ශ්‍රී ලංකාව අභියෝගයක් අවසන්ව තවත් අභියෝගයක් අභියස

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1665

ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින් තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා කිරීමට සමත් වුනා.

එක් අභියෝගයක් එසේ නිමාවට පත් කළ ද ඔවුන්ට සැබැවින් ම මුහුණ දෙන්නට සිදු වන අභියෝගය වන්නේ මැදින් (මාර්තු) මාසයේ දී පැවැත්වීමට නියමිත නවසීලන්ත තරගාවලියයි.

ශ්‍රී ලංකාව පළමු එක්දින ලෝක කුසලානයේ සිට මේ දක්වා පැවැති සෑම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දී ම ඊට ඍජුව සුදුසුකම් ලබා ඇති අතර මෙවර එම තත්ත්වය හිමිකර ගැනීමේ අවිනිශ්චිත තත්ත්වයකුයි මතු ව ඇත්තේ.

ඒ තත්ත්වයෙන් මිදී නැවත ශ්‍රී ලංකාව ගෞරවනීය තත්ත්වයකට පත් කිරීමට නම් මේ ක්‍රීඩකයන්ට එළඹෙන නවසීලන්ත සංචාරයේ දී මුහුණ දීමට සිදු වෙන අභියෝගය වඩාත් දැඩි වෙමින් පවතිනවා.

ඇෆ්ගනිස්තානය සමඟ සහභාගී වූ තරගාවලය ආරම්භ වන විට ද  ශ්‍රී ලංකාව, 2023 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට ඍජුව සම්බන්ධවීමේ හැකියාවෙන් තොරවයි සිටියේ.

ඒ වෙද්දී ඔවුන් එතෙක් තරග 18කට සහභාගී වෙමින් ජයග්‍රාහී තරග 6ක්, පරාජිත තරග 11ක් සහ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසින් ලබා ගත් ප්‍රසාද ලකුණු අනුව 10 වැනි අසුනයි හිමිකරගෙන සිටියේ.

ඇෆ්ගනිස්තාන තරගාවලිය අවසන් වන විට ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 9 වැනි ස්ථානය දක්වා උසස් වීම් ලබා ගන්නවා. දැන් අප රට සතු ප්‍රසාද ලකුණු ප්‍රමාණය 77ක්.

ඇෆ්ගනිස්තානය 7 වැනි අසුන හිමිකර ගනිමින් මෙම තරගාවලියට එක් වූ අතර ඔවුන් තව දුරටත් එම ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත් වුනා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ

ශ්‍රී ලංකාව දක්වා වූ සුපර් ලීග් ප්‍රසාද ලකුණු පුවරුව

TEAM Mat Win Lost Tied N/R Points NRR
1 ඉන්දියාව 21 13 6 0 2 139 0.782
2 නවසීලන්තය 18 12 4 0 2 130 0.731
3 එංගලන්තය 18 12 5 0 1 125 1.219
4 ඕස්ට්‍රේලියාව 18 12 6 0 0 120 0.785
5 බංග්ලාදේශය 18 12 6 0 0 120 0.384
6 පාකිස්තානය 18 12 6 0 0 120 0.217
7 ඇෆ්ගනිස්තානය 15 11 3 0 1 115 0.573
8 බටහිර ඉන්දීය කොදෙව් 24 9 15 0 0 88 -0.738
9 ශ්‍රී ලංකාව 21 7 12 0 2 77 -0.094

ඇෆ්ගනිස්තානු තරගාවලිය නිමා වන්නේ පළමු තරගයේ දී සංචාරක ක්‍රීඩකයෝ ලකුණු 60ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් වන අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. එම තරගයේ විසඳුම සම්බන්ධයෙන් බොහෝ විචාරකයන්ගේ මතය වූයේ එය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට තිබූ තරගයක් ලෙසයි. නමුත් වර්ෂාව විසින් ඒ සියලු බලාපොරොත්තු වැසි දියත් සමඟින්  සෝදා හැරියා.

ඊට අනතුරුව පැවැති තෙවැනි තරගයේ දී තියුණු අවසානයකින් පසුව ශ්‍රී ලංකාව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත්තා. එය නිමා වෙන්නේ ශ්‍රී ලංකා තරග ඉතිහාසයේ මෙරට පැවැති තරග අතුරින් හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණය සහිත එක්දින තරගය ලෙසින් වාර්තා පොත් අතරට එක් වෙමින්.

එම තරගයේ දී චරිත් අසලංක සහ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පෑ වික්‍රමාන්විත පිතිහරඹය කාලයක් යන තුරු ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අමතක නොවනු නියතයි.

නමුත් එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළ ද, තරගාවලිය පුරා තමන් කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමට නොහැකි වීම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ලැබූ විශාල අඩුවක් බැව් හැඟේ.

පන්දු යැවීමේ දී මෙන් ම පන්දුවට පහර දීමේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා අභිබවා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවැතීම අපේ ක්‍රීඩකයන්ගේ අඩු-පාඩු ඉහළින් පෙනෙන්නට හේතු වූවා. එබැවින් වහා එම තත්ත්වයේ වෙනසක් සිදු විය යුතුයි.

විශේෂයෙන් ම ඇෆ්ගනිස්තානයේ ආරම්භක කඩුලු කිහිපය සඳහා පිටියට පිවිසි ක්‍රීඩකයෝ තම කණ්ඩායම ගොඩ නැගූ අයුරු ප්‍රශංසනීයයි. ඊට සාක්ෂි සපයන ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ තරගාවලිය නිමා වෙද්දී තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර පළමු ස්ථාන හතර ම තමන් සතු කර ගත්තා.

එහි පළමු අසුන හිමිකර ගත්, තවමත් 20 වැනි වියේ පසුවෙන, Ibrahim Zadran තරගාවලිය නිමා කරන්නේ ශතක 2ක් සමඟින් ලකුණු 278ක් ලබා ගනිමින්. එහි සාමාන්‍ය 92.66ක්. ඔහු විසින් අවසන් තරගයේ දී වාර්තා කළ ලකුණු 162, ඔහුගේ තරග 8කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගවල හොඳම ඉනිම වූ අතර ඇෆ්ගනිස්තාන එක්දින තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු ප්‍රමාණය ද වූවා.

එතෙක් එම වාර්තාව සතුව තිබුණේ 2015 වසරේ දී සිම්බාබ්වේට එරෙහිව  Sharjah ක්‍රීඩාංගණයේ දී Mohammad Shahzad විසින් නොදැවී වාර්තා කරන ලද ලකුණු 131යි.

Ibrahim Zadranගේ මෙම දක්ෂතාවත් සමඟින් Najibullah Zadran සමඟ එක්ව අවසන් තරගයේ දී සිව්වැනි කඩුල්ලට පන්දු 141ක් වැය කරමින් ලබා ගන්නා ලද ලකුණු 154 එරට තරග ඉතිහාසයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුන හොඳම සබඳතාව ලෙසින් ද වාර්තා පොත් අතරට එක් කිරීමට සමත් වුනා.

තරගාවලියේ ලකුණුලාභී පිතිකරුවන් අතර Rahmat Shah (132), Rahmanullah Gurbaz (126) සහ Najibullah Zadran (125) ශ්‍රී ලංකා පිතිකරුවන් පසු පසට කරමින් මෙම ලැයිස්තුවට එක්වූවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ලැයිස්තුවට එක් වූවන් අතර පැතුම් නිස්සංක (123), චරිත් අසලංක (93) සහ කුසල් මෙන්ඩිස් (70) එතැන් සිට අසුන් වෙන් කර ගත්තා.

තරගයෙන් තරගයට වැඩි පීඩනයක් ගෙන දෙමින් පන්දු යැවූ ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන්නන් ගැන වැඩි කතාබහක් ඇති වූව ද, ඔවුන්ට කඩුලු ලබා ගැනීමෙන් එතරම් ම දක්ෂතා දැක්වීමට හැකි වූයේ නැහැ. එසේ වූවත් ඔවුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පාලනය කිරීමට දැක්වූ දක්ෂතාව නිමා වූ පන්දු යැවීම් ඉනිම් 2 දී ම දැකගත හැකි වුනා.

තත්ත්වය එසේ වූවත් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුව ආරම්භ කරන්නේ 29 හැවිරිදි දකුණතින් වේගපන්දු යැවූ කසුන් රාජිත. ඔහු කාලයකට පසු සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් තරගාවලියේ දී කඩුලු 7ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු අසුන වෙන්කර ගත්තා.

ඔහු දෙවැනි තරගයේ දී ලකුණු 31කට ලබා ගත් කඩුලු 3, ඔහුගේ තරග 13කින් යුත් එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම දක්ෂතාව බවට පත් වුනා. ඔහුගේ ඊට පෙර දක්ෂතා අතර පළමු ස්ථානය හිමිව තිබුණේ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 17කට ලබා ගත් කඩුලු 2යි.

එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ඇෆ්ගනිස්තානයේ 24 හැවිරිදි පා දඟපන්දු යවන Rashid Khan සහ ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සතු වුනා. ඒ කඩුලු 5 බැගින් දවා ගනිමින් පෑ දක්ෂතාවන් හේතුවෙන්.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූවන් අතරින් වඩාත් කතාබහට ලක් වුනේ අවසන් තරගයේ දී ප්‍රදර්ශනාත්මක සුපිරි අවසානයක් හිමි කර දුන් චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ වෙතයි.

නිමා වූ එම ඉනිමත් සමඟින් නැවත වතාවක් චරිත් කෙරෙහි විශ්වාසය ඉහළ මට්ටම කරා පැමිණි අතර 19 හැවිරිදි දුනිත් වෙල්ලාල, පිතිකරුවෙක් ලෙසින් ඉදිරියේ දී තමන්ව ද විශ්වාස කරන ලෙස තේරීම් කමිටුවට සිතීමට ඉඩ සැලැස් වූවා.

එවැනි අභියෝග ඉදිරියේ දී තව තවත් ඇති වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට බලපාවි. එය වඩාත් අපට යෝග්‍ය වන්නේ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන සිතීමේ දීයි.

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගාවලිය වන්නේ තරග 3කින් සමන්විත නවසීලන්ත එක්දින සංචාරයයි. ඒ මත ශ්‍රී ලාංකිකියන්ගේ සියලු බලාපොරොත්තු රැඳී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා සමඟ තරගාවලියට එක් වන නවසීලන්තය ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි අසුන වෙන්කර ගෙන සහභාගී වන බැවින් ඔවුන්ට ඇත්තේ එම තත්ත්වය ආරක්ෂා කර ගැනීම පමණයි. නමුත් ශ්‍රී ලංකාවට එසේ නොවේ. ඔවුන් එම තත්ත්වයට පැමිණීමට නම් නවසීලන්ත කඩඉම පසුකර යා යුතුමයි.

එහි දී චරිත් සහ වෙල්ලාල එක්ව අවසන් තරගයේ දී අභියෝගාත්මක තරග අවසානයක් නිර්මාණය කළ ඉනිම් වැනි වැඩි ඉනිම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙනවා. ඒ සඳහා සූදානම් වීම ඔවුන්ගේ යුතුකමක් කර ගන්නේ නම්, ඒ අභියෝගය ද අපහසු නොවනු ඇතැයි අපගේ විශ්වාසයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<