අසත් පුරුෂයා -ධර්මය සහ ජීවිතය - 19 කොටස

 

                                       photo credit - https://iheartintelligence.com/

‘‘යානි කානිචි, භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො, යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො;

“මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී.

-බහුධාතුක සූත්‍රය - මජ්ජිම නිකාය-

                               photo credit -https://www.drjamesdobson.org/

අසත් පුරුෂයා කියන්නෙ සතුරාට නෙවෙයි. සතුරාටත් වඩා භයානක කෙනෙක්.සමහරවිට අපේ ලඟින්ම ඉන්න කෙනා වෙන්නත් පුලුවන්. සතුරා ප්‍රකටයි. එයා සතුරා බව දන්නවා. ඒ නිසා පරිස්සම් වෙන්නත් පහසුයි. ඒත් අසත් පුරුෂයා නිසා සිදුවන අලාභ එමටයි. අසත් පුරුෂයා නිසා පැමිණෙන දුක අපමණයි. ලෞකික ජීවිතයක් ගත කරද්දි මේ අසත් පුරුෂයා තමන්ගේ භාර්යාව උනොත්, සැමියා උනොත්, දරුවා උනොත්, එතනින් පරිස්සම් වෙන්න ඉතාම අසීරුයි. එහෙම අයෙක් ඉන්න තැන උභතෝකෝටික ප්‍රශ්න වැලකට මුහුණ දෙන්න සිදුවෙන්න වෙනවා. ගැලවෙන්න බැරි මහා කරදර දුක්කම්කටොලු රාශියකට මුහුණ පාන්නට සිදු වෙනවා. 

සමාජ සම්මත බැඳීම් හමුවේ එබඳු අසත්පුරුෂ අය සමග සිටීමේදී, යමෙකුට බොහෝ දුක් උසුලන්නට සිදුවෙනවා. සමාජ සම්මත බැඳීම් නිසා ඔහුට ඉවසීම සහ විඳ දරා ගැනීම හමුවේ නිහඬව සිටින්නට සිදුවෙනවා. කෙතරම් කටුක උනත් කෙතරම් කෲර උනත්, කෙතරම් ඛේදනීය නින්දා අපහාස ආවත්, එම වගකීම් සහ යුතුකම් අත්හැර දමා යන්නට හෝ ඔවුන් කෙරෙන් වෙන්ව යන්නට ඇති නොහැකියාව මත තව දුරටත් රැඳෙමින් සියලු දුක් කම්කටොළු නින්දා අපහාස තාඩන පීඩන සිත් රිදීම් දරාගෙන සිටින්නට සිදුවෙනවා. එවිට සත්පුරුෂයා කල්පනා කරනවා මේ සංසාරයේ කල කර්ම වල විපාක ගෙවාදැමීමක් හැටියට. ඔහුට වෙන කිසිදු විකල්පයක් නැහැ ඒ සියලු දුක් ඉවසා සිටීම හැර. එයට හේතුව අසත්පුරුෂයා ස්ත්‍රියක් වේවා පිරිමියෙක් වේවා,සැමියෙක් වේවා බිරිඳක් වේවා,දරුවෙක් නෑයෙක් වේවා, හැමවිටම කළගුණ නොදන්නා අයෙක් වීමයි. ද්වේශය ක්‍රෝධය පිරි මනසකින් යුක්ත අසත්පුරුෂයා, හැමවිටම තමාගේ වරද නොදකියි. තමාගේ වරද පෙන්වා දෙන කෙනා සතුරෙක් සේ සළකයි. අසත්පුරුෂයා අතින් සිදුවන්නේම විනාශයයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ "මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේ නම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී" කියා.

බුදුරජාණන් වහන්සේ අසත් පුරුෂයා පිලිබඳව දීර්ඝ විස්තරයක් භික්ෂු සංඝයා ඉදිරියේ දේශනා කරනු ලබනවා.එය සංවාදාත්මක ස්වරූපයෙන් මෙසේ දක්වා තිබෙනවා.
ජානෙය්‍ය නු ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසං ‘අසප්පුරිසො අයං භවන්ති? 
මහණෙනි..අසත්පුරුෂයා යම් කාරණයක් නිසා තවත් කෙනෙක් මේ කෙනා අසත් පුරුෂයෙක් ලෙස දකින්නේද?
නැත ස්වාමීණී
එය එසේමයි මහණෙනි..අසත් පුරුෂයා යම් කාරණයකින් තවත් අයෙක් මේ අසත් පුරුෂයෙක් කියා දකිනවා කියන එක සිදුවන්නෙ නැහැ.

 ජානෙය්‍ය පන, භික්ඛවෙ, අසප්පුරිසො සප්පුරිසං - සප්පුරිසො අයං භවන්ති? එසේනම් මහණෙනි..අසත් පුරුෂයා යම් කාරණයක් නිසා වෙනත් අයෙක් මේ නම් සත් පුරුෂයෙක් කියා දකියිද?
‘‘නො හෙතං, භන්තෙ’’. 
නැත ස්වාමීණී
මැනැවි මහණෙනි..අසත් පුරුෂයා යම් කාරණයක් නිසා වෙනත් අයෙක් මේ නම් සත් පුරුෂයෙක් කියා දකිනවා කියන එක සිදුවන්නෙ නැහැ. 
-චූළපුණ්ණම සූත්‍රය-මජ්ජිම නිකාය-

මේ සංවාදය තුල  ඉතාම වැදගත් මූලසාධකයක් මතුවෙනවා. අසත්පුරුෂයා අසත්පුරුෂ පාපී ක්‍රියාව තුල නිරත තවත් කෙනෙක්ව, අසත්පුරුෂයෙක් හැටියට දකින්නෙ නැහැ.එහෙම වෙන්න විදිහක් නැහැ කියා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඇයි ඒ? අසත්පුරුෂයා අසත්පුරුෂ ක්‍රියා වලටයි කැමැත්ත දක්වන්නෙ.සතුටු වෙන්නෙ.අනුමත කරන්නෙ. "ගැහුවොත් ගහපං, මැරුවොත් මරපං, රිද්දුවොත් ඇතිවෙන්නම රිදවපං,එහෙම නොකලොත් වැඩක් නැහැ" මේ අසත් පුරුෂයාගේ දැක්ම. ඒ නිසා අසත්පුරුෂ ක්‍රියාවේ යෙදෙන වෙනත් අයෙක්ව ඔහු  වීරයෙක් හැටියට මිසක කවදාවත්ම අසත් පුරුෂයෙක් හැටියට දකින්නෙ නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා භික්ෂූන් ගෙන් මහනෙනි අසත්පුරුෂයා කවදාවත් සත්පුරුෂ යහපත් කෙනෙක්ව,සත්පුරුෂයෙක් හැටියට දකියිද කියා. භික්ෂු පිරිස උත්තර දෙන්නෙ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ පිලිතුරු දෙන්නේ ඒක එහෙමම තමයි. අසත් පුරුෂයා කවදාවත් සත්පුරුෂයාගේ යහපත්බව දකින්නෙ නැහැ කියලා. 

අසත්පුරුෂයාට සත්පුරුෂයා ගේ ඉවසීම හික්මීම යුතුකම් මැනවින් ඉටුකිරීම පෙනෙන්නේ, නිවට බියගුළු කමක් හැටියට. ඒ නිසා අසත් පුරුෂ ධර්මතා වලින් අන්ධ වෙච්ච කෙනා සත්පුරුෂ ගුණ ගරුක ඉවසීම සහිත පාපයට ලජ්ජාව බය සහිත කෙනාව පීඩාවට පත් කරන ආකාරයෙන් තමයි කටයුතු කරන්නෙ. මොකද අසත්පුරුෂයා දන්නවා ඒ කෙනා බැන්නට බනින්නෙ නැහැ කියලා. ගැහුවට ගහන්නෙ නෑ කියලා. රිදෙව්වට පෙරලා ප්‍රතිචාර දක්වන්නෙ නැහැ කියලා. නින්දා කලාට ගැරහුවාට වෙනස්කම් කලාට ඒවා කෙරෙහි කළහ කොළාහල කරගන්නෙ නැහැ කියලා. ඔහුගේ මුනිගුණ මුනිවත තුල රඳවා ගෙන කටයුතු කරන නිසා අසත්පුරුෂයා නිතරම හිතනවා ඔහුව යටකරගෙන තමන්ගේ අණසකට යටත් කරගන්නට. ඔහු එයින් කෲර සතුටක් ලබනවා. 

                       photo credit - https://www.pinterest.com/


 අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ
"අසප්පුරිසො, භික්ඛවෙ, අස්සද්ධම්මසමන්නාගතො හොති, අසප්පුරිසභත්ති අසප්පුරිසභත්තී හොති, අසප්පුරිසචින්තී හොති, අසප්පුරිසමන්තී හොති, අසප්පුරිසවාචො හොති, අසප්පුරිසකම්මන්තො හොති, අසප්පුරිසදිට්ඨි අසප්පුරිසදිට්ඨී හොති; අසප්පුරිසදානං දෙති’’.
අසත්පුරුෂයා මහණෙනි අසද්ධර්මයෙන් යුතු කෙනෙක් නිසා. එයා හොයන්නෙම අසත්පුරුෂයින්මයි. එයාට තියෙන්නෙ අසත්පුරුෂ සිතිවිලි සහිත අසත්පුරුෂ සිතක්මයි. අසත් පුරුෂ විදියට කතාකරන, අසත්පුරුෂ කථා අහන, ඒ කෙනා කරන්නෙත් අසත්පුරුෂකම් මයි. එයාගෙ දෘශ්ඨියම අසත්පුරුෂයි. එයා දෙන්නෙත් අසත් පුරුෂ දානයමයි.

අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ විමසුම
1."අසප්පුරිසො අස්සද්ධම්මසමන්නාගතො හොති" කුමක්ද මේ අසත්පුරුෂ ධර්මයෙන් සමන්නාගතයි කියන්නෙ. අසත්පුරුෂයා ගේ පළමු ලක්ෂණය තමයි ඔහු තුල ශ්‍රද්ධාව නොමැතිකම. ඒ නිසාම ඔහු පාපායට දසඅකුසලයට ලජ්ජා වෙන්නෙ නැහැ.බයවෙන්නෙ නැහැ. ඒ නිසාම ඔහු බහුශ්‍රැත නැහැ. අල්පශ්‍රැතයි. ඔහු කුසීත කම්මැලි විදියට දවස ගෙවන්නෙ.යුතුකම් ඉටුකරන්නට ඔහු දන්නෙ නැහැ. ඒ නිසා ඔහු ප්‍රඥාවෙන් පිරිහෙයි. මේ ලක්ෂණ වලින් ඔහු අසත්පුරුෂ ධර්මයෙන් සමන්නාගත යැයි හැඳින්වෙනවා.
2."අසප්පුරිසො අසප්පුරිසභත්ති හොති" යනුවෙන් හැඳින්වෙන්නේ, ඔහු ඇසුරු කරන්නට ප්‍රිය කරන්නේද කුසීත කම්මැලි විදියට දවස,හිස් අසත්පුරුෂ කතා කියන, හිස් අසත්පුරුෂ කතා අහන, පාපායට දසඅකුසලයට ලජ්ජා බය නැති, අල්පශ්‍රැත ප්‍රඥාව පිරිහුනු අයයි. ඔහුට ගැලපෙන්නේ එබඳු අයගේ කථායි. ඔහුට ගැලපෙන්නේ එබඳු අයගේ අදහස්මයි. ඒ නිසා ඔහු සොයන්නේද එබඳුම අයයි. 
3."අසප්පුරිසො අසප්පුරිසචින්තී හොති" යනු කුමක්ද? සෑමවිටම අසත්පුරුෂයා සිතන්නේ අනුන්ට අයහපතක් ගෙනෙන අනුන්ට දුක් පිණිස පහළවන සිතිවිලිය. ඒ වගේම ඒ සිතිවිලි ඔහුටද සැපක් සේ පෙනුනාට ඔහුටම දුක පිණිස පවතියි. එය ඔහුටද ලෝකයාටද දෙපාර්ශවයටම අහිත පිනිස, දුක් පිණිස, පවතින සිතිවිලිය.ඒ සිතිවිලි අසත්පුරිස සිතිවිලි නම් වේ.
4."අසප්පුරිසො අසප්පුරිසමන්තී හොති" යනු අසත්පුරුෂයා කථබහ කරන්නේ ආත්ම පීඩාව පිණිස පවතින කථාවන්ය. ඒ වගේම පරපීඩාව පිනිස පවතින කථාවන්ය. තමාටත් අනුන්ටත් පීඩාව පිණිසම පවතින කථාවන්ය.
5."අසප්පුරිසො අසප්පුරිසවාචො හොති" ,යනු අසත්පුරුෂයා බොරු කියයි.කේළාම් කියයි. රළු පරොළු පරුෂ වචන කියයි. හිස් වචන හෙවත් දෙතිස් කතාවෙහිම යෙදෙයි. ඒ ඔහු පාපයට අකුසලයට බයක් හෝ ලජ්ජාවක් නොමැති හෙයින්ය.
6."අසප්පුරිසො අසප්පුරිසකම්මන්තො හොති" යනු, අසත්පුරුෂයා ප්‍රාණඝාතය  සහ පරපීඩාව හෙවත් අනුන්ට කායිකව මානසිකව පීඩාවට ලක්කරයි. සොරකම් කරයි. කාමයන් කෙරෙහි වැරදි සහගත ලෙස හැසිරෙයි. 
7. "අසප්පුරිසො අසප්පුරිසදිට්ඨි හොති" යනු, අසත්පුරුෂයා තුල අවම වශයෙන් වත් කම්මස්සකතා සම්මා දිට්ඨිය හෙවත් ලෞකික සම්මාදිට්ඨියවත් නැත. තිබුනත් එය අසත්පුරුෂභාවයෙන් මිදෙන්නට ප්‍රමාණවත් තරමට නැත. ලෞකික සම්මාදිට්ඨිය කියන්නෙ "දානයෙහි විපාක ඇත.ශීලයෙහි විපාක ඇත.  පූජාවෙහි විපාක ඇත. කර්මයන්ගේ ඵලයක් හෝ විපාකයක් ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවට කරන ලද හොඳ නරකවල විපාක ඇත. පියාට කරන ලද හොඳ නරකවල විපාක ඇත. මරණයෙන් පසුව පරලොව උපදින සත්වයන් ඇත. යමෙක් මෙලොව ද, පරලොවද, තම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳු වූ යහපත් බවට පැමිණියාවූ  ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇත " යන දෘශ්ඨියයි.
8."අසප්පුරිසො අසප්පුරිසදානං දෙති" යනු, අසත්පුරුෂයා දන් දෙන්නේ මනාව සකසා නෙවෙයි. මනාව සකසා කියන්නේ තුන්සිත පහදවාගෙන, සෝමනස්ස සහගතව ඤාණ සම්ප්‍රයුක්තව දෙන දානයට. අසත්පුරුෂයා දන් දෙන්නේ එහෙම නෙවෙයි. ඔහු දන් දෙන්නේ සකසා නෙවෙයි. ඒ වගේම තමා අතින්ම නෙවෙයි. දානය ලබන කෙනා ගැන ගෞරවයකිනුත් නෙවෙයි. වීසි කරනු කැමැත්තෙන් බැහැර කරනු කැමැත්තෙන්, දමා ගසන පරිද්දෙන්, අපිරිසිදුව අපිලිවෙලටයි ඔහු දෙන්නෙ. ඒ වගේම "මේවා දුන්නට මොනා ලැබෙනවද" යනුවෙන් දුන් දේ විපාක පිලිබඳව නොතකා දෙන්නන් වාලේ දෙයි. 

අසත් පුරුෂයා බාලයා ය. දුර්ජනයා බාලයා ය. අධමයා බාලයා ය. කුහක ඊර්ෂියාකාරී පුද්ගලයා බාලයා ය. උඬඟු, අහංකාර, පුහු, හිස් කෙනා බාලයා ය. විෂම අදහස් වලින් හිස උදුමවාගත් නූගත් උද්ධච්ච කෙනා බාලයා ය. ශිෂ්ඨ සම්පන්න හැසිරීම් බාලයාට නොමැත. බාලයාගේ දර්ශනය සම්මා දිට්ඨිය නොව මිත්‍යා දෘශ්ඨියයි.
බාලයා පිළිබඳ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න

                                    photo credit - https://bnn-news.com/


අසත්පුරුෂයන් ගේ ලක්ෂණ බොහෝමයි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අසත් පුරුෂ බිරිය  ගැනද සඳහන් කර තිබෙනවා. 
පදුට්ඨචිත්තා අහිතානුකම්පිනී,
අඤ්ඤෙසු රත්තා අතිමඤ්ඤතෙ පතිං;
ධනෙන කීතස්ස වධාය උස්සුකා,
යා එවරූපා පුරිසස්ස භරියා;
යම් පුරුෂයකු ගේ භාර්‍ය්‍යාවක් තම සැමියා කෙරෙහි දුෂ්ඨ වූ චේතනාවෙන් අනුකම්පාවක් නැතිද, වෙනත් පුරුෂයන් ප්‍රියකරයිද, තමන්ගේ සැමියාට වඩා ඉහලින් සිතයිද, සැමියා ඉක්මවා යයිද, සැමියාට වදයක් පිණිසම හැසිරෙයිද, ඒ භාර්යාවට වධක භාර්යාව යැයි කියනවා. 

යං ඉත්ථියා වින්දති සාමිකො ධනං,
සිප්පං වණිජ්ජඤ්ච කසිං අධිට්ඨහං;
අප්පම්පි තස්ස අපහාතුමිච්ඡති,
යා එවරූපා පුරිසස්ස භරියා;
‘චොරී ච භරියා’ති ච සා පවුච්චති.
යම් සැමියෙක් ඔහු දන්නා  ශිල්පයෙන්ද, වෙළඳාමෙන් හෝ ගොවිතැනින් හෝ රැකියාවකින් යම් ධනයක් උපයයිද, ඒ ධනයෙන් කුමන හෝ කොටසක් සඟවා ගන්නට යම් භාර්යාවක් කැමති වන්නේද ඒ භාර්යාවට චොර භාර්‍ය්‍යාවයයි කියනවා.

අකම්මකාමා අලසා මහග්ඝසා,
ඵරුසා ච චණ්ඩී දුරුත්තවාදිනී;
උට්ඨායකානං අභිභුය්‍ය වත්තති,
යා එවරූපා පුරිසස්ස භරියා;
‘අය්‍යා ච භරියා’ති ච සා පවුච්චති.
යම් භාර්යාවක් වැඩට කම්මැලිද, කුසීතද, පමණ ඉක්මවා ආහාරයට ප්‍රියකරමින් නිකරුනේ කල් ගත කරයිද, නපුරු වචන කියන, කෲර කෝපගති ඇතිද, උත්සාහවත් සැමියාගේ ඒ උත්සාහයන් යටපත් කරයිද, ඒ භාර්යාවට ස්වාමි භාර්යාව යැයි කියනවා.
-අංගුත්තර නිකාය- ආඛ්‍යාකතවග්ගය-  සප්තභාර්යා සූත්‍රය-

ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැවත සිහිපත් කොට වදාරනවා ක්‍රෝධය සහිත අසත් පුරුෂ කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා, ඔවුන් සතුරන්ට ප්‍රියකරන, සතුරන් ඇතිකරගන්නාවූ ධර්මතාවයන් හතක් තිබෙනවා කියා.
1. ක්‍රෝධ බහුල ස්ත්‍රිය වේවා පුරුෂයා වේවා මොනතරම් ස්නානය කොට සුවඳ විලවුන් ගල්වාගෙන සිටියත්, දැලි රැවුල් බා, පිරිසිදු වස්ත්‍රයෙන් සුදුපාට ඇඳුමින් සැරසී සිටියත්, මේ කෙනාගේ මුහුණ හෝ සමේ වර්ණය දුර්වර්ණ වෙනවා. ඒ වගේම තමන්ගේ ක්‍රෝධයට පාත්‍රවන කෙනාද දුර්වර්ණ වනු දැකීම එයාගෙ කැමැත්ත වෙනවා. තමන්ගේ ක්‍රෝධයට පාත්‍රවන තැනැත්තාගේ ශරීර පැහැපත් වර්ණය එයා ඉවසන්නෙ නැති වෙනවා.
2.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, කෙතරම් සුවපහසු නිදි යහනාවක් ලැබුනද, ක්‍රෝධය නිසාම නින්ද නැති දුකසේ සයනය කරයි. ඒ වගේම එයා කල්පනා කරනවා තමන්ගේ ක්‍රෝධයට පාත්‍රවන කෙනාටද නින්ද අහිමි වේවා කියා. මක්නිසාද යත් මේ අසත්පුරුෂ කෙනා කිසිදාක තමන් ක්‍රෝධ කරන කෙනාගේ සැපයට කැමති නැති නිසා.
3.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනාගේ අභිවෘද්ධිය දියුනුව කිසිදා නොඉවසන නිසා, හැමවිටම සිතන්නේ ඒ කෙනා දියුනුවෙන් පිරිහෙනවා නම් හොඳයි කියාය. සන්තක දේ නැති නාස්ති වී විනාශ වී යනවා නම් ක්‍රෝධ බහුල අසත්පුරුෂයා බෙහෙවින් සතුටු වෙනවා.
4.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනාගේ භවභෝග සම්පත්, මිලමුදල්, දේපල ඉඩකඩම් යානවාහන ගෙවල් දොරවල් ආදිය ගැන .කැමති වෙන්නෙ නැහැ. එහෙම දේවල් තියෙනවා දකින්නවත් එයා කැමති නැහැ. ඒ නිසා හැමතිස්සෙම එයා හිතන්නෙ අර පුද්ගලයා දහදිය මහන්සියෙන් වීරියෙන් උත්සාහයෙන් රැස්කල ඒ දේවල් නැතිවෙනවා නම් විනාශ වෙනවා නම් හොඳයි කියා. ඒ නිසා කුමන ක්‍රමයකින් හෝ නීතියේ රැහැනට හෝ පටලවා ඒවා රාජසන්තක කරන්නට වුව එයා මැලි වෙන්නෙ නැහැ.
5.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනාගේ හිතමිතුරන් ඔහුට නැති වෙනවා නම් හොඳියි කියා හිතනවා. එයට හේතුව ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ඒ ක්‍රෝධය සහිත අසත්පුරිස ගති නිසා තමන්ට මිතුරුව සිටි ලේ නෑයන්ද, හිතමිතුරන්ද, අසල්වාසීන්ද දුරින් දුරු කර ඇති නිසාය.
6.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනා ලෝකයාගේ කීර්තියට,ප්‍රසිද්ධියට ලක්වීම නුරුස්සයි. ඔහු සිතන්නේ ඒ කෙනාගේ කීර්තිය ප්‍රසිද්ධිය ඔහුට අහිමි වෙනවා නම් හොඳයි කියාය. අන් අය ඔහුට බොහෝ සෙයින් ආදරය කිරීම, බොහෝ සෙයින් ගරු කිරීම සහ ඔහු වටා සිටීම අසත්පුරුෂයා නුරුස්සයි. මක්නිසාද අසත් පුරුෂයාට ලැබෙන්නේ කීර්තියක් නොව අපකීර්තියක් නිසාය.
7.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනා කෙතරම් යහපත් අයෙක් වුවත් මරනයෙන් මත්තේ අපායේ නිරයේ ඉපදිලා අනන්ත දුක් විඳින්න ලැබේවා කියා හිතනවා. එයට හේතුව අසත් පුරුෂයා සිතින් කයින් වචනයෙන් නිරන්තරයෙන්ම අගතිගාමී අපායගාමී සිතිවිලි වලම සිටින නිසාය.
මේ අසත් පුරුෂ ගතිලක්ෂණ ඇති කෙනා මෙලොවද රහසේ දුක් විඳියි. මරණයෙන් පසුව පරලොවදීද අනන්ත දුක් විඳියි. අසත්පුරුෂයාගේ මූලබීජය කේන්තිය,තරහාව, ක්‍රෝධය, වෛරය, වැනි අනර්තකාමී සිතිවිලිය. ඒවා නිරන්තරයෙන්ම ඔහුවම පෙලනු ලබයි.

අසත්පුරිස ක්‍රෝධයේ ආදීනව 
නිතර කේන්තියෙන් කිපෙන අසත්පුරිස ස්ත්‍රිය වේවා පුරුෂයා වේවා, යහපත දන්නෙ නැහැ. ක්‍රෝධය පිරුනු ඒ කේන්තිය නිසා එයාට ධර්මය දැකගන්නට ලැබෙන්නෙත් නැහැ. තමාගේ සිත තුල හටගත් ඒ නරක නපුරු සිතිවිලි තමාගේම භයට හේතුවක් බවවත් ඔහු දකින්නෙ නැහැ. ක්‍රෝධයෙන් වැහිලා සිටින ඒ කෙනා ඝණ අන්ධකාරයකයි සිටින්නෙ. ඒ අන්ධකාරය තුල සිටින ඒ කෙනා උපනූපන් ආත්ම භාවයන් වල ධන හානියට පත් වෙනවා. සියල්ල දැවී ගියා සේ අහිමි වෙනවා.නපුරු අසත්පුරුෂ සිතිවිලි නිසාම නිරන්තර කෝපයෙන් සිටින ඒ කෙනා පාපයට බයක් නැති පාපයට ලජ්ජාවක් නැති අයෙක් සේ හැසිරෙන්නෙ. ඒ නිසා එයාට එලොව මෙලොව කිසිම පිහිටක් ලැබෙන්නෙ නැහැ. මෙතන තියෙන ඊලඟ ඛේදවාචකය තමයි මෙහෙම කෝපයෙන් ක්‍රෝධයෙන් කිපුනු අසත්පුරුෂයා පවට ඇති ලජ්ජාව බය දුරුවෙලා ගියාම ඉතාම සුලු කාරණාවකට වුවත් තමන්ගේ පියා පවා මරා දමනවා. තමන් හැදූ වැඩූ මව මරා දමනවා. පෘතග්ජනයා පමණක් නෙවෙයි රහතුන් වහන්සේ පවා මරා දමනවා. අසත් පුරුෂ ක්‍රෝධ බහුල කෙනා යමෙක් මරන්නෙ ඒ අයත් තමන් වගේම යැයි හිතලා. ඔහුට ලෝකයා පෙනෙන්නෙ තමන් වගේ හින්දා. ඒ විතරක් නෙවෙයි ක්‍රෝධයෙන් තරහෙන් සහ නරක නපුරු චේතනාවෙන් යුක්ත කෙනා, තමන් කෙරෙහිත් ඒ දුෂ්ඨ ගති වපුරනවා. එක්කො වහ බොනවා. එක්කො ගෙල වැළලා ගෙන මැරෙනවා. එහෙම නැත්නම් කඩුවකින් පිහියකින් කිණිස්සකින් ගෙල කපා ගන්නවා. මරණින් මත්තෙ නරක නපුරු මලයක්ෂයෙක් වෙලා , පෙරේතයෙක් වෙලා , බිහිසුනු තිරිසන් සතෙක් වෙලා හෝ අවීචි මහ නරකාදියේ  උපදිනවා. 

අසත් පුරුෂයා දානයට ගරහයි. සෙසු අයගේ දන් දීම වලකයි. අසත්පුරුෂයා ශීලයට නින්දා කරයි.එයට ගරහයි. එමෙන්ම අසත්පුරුෂයා ඉවසීම පිලිකෙව් කරයි. ලජ්ජාව බය දෙකට නින්දා කරයි. ඔහු භික්ෂූන්ට භික්ෂූනීන්ට,උපාසක උපාසිකාවන්ට දොස් පවරයි.සීලයේ සිදුරු සොයයි.නින්දා කරයි. එතකොට මේ අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ විමසුම තුලින් පෙනෙන්නේ ඔහු කෙතරම් පහළ මානසික මට්ටමක සිටින භයානක කෙනෙක්ද කියායි. ඔහු කෙතරම් ධනවත් උනත්, බලවත් උනත්, ඔහු තුල තිබෙන්නේ මෙබඳු ගතිගුණ නම්, මරණයෙන් පසුව ඔහුට යන්නට නියමිත තැන සහ එහි තිබෙන බිහිසුනුබව පිලිබඳව අසත්පුරුෂයාට කිසිදු හැඟීමක් නොමැති බව ගම්‍ය වෙයි. එතැන තිබෙන තවත් බිහිසුනු බව නම්, ඔහුගේ ඇසුර ප්‍රිය කරන, ඔහුව තෝරා ගන්නා අනෙක් අයත් ඔහුව ආදර්ශයට ගනිමින්, ඔහුව අනුගමනය කරමින් ඔහු යන තැනටම මරනින් මතු යන්නට හේතු සකස් කරගැනීමය.
ඒ නිසා මේ තරහාව, වෛරය,ක්‍රෝධය, කියන්නෙත් හිතේම තියෙන ගති ටිකක් මිසක බාහිර ලෝකයේ තිබෙන යමක් නොවන බව දැනගෙන සිහියෙන් නුවනින් යුක්තව ඒ චේතනා සිතිවිලි වැඩෙන්නට නොදී හටගත් තැනම නිරුද්ධ කරගන්නට උත්සුක උනොත් අර අසත්පුරුෂයා කියන තැනට නොවැටී සතර අපා ගත නොවී ඉන්නට හැකිවේවි. 

මුලාශ්‍ර
මජ්ජිම නිකාය-චූල පුණ්ණමා සූත්‍රය-
අංගුත්තර නිකාය- ආඛ්‍යාකතවග්ගය- සපත්තකන්නසූත්‍රය-
-අංගුත්තර නිකාය- ආඛ්‍යාකතවග්ගය-  සප්තභාර්යා සූත්‍රය-

සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. 

Post a Comment

0 Comments