්ට උදව් කරන්න.”

Richarlison විසින් මේ බව හෙලි කරන්නේ බොහොම මෑතක දී, නමුත් මේක ඔහු අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු දෙයක්.

Richarlison උපත ලබන්නේ බ්‍රසීලයේ Espírito Santo හී Nova Venéciaවල දී. කලින් කිව්වත් වගේ ඔහුට තිබුනෙත් බොහෝ බ්‍රසීල ක්‍රීඩකයින්ට වගේම දුෂ්කර අතීතයක්. ඒ අතීතය පිරිලා තිබුණේ දුප්පත්කමින්, මත්ද්‍රව්‍යවලින්, අපරාධවලින්. බ්‍රසීලය කියන්නේ අදටත් ගොඩක් බිම් මට්ටමේ අපරාධ සිද්ධ වෙන පාරාදීසයක් වගේ තැනක්. එහෙම තැනක් ඇතුළේ “තමන් විසින්ම රැකෙනවා” කියන එක කරන්න අමාරු වැඩක්.

“මගේ ගොඩක් යාළුවෝ කළේ වීදි වල මත්ද්‍රව්‍ය විකුණපු එක, ඒකෙන් හරි ඉක්මනට සල්ලි හොයන්න පුළුවන්.

ඒත් මම කළේ චොකලට්, අයිස් ක්‍රීම් වගේ දේවල් විකුණපු එක. එහෙම නැත්තන් කාර් හෝදපු එක. ඒ වගේ දේවල් කරමින් මම මගේ අම්මට උදව් කරා.”

වයස අවුරුදු 14 දී Richarlison ජීවත් වුණු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මාෆියාවේ රජා ඔහුගේ ඔළුවට පිස්තෝලය තියනවා,

“මම ගොඩක් බය වුනා, ඔහු ඒ වෙලාවේ ට්‍රිගර් එක තල්ලු කළා නම් මගේ කතාව ඉවරයි. නමුත් ඔහු මට තර්ජනය කරලා යන්න ගියා.”

Richarlison කුඩා වියේ දී
Richarlison කුඩා වියේ දී

ඒ විදිහට Richarlisonට වයස අවුරුදු 16ක් වෙනකම් ඔහු “තමන් විසින්ම රැකෙමින්” ජීවත් වුනා. එහි අවසාන ප්‍රතිඵලය වුනේ වයස අවුරුදු 16 දී ඔහුට Renato Velasco නම් ව්‍යාපාරිකයා මුණ ගැසීම.

Renato තමයි මට මුලින්ම අවස්ථාවක් දුන්නේ, ඔහු මට පාවහන් යුගලයක් අරන් දුන්නා, පස්සේ ඔහු මට කිව්වා ‘මම ඔබට උදව් කරන්නයි යන්නේ, මොකද ඔබ ළඟ දක්ෂතාවය තියෙනවා’ කියලා.“

Richarlisonගේ කතාව වෙනස් වෙන්න පටන් ගන්නේ එතැනින්, Renato Velasco අද වෙද්දීත් Richarlisonගේ ළඟින්ම ඉන්නවා.

“2017 දී මගේ ජීවිතයේ ළඟම කෙනෙක්ට පිළිකාවක් හැදෙනවා. මම දැක්කා ඇය මොනතරම් අසීරූතාවයක් ඒකෙන් වින්ද ද කියලා, ඒ වගේම ඇයට ආයෙත් තමන්ගේ පරණ ජීවිතයට එන්න කොච්චර අමාරු වුනා ද කියලා.

Geovana ඇය මගේ දෙවැනි මව වගේ, මම ගැන හොයලා බැලුවා වගේම, මම වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරපු කෙනෙක් ඇය.

Barretosවල de Amor රෝහලේ තමයි ඇය පිළිකාවට ප්‍රතිකාර ගත්තේ, ඒ වෙලාවේ තමයි මම තීරණය කළේ de Amor රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් නතර වෙලා ඉන්න Padre Roberto Lettieri ආයතනයට උදව් කරන්න ඕන කියලා. මොකද එතනට එන ගොඩ දෙනෙක් එන්නේ බොහොම දුර ඉඳන්, ඔවුන්ට ඇවිත් ඉන්න හිටින්න තැනක් නැහැ.”

ඒ විදිහට තමයි ඔහු Padre Roberto Lettieri ආයතනය වෙනුවෙන් සිය ආදායමෙන් කොටසක් වෙන් කරන්න තීරණය කරන්නේ.

Richarlison විසින් තමන්ගේ දෙවැනි මව විදිහට මේ සඳහන් කරන්නේ වෙන කිසිම කෙනෙක් ගැන නෙවෙයි, වයස අවුරුදු 16 දී තමන්ගේ ජීවිතය වෙනස් කරපු Renato Velascoගේ පෙර බිරිඳ (ex-wife) ගැන.

මීට වසර පහකට ඉහත දී (2017) දී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් තමන් සහ Geovana අතර තියෙන බැඳීම ගැන ඔහු හෙළිකරා.

Renatoගේ බිරිඳ (Geovana) මම වෙනුවෙන් කෑම පිළියෙල කරලා දෙනවා, මාව බලා ගන්නවා. ඇයගේ කෑම බ්‍රසීල ෆුඩ් ට්‍රක් වල කෑම වගේ රසයි.“

Richarlison පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යද්දී ඔහුට ගෙදරින් පිට වැඩි කාලයක් ඉන්න වෙනවා, ඒ කාලයේ ඔහුව අම්මා කෙනෙක් වගේ රැක බලා ගන්නේ Geovana විසින්. පසුව ඇයට පිළිකාවක් වැලඳෙනවා. එතන දී තමන් විසින් කළ යුතු හරිම දේ මොකද්ද කියන්න Richarlison දැන ගෙන හිටියා.

වඩාත් වැදගත්ම දේ තමයි ඔහුට අදටත් ඒ හැම දෙයක්ම මතකයි, සහ අදටත් ඔහු ඒ වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටු කරනවා.

Richarlison සහ Geovana
Richarlison සහ Geovana

මේ කතාව ඉස්සරහට තවත් ලස්සන වෙනවා!

Richarlison විසින් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට උරුගුවේ සමඟ පැවැත්වුණු තරගයක ආරම්භ ගෝලය ලබා ගන්න සමත් වෙනවා, තරගය බ්‍රසීලය ගෝල 2-0ක් විදිහට ජයග්‍රණය කරනවා.

තරගයෙන් පස්සේ Richarlison මාධ්‍යවේදීන් හමුවට එනවා,

“අවාසනාවකට Amapa වල ඉන්න මිනිස්සුන්ට මගේ ගෝලය බලන්න බැරි වුනා, මොකද ඔවුන්ට සති දෙකක ඉඳලා විදුලි බලය නැහැ.

ඔවුන් අසීරු කාලයක් ගෙවමින් ඉන්නේ, මම විශ්වාස කරනවා ඒකට විසඳුමක් ලැබේවි කියලා. මම මගේ ගෝලය වගේම මේ ජයග්‍රහණයත් Amapa වල ඉන්න ජනතාව වෙනුවෙන් වෙන් කරනවා.”

Richarlison තමන්ට ක්‍රීඩකයෙක් විදිහට තව කෙනෙක්ගේ ජීවිතයක් සුඛ වත් කරන්න ලබා දෙන්න පුළුවන් ඉහලම බලපෑම කරන්න පුදුමාකාර උත්සාහයක් ගන්නවා.

මේ ඊට තවත් උදාහරණ කිහිපයක්!

*ලොව විශාලතම නිවර්තන තෙත් බිම වන Pantanal හී 2020 වර්ෂයේ දී ගින්නක් ඇති වෙනවා, ඒ ගින්න නිසා අති විශාල භූමි ප්‍රමාණයක් දැවී යනවා.

*සමාජ මාධ්‍ය ප්‍රවර්ධකවරියක් වුනු Mariana Ferrer නම් තරුණිය බ්‍රසීලයේ රාත්‍රි සමාජ ශාලාවක දී දූෂණය කරනවා, මේ සිදු වෙන්නේ 2018 වර්ෂයේ දී. ඒ සිදුවීම බ්‍රසීලයේ ඉතා දැඩි ලෙස කතා බහට ලක්වුණු සිදු වීමක්.

*2020 වර්ෂයේ දී බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ වල සිදු කරපු වැටලීමකින් Joao Pedro නම් වයස අවුරුදු 14ක කුඩා දරුවෙක් එරට පොලිසිය අතින් ඝාතනය වෙනවා.

*2020 වර්ෂයේ දී ම බ්‍රසීලයේ සුපිරි වෙළඳසැලක් අසල දී ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදු කළ පහර දීමකින් 40 හැවිරිදි කළු ජාතික පුද්ගලයකු වුණු Joao Alberto Silveira නම් අයකු ඝාතනය වෙන අතර, පසුව එය ජනවාර්ගික ගැටලුවක් දක්වා පරිවර්තනය වෙනවා.

මේ හැම සිදුවීමක දී ම මහජනයා වෙනුවෙන් කිසිදු ලාබාපේක්ශාවකින් තොරවම Richarlison විසින් පෙනී සිටියේ තමන්ට ජනතාව සහ මාධ්‍ය අතර ඇති පිළිගැනීම යොදා ගනිමින් එම ගැටලු නිරාකරණය කිරීමට සහ සාධාරණ තීන්දුවක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

“ඔහු පුදුමාකාර ළමයෙක්, ඔහුගේ හදවත ඉතා පිරිසිදුයි. ඔහු මේ වගේ සමාජ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන මම ආඩම්බර වෙනවා. ඔහු ඉන්න තැන එක්ක ,ඔහුගේ හඬට පිළිගැනීමක් තියෙනවා. මගේ මතකය හරි නම් ඔහු තමයි මෑත කාලයේ වැඩියෙන්ම මේ වගේ ගැටලු ගැන අවධානය යොමු කළේ. ඔහු හරියට අපේ යුරෝපා තානාපති වගේ.”

ඒ විදිහට Richarlison ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ ඔහුගේ godfather වන Marco Silva විසින්.

එතැනිනුත් නතර නොවුනු Richarlison විසින් Tabelinha de Craque නම් ආධාර මුදල් එකතු කිරීමේ ප්‍රවර්ධන නිලධාරියෙක් ලෙසත් කටයුතු කරන්න එකතු වෙනවා. ඒ සියලු මුදල් Covid-19 මර්දනය කිරීම වෙනුවෙන් යෙදවෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

බාහිර සමාජයට අප්‍රසිද්ධියේ උදව් කරන, සමාජ ගැටලුවලට පප්‍රසිද්ධියේ මැදිහත් වෙන මෙම 25 වියැති තරුණයා මේ වෙන කොට බ්‍රසීලයේ වෙසෙන තමන්ගේ සමීපතම ඥාතීන් සියල්ලන්ටම පාහේ නිවාස මිල දී ගෙන තිබෙනවා.

Richarlison විසින් මෙවර ලෝක කුසලානයේ ගෝලයක් ලබාගැනීමෙන් අනතුරුව
Richarlison විසින් මෙවර ලෝක කුසලානයේ ගෝලයක් ලබාගැනීමෙන් අනතුරුව

මේ හැම දෙයක් ම Richarlison විසින් කරද්දී, ලෝකේ කොහෙත් එකයි කියලා එහෙත් දේශපාලනඥයින් ඔහු පසු පස්සෙන් වැටිලා ඉන්නවා ලු ඒ දේවල් වලට තමන්ගේ නමත් ගාව ගන්න.

නමුත් Richarlison නම් ඒ කිසිම කෙනෙක් එක්ක සමීප මිත්‍රත්වයක් පවත්ව ගන්නේ නැතුව පුළුවන් තරම් ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්නවයි කියලා ඔහුගේ මිතුරෙක් කියලා තිබුණේ.

තමන්ට අයිති ඉඩම් පවා බලෙන් ඩැහැ ගන්න මාන බලන ඉඩම් හිමියන්ගෙන් එන පීඩනය දරා ගන්න බැරුව, මානසික අවපීඩන තත්වයකට පවා ගොදුරු වුණු තම පියා දිහා බලාගෙන Richarlison තමන්ටම  පොරොරොදු වෙනවා “නිවැරදි දේ වෙනුවෙන් සටන් වදින්න”.

ඔහු විසින් අද කරන්නේ ඒ පොරොන්දුව ඉෂ්ට කිරීම පමණයි!

ඉහත සඳහන් කරපු දේ වලින් සමහර දේවල් බොහෝම මෑතක් වෙනකම් ම Richarlison විසින් වැඩි ප්‍රසිද්ධියක් නොදී කරගෙන ගිය දේවල්, ඒත් ඔහු ළඟ දී ඒ දේවල් ගැන මාධ්‍යයට කියනවා.

“මට ඒ වගේම පාපන්දු ක්‍රීඩා සමාජයක් තියෙනවා එහේ, ඒකේ පවුල් සිය ගණනක ළමයින්ගේ අවශ්‍යතා පියවමින් ඔවුන්ට උදව් කරනවා. මේවා දැන ගත්තාම අනිත් අයත් ඒ විදිහේ දේවල් කරන්න උනන්දු වේවි.”

“ මම මේක කරන්නේ කළ යුතු දෙයක් නිසා නෙවෙයි, මේක මගේ හදවතින්ම එන දෙයක්”

තමන් උදව් කරන පිළිකා රෝහලේ සිටින ළමුන්ගේ ඡායාරූප තමන්ගේ ජංගම දුරකථනයේ ගබඩා කරගෙන ඉන්න, ඒවා දිහා බලලා හදවතින්ම සතුටු වෙන Richarlison තමන්ගේ “රත්තරං හදවත” ලෝකයට විවර කළේ ඒ විදිහට.

ESPN සහ Goal වෙබ් පිටු ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<