Main Logo

Thursday 17 November 2022

සිංහල විරෝධී අයවැයක්

  සිංහල විරෝධී අයවැයක්

 

අයවැය ගැන කියන්න තියෙන එක කතාවයි. ඒ තිස්ස අත්තනායක කී දේ නොවෙයි. ඔහු කියා තිබුණේ මෙරට අයවැය යෝජනා ක්‍රියාත්මක නොකරන බවයි. ඒකත් හොඳ කතාවක්. ඒත් මේ අයවැය යම් ආකාරයකට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන යෝජනා කිහිපයක් තියෙනවා. ඒ සිංහල විරෝධී විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධී යෝජනා කිහිපයක්.

 

අප ලිපි පෙළකින් කියන්න පටන් ගත්තේ රනිල් වැනි ජාතිකත්වයක් නැති පුද්ගලයකු රටේ බලයක් නොතිබූ අයකු පරාජිත වූ පක්‍ෂයක නායකයකු අඩු තරමින් එක් මන්ත්‍රීවරයකු හරි ඡන්දයෙන් පත් කර ගැනීමට නොහැකි වුණු පක්‍ෂයක නායකයකු, ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයකු ජනාධිපති වූයේ කෙසේ ද යන්න විස්තර කිරීමටයි. අද තියෙන්නෙ ජාතික ආණ්ඩුවක් කිවුව ම පඬි නැට්ටන් හිතුවෙ මා ජාතිකත්ව ආණ්ඩුවක් ගැන කතා කරනව කියා. අදාළ ලිපි මේ පිටුවේ උඩින් ම අමුණලා ඇති. අද තියෙන්නෙ නිල වශයෙන් නොකිවුවත් පොහොට්ටුවේ හා එ ජා පක්‍ෂයෙ ජාතික ආණ්ඩුවක්. එය බටහිර සැලැස්මක ප්‍රතිඵලයක්. එහෙම නැතුව රටෙන් පැන නැගිච්ච ඊනියා අරගලයක ප්‍රතිඵලයක් නො වෙයි. එය මෙරට මධ්‍යම පාංතික ආකල්ප බටහිරයන් විසින් යොදා ගනු ලැබීමේ ප්‍රතිඵලයක්.

 

රනිල් බලයට පත් කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමට. දැනට ඔහු ජාතිකවාදී වෙස්වළා ගෙන ඉන්නවා. එහෙත් ඔහු ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන සිංහල ඉතිහාසය වෙනස් කිරීමට කටයුතු කරන බව පැහැදිලියි. මෙරට ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා හොරකම් කරපු නිසා ඇති වූවක් නො වෙයි. එය මහා බැංකු මංකොල්ලය නිසා සිදු වූවක්වත් නො වෙයි. හොරකම දූෂණය දිය ගොඩ හැම තැන ම තියෙනවා. අහසෙත් තියෙනවා. අර සුනිල් සාන්ත ගයන දිය ගොඩ සැම තැන වෙනස් කරල කිරි ඉතිරීම ගැන නොවෙයි දූෂණය ඉහ වහා යෑම ගැන ගීයක් ගයන්න පුළුවන්. ඒත් මේ ආර්ථික අර්බුදය දූෂණය නිසා ඇති වූවක් නො වෙයි. එය අපේ සැලැසුම් නැතිකම අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොර උගත්කම් නිසා ඇති වුවක්. එහෙත් ඒ සඳහා විසඳූම් දෙන්නෙ නැහැ.

 

අද කරන්න ඕන පරිභෝජනය අඩු කිරීම, වගා කිරීම. අපනයනවලට මුල් තැන දීම, බොරු ෂෝක් නැති කිරීම හා  අරයගෙ මෙයාගේ පොත්වල තියෙන බොරු සමාජවාදී මෙන් ම ලිබරල් කතා ද නවත්තල ජාතිකත්වයට මුල් තැන දෙන ආර්ථිකයක් ඇති කිරීමටත් විනය ගරුක සමාජයක් ඇති කිරීමටත් කටයුතු කිරීම. අප රටේ විනය නීතිය මගින් ඇති කරන්න පුළුවන් දෙයක් නො වෙයි. එයට ප්‍රධාන හේතුව ඔය නීතිය අපේ නො වීම. අප සංස්කෘතිය මගින් හා අදාළ නීති මගින් හික්මවනු ලැබූ පිරිසක්. ඒ සංස්කෘතියේ ආරක්‍ෂකයන් වූ හාමුදුරුවරුන් පැත්තකට දමා උන්වහන්සේ පාංශුකූලයට පමණක් සීමා කරල ජාතියක් හදන්න බැහැ. හාමුදුරුවරුන් නායකත්වයෙන් පහ කරල ගල්කඳු පාත් කරන් රටක් හදන්න බැහැ.

 

රනිල් උත්සාහ කරන්නෙ ආර්ථික අර්බුදයට  ඊනියා දෙමළ ඩයස්පෝරයෙන් ආධාර ලබා ගන්න. රනිල් බලයට පත් වුණු දවසෙ ඉඳන් ඒ ගැන කතා කරනවා. දැන් විජයදාස රාජපක්‍ෂත් සෙල්ලමට එකතු වෙලා. කොහොමත් ඒ රාජපක්‍ෂ අනෙක් රාජපක්‍ෂලාට නොයෙකුත් හේතූන් නිසා විරුද්ධයි. ඒ මදිවට දැන් ඉඩම් බෙදල දෙන්න හදනවා. රනිල් චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙත් රජයේ ඉඩම් විශේෂයෙන් මහාවැලි ඉඩම් දෙමළ ජාතිවාදීන්ට ලබා දීමට කටයුතු කරල තියෙන බව දැන ගන්න ලැබුණා. අද ඔහු මහා පරිමාණයෙන් ඒ කරන්න හදන බව පැහැදිලියි. චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ ඒ ගැන හොඳ විස්තරයක් කරල තිබුණ. වගාව ගැන අව්‍යාජව යමක් කරන්න උත්සාහ දරන්නෙ අගමැති දිනේෂ් ගුණවර්ධන. ඒ ඒ පළාත්වල රජයේ ඉඩම් අදාළ ජනයාට දීල වගාව කඩිනම් කරන්න ඕන. ඔය වතුවගාවට ඉංගිරිසින් ගත්තෙ සිංහලයන්ගෙ සාමූහික ඉඩම්. ඒක අමතක කරන්න බැහැ. ඒ අතර බෙහෙත් වතු ද වගා කරන්න ඕන. ඒ ක්‍රමවත්ව වෙද මහත්වරුන්ගෙ උපදෙස් මත කරන්න ඕන දෙයක්.

 

මේ අතර රනිල් ඉතිහාසය ගැන පර්යේෂණ කරන්න ආයතනයක් හදන්න ලැහැස්ති වෙනවා. මේ හදිසියේ ඉතිහාසය ඉගෙන ගන්න තියෙන වුවමනාව මොකක් ද? මෙය මෙරට සිංහල ඉතිහාසය මකා දැමීමට කරන වෑයමක් ද? ඔය ආයතනයට පත් කරන්නෙ කාව ද? මා ඉතිහාසය දන්නෙ නැහැ කියල මා නම් පත් කරන එකක් නැහැ. අද මෙරට මුල් පදිංචි කරුවන් දෙමළ කියල කියන්න දෙමළ ජාතිවාදීන් නිරන්තර උත්සාහයක යෙදෙනවා. විශ්වවිද්‍යාලවල ඉතිහාස මහාචාර්යවරු අතන මෙතන කරන කැණීම් ආධාර කරගෙන මෙරට යක්‍ෂ නාග දේව ඉතිහාසය සිංහලයන්ට අහිමි කරන්න උත්සාහ දරණවා. මහාවංසයෙ සංගත නැති තැන් තියෙනවා. මා හිතන්නෙ නැහැ බුදුහාමුදුරුවො කිසි දිනෙක මෙරට හිටි යක්‍ෂ ජනතාව ගිරි දිවයිනකට පිටත් කරයි කියල. මහා කාරුණිකයන් වහන්සේ එසේ කරාවි ද? එවැනි අසංගත කතා දඩමීමා කරගෙන දෙමළ ජාතිවාදීන් පැරණි ඉතිහාසය දෙමළ ජාතිවාදීන්ට ලියා දීමට උත්සාහ කරනවා.

 

මෙරට දේවාල තියෙනවා. එයින් කියන්නෙ දෙමළ හින්දු ඉතිහාසයක් ගැන නොවෙයි. මගේ නම් තේරුම අනුව ඊශ්වර දෙවියන් මෙරටින් ඉන්දියාවට ගිය අයෙක්. මුල්කාලීන වෛදීක ග්‍රන්ථවල ඊශ්වර නැති බවයි කියන්නෙ. වෛශ්‍රවණ හා වෙස්සගිරිය අතර සම්බන්ධය කුමක් ද? ඇතැම් ඊනියා තාර්කික භික්‍ෂූන් වහන්සේ විරුද්ධ වුණත් තාමත් පන්සල්වල දේවාල තියෙනවා. මතක තියා ගන්න කෝවිල් නො වෙයි. මිහිඳු මහා රහතන් වහන්සේ  ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීමට කටයුතු කෙළේ ඇයි. මෙරට තියෙන්නෙ හෙළයන්ගෙ දේව සංස්කෘතියට අවශෝෂණය කෙරුණු බුදුදහමක්. අප දෙවියන්ට උඩින් බුදුුහාමුදුරුවන් පත් කර තියෙනවා. අද්වෛත නිර්ගුණ් බ්‍රහ්මන් අපට නැහැ. අප බ්‍රහ්මන් හා අප එකක් ලෙස සලකන්නෙ නැහැ. ඒත් අප යොදා ගන්න පෘථග්ජන කියන වචනෙ තේරුම වෙන් වුණු කියන එක. ඒ බ්‍රහ්මන්ගෙන් වෙන් වීම. බුදහාමුදුරුවන් ඒ වචනය අයින් කෙළේ නැහැ. එයට සුපුරුදු විධියට වෙනින් අර්ථයක් දුන්නා. නිවුණු ආර්යයන් වහන්සේ නොවන අය පෘථග්ජන. ආර්ය කියන එකත් එහෙම වෙනත් අර්ථයක් දුන් වචනයක්.

 

රනිල් නටන්න හදන නැටුම මොකක් ද කියන එක පැහැදිලියි. ඔහු මෙරට ඒකීය භාවය, සිංහල ඉතිහාසය නැති කරන්න හදනවා.  ඔහු තාම වෙස් බඳිනවා. ඔහු එතැනට පත් වුණෙ පරගලය හින්ද. පඬි නැට්ටන්ට ඒ පාප කර්මයෙන් මිදෙන්න බැහැ. පඬි නැට්ටන්ටත් ඕන සිංහල බෞද්ධ සංස්කෘතියට වින කරන්න. ඒකට මාක්ස්ගෙ හිතළුත් ඇඳ ගන්නවා. මාක්ස් ඉන්නෙ පඬි නැට්ටන්ගෙ ඔළුවෙ. ජාතිකත්වය තියෙන්නෙ මිනිසුන්ගෙ  ඇඟේ, මනසෙ, හිතිවිලිවල. මාක්ස්ට රනිල් ලවුවවත් ජාතිකත්වය නැති කරන්න  බැහැ.