පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

472

2022 පාපන්දු ලෝක කුසලානයේ අද (28) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට බ්‍රසීලය, ඝානාව සහ පෘතුගාලයට හැකි වුනා.

එමෙන්ම අද (28) පැවති පළමු තරගය වූ කැමරූන් සහ සර්බියාව අතර තරගය ඉතා තියුණු සටනකින් පසුව සමව අවසන් වුනා.

පෘතුගාලය සහ උරුගුවේ

දිනයේ පැවති ප්‍රබලම තරගය වූ මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට පෘතුගාලයට හැකි වුනා.

ප්‍රබල පෘතුගාල කණ්ඩායමට පළමු අර්ධයේ දී පීඩනයක් එල්ල කරමින් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් 34 වැනි මිනිත්තුවේ දී හිමි වූ නමුත්, එය සාර්ථකව වැළැක්වීමට පෘතුගාල ගෝල රකින්නාට හැකි වුනා.

එම අර්ධයේ වැඩි ආධිපත්‍ය රඳවා ගැනීමට පෘතුගාලයට හැකි වූවත්, ගෝල ලබා ගැනීමට අවස්ථාවක් සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

සිය කණ්ඩායමට අවශ්‍යම මොහොතේ දී ක්‍රියාත්මක වූ පෘතුගාල ක්‍රීඩක Bruno Fernandes 54 වැනි මිනිත්තුවේ දී එල්ල කළ පහරක් ප්‍රතිවාදී ගෝල රකින්නා සහ ආරක්ෂක ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසාවෙන් ගෝලයක් බවට පරිවර්තනය වුනා.

තරගය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී උරුගුවේ ක්‍රීඩකයෙකු දඬුවම් රාමුවේ සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහර Cristiano Ronaldo පිටියේ නොමැති නිසා එල්ල කිරීමේ වගකීම හිමි වුනේ Bruno Fernandes හටයි.

සිය වගකීම ඉතා සාර්ථක ඉටු කළ Bruno Fernandes පන්දුව ගෝලයේ වම් කෙළවරින් දැල තුළට ඇතුළු කරමින් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

එම ජයග්‍රහණත් සමඟින් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට පෘතුගාලයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: පෘතුගාලය 02 – 00 උරුගුවේ

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • පෘතුගාලය: Bruno Fernandes 54’ & 90+3’ (P)

බ්‍රසීලය සහ ස්විස්ටර්ලන්තය

ලොව වැඩි අවධානයක් දිනා ගත් 974 ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ආරම්භයේ සිටම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් ප්‍රබල බ්‍රසීලයෙන් දක්නට ලැබූ අතර 29 වැනි මිනිත්තුවේ දී බ්‍රසීල ක්‍රීඩක Vinicius Junior එල්ල කළ ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්න පහරක් අති දක්ෂ ලෙස වළකාලීමට Yann Sommerට හැකි වුනා.

ඉන්පසුව ද බ්‍රසීල ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමට දැරූ උත්සහයන් සියල්ල අසාර්ථක කිරීමට Yann Sommerට හැකි වූ නිසා පළමු අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

Yann Sommerගේ බාධකය බිඳ දමමින් 64 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට බ්‍රසීල ක්‍රීඩක Viniciusට හැකි වූවත් එය නැවත නැරඹීමෙන් පසුව ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා ගෝලය අවලංගු කිරීමට විනිසුරු කටයුතු කළා.

නමුත් 83 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අත්දැකීම් බහුල ක්‍රීඩක Casemiro පන්දුව ගෝලයට එල්ල කිරීමට සමත් වුනේ මෙතෙක් වෙලාවක් දක්ෂ ගෝල රැකීමක නිරත වූ Yann Sommerට ද නැවතීමට ඉඩක් නොතබමිනුයි.

එම ගෝලයෙන් පසු ද බ්‍රසීල ක්‍රීඩකයින් එල්ල කළ පහරවල් කිහිපයක් දක්ෂ ලෙස නවතාලීමට Yann Sommerට හැකි වූවත්, බ්‍රසීලයට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 01 – 00 ස්විස්ටර්ලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • බ්‍රසීලය: Casemiro 83’

සර්බියාව සහ කැමරූන්

ආරම්භයේ සිටම ඉතා උණුසුම් වූ මෙම තරගයේ පළමු ගෝලය 29 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේ කැමරූන් ක්‍රීඩක Jean-Charles Castelletto විසිනුයි.

එයට පිළිතුරු ලෙස පළමු අර්ධයේ අතිරේක කාලයේ දී නිදහස් පහරක් මගින් දඬුවම් රාමුවට ලැබූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට සර්බියා ක්‍රීඩක  Strahinja Pavlovicට හැකි වුනා.

එම ගෝලයේ උණුසුම පහව යාමට මත්තෙන් ක්‍රියාත්මක වූ සර්බියා ක්‍රීඩක Sergej Milinkovic-Savic අතිරේක කාලය තුළ තවත් ගෝලයක් වාර්තා කරමින් පළමු අර්ධයේ සර්බියාව පෙරමුණට ගෙන ආවා.

වාසිදායක පළමු අර්ධයකින් පසුව දෙවැනි අර්ධයේ 53 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලය තුළට එල්ල කරමින් තරගයේ වැඩි ආධිපත්‍ය සිය කණ්ඩායමට ගෙන ඒමට සර්බියා ක්‍රීඩක Aleksandar Mitrovicට හැකි වුනා.

නමුත් 63 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා පසු කර දැල තුළට ඇතුළු කරමින් ගෝලයක් වාර්තා කර සිය කණ්ඩායම නැවතත් තරගයට ගෙන ඒමට කැමරූන් ක්‍රීඩක Vincent Aboubakar සමත් වුනා.

එම ගෝලයත් සමඟ ක්‍රියාත්මක වූ කැමරූන් ක්‍රීඩක Eric Maxim Choupo-Moting විසින් තවත් ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කළේ සර්බියානු ප්‍රේක්ෂකයින්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු සුන්කරමිනුයි.

නැවතත් ගෝල ලබා ගැනීමට කණ්ඩායම් ද්විත්වයටම නොහැකි වීම නිසා තරගය සමව අවසන් වුනා.

අවසන් ලකූණු තත්වය: සර්බියාව 03 – 03 කැමරූන්

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

සර්බියාව: Strahinja Pavlovic 45+1, Milinkovic-Savic 45+3, Aleksandar Mitrovic 53’

කැමරූන්: Jean-Charles Castelletto 29’, Vincent Aboubakar 63’, Eric Maxim Choupo-Moting 66’

දකුණු කොරියාව සහ ඝානාව

පළමු තරගය තියුණු සටනකින් පසුව පළමු තරගය පෘතුගාලය හමුවේ පරාජයට පත් වීමෙන් පසුව තියුණු ලෙස මෙම තරගයට අවතීර්ණ වූ ඝානාව වෙනුවෙන් පළමු ගෝලය 24 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේ Mohammed Salisu විසිනුයි.

එයින් කෙටි වේලාවකට පසුව ප්‍රතිවාදී ගෝලය අසල දී හිමි වූ පන්දුවක් ගෝලයේ වම් කෙළවරට එල්ල කරමින් දෙවැනි ගෝලය වාර්තා කිරීමට ඝානා ක්‍රීඩක Mohammed Kudusට හැකි වුනේ 34 වැනි මිනිත්තුවේ දීයි.

එම අර්ධය තුළ කිසිදු ගෝලයක් රැස් කිරීමට දකුණු කොරියාවට හැකි වුනේ නැහැ,

පළමු අර්ධයේ සිදු වූ පසුබෑමෙන් පසුව දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ දකුණු කොරියාව වෙනුවෙන් පළමු ගෝලය 58 වැනි මිනිත්තුවේ රැස් කිරීමට Gue-Sung Choට හැකි වුනේ පන්දුව හිසින් ගෝලයට එල්ල කරමිනුයි.

එම ගෝලයෙන් මිනිත්තු කිහිපයකට පසුව නැවතත් පන්දුව හිසින් ගෝලය තුළට එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට Gue-Sung Choට හැකි වුනේ ගෝල තත්වය සම කරමිනුයි.

දකුණු කොරියානු ප්‍රේක්ෂකයින්ගේ සතුට තාවකාලික කරමින් 68 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කරමින් නැවතත් ඝානාව පෙරමුණට ගෙන ඒමට Mohammed Kudusට හැකි වුනා.

තරගය සම කිරීමට දකුණු කොරියාවට අවස්ථා කිහිපයක් හිමි වූවත් ඒවා සාර්ථක කර ගැනීමට නොහැකි වූ නිසා තරගය ඝානාවට ජය දෙමින් අවසන් වුනා.

අවසන් ලකුණු තත්වය: දකුණු කොරියාව 2 – 3 ඝානාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

දකුණු කොරියාව: Gue-Sung Cho 58’ & 61’

ඝානාව: Mohammed Salisu 24’, Mohammed Kudus 34’ & 68’

තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<