“අවශ්‍ය දේශපාලනය” ඇත්තේ “පක්ෂ දේශපාලන”යෙන් ඔබ්බෙහි ය.  

දේශපාලනය අපේ ජීවිතයට එහි සෑම අංශයකට ම සම්බන්ධ ය. අද අප මුහුණ දෙන අර්බුදය ප්‍රමාණවත් දේශපාලනයක අප නොයෙදීම නිසා ඇති වූවක් ලෙස ද සැලකිය හැකි ය. ඒත් බොහෝ දෙනෙකු දේශපාලනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ නායකයෙකු හෝ පක්ෂයක් තෝරාගෙන කඩේ යන එකට ය. ඒ නිසා දේශපාලන මැදිහත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි තෝරා බේරා ගැනීම අවශ්‍ය ය.

අප ඉන්නේ නායකයෙකු පත් කර ඔහු/ඇය විසින් අපට සෞභාග්‍ය උදා කර දීමේ සිහිනයක ය. ඒ නිසා එකෙක් පරාජිකව ගිය කල අප සොයන්නේ ඔහුගේ/ඇයගේ තැනට ආදේශකයක් ය. ඒ නිසා ම ඒ තෝරාගත් පුද්ගලයාට කඩේ යෑම දේශපාලනය හැටියට සැලකීම අරුමයක් නොවේ.

රටේ පවතින බොහෝ ප්‍රශ්න තනි පුද්ගලයෙකුට විසඳිය හැකි සිල්ලර ඒවා නොවේ. ඒ සඳහා ජන සහභාගිත්වයක් අවශ්‍ය ය. ජන මනසේ පෙරලියක් අවශ්‍ය ය. සෑම මට්ටමක ම වෙනසක් අවශ්‍ය ය.

ලංකා දේශපාලනයේ ඉහළින් ම ඇති ප්‍රශ්නයක් නම් නායකයාට වන්දනා මාන කිරීම ය. ඒ ප්‍රශ්නය නායකයෙකුට විසඳිය හැකි ද? සමහරුන්ගේ උත්තරය විය හැක්කේ විසඳිය හැකි නම් ඒ ඔහුට පමණක් බව ය. එහෙත් ඇත්ත කතාව ඉඳුරා ම වෙනස් ය. වන්දනා මාන නොකිරීම ගැන නායකයා උරණ නොවූව ද අනුගාමිකයන් උරණ විය හැකි ය. ඇත්තට ම නම් වඩාත් උරණ වන්නේ නායකයා නොව අනුගාමිකයන් ය. ඉතින් එය නායකයෙකුට විසඳිය හැකි ප්‍රශ්නයක් ද?

ලාංකීය දේශපාලනයේ ඉහළින් ම තැබිය යුතු දෙයක් වන්නේ විවේචනයට මුහුණ දීමේ දක්වන පරිණත භාවය ය. තම කඳවුරේ වුව ද වැරැද්දක් වැරැද්දක් ලෙස දැකිය හැකි වීමේ ප්‍රාගුණ්‍ය ය. නැත්තේ ම ද ඒක ය. ඊට ම අදාළව පැන නැගිය යුතු ඊළග ප්‍රාගුණ්‍ය වන්නේ විරුද්ධ මතයක් දැරීමට කෙනෙකුට ඇති අයිතිය වෙනුවෙන් ඒ මතයට විරුද්ධ වෙමින් ම ප්‍රමාණවත් ව නැගී සිටිමේ හැකියාව ය. එය නම් කොහොමටවත් ම නැත. මේවා ඔඩු දුවා ඇති තුවාල ය. ඒ තුවාල සනීප කිරීම සඳහා ජන මනසේ වෙනසක් අවශ්‍ය ය. දේශපාලන පක්ෂයක් බලයට පත් කිරීමෙන් මේවා විසඳිය නොහැක්කේ බලයට පත් වීම සඳහා ම සෑම දේශපාලන බලවේගයක් ම මේ නොසණ්ඩාල අදේශපාලනික උපාය මාර්ගයන් අනුගමනය කරන නිසා ය.

දේශපාලනය වැඩ කරන්නේ සංස්කෘතික සන්දර්භයක ය. ලාංකීය දේශපාලනය තුළ නොඅඩුව ම ක්‍රියාත්මක වන සංස්කෘතික වටිනාකම කුමක් දැයි ඇසුවොත් කියන්නට තිබෙන්නේ ඒ “අපේ කම” කියා ය. ඒ තුළ බලයට පත් වෙන දේශපාලන බලවේගයට සිදු වන්නේ පළමුව “අපේ මිනිහා” ගැන වග බලා ගැනීමට ය. පරයන් පැත්තකට තල්ලු කිරීම ය. තනතුරු ප්‍රදානයේ පටන් වරදාන දීම දක්වා සලකනු ලබන ප්‍රධාන නිර්ණායකය එය ය. ඒ අපේක්ෂාව අහිංසක නොවන බව ඒත්තු ගැන්වීමට බලයට පත්වීමෙන් පසු බැරි ය. බලයට පත් වීමට පෙර කතා කිරීමෙන් බලය ලබා ගැනීමට ඇති ඉඩ අහෝසි වන්නේ ය. ඒ නිසා කිසිදු දේශපාලන බලවේගයක් ඒ ගැන කතා කරන්නේ නැත. අප නිරත විය යුතු දේශපාලනය පක්ෂ වපසරියෙන් ඔබ්බට යා යුත්තේ ඒ නිසා ය.

බලයට පත් වීමට පුල පුලා බලා සිටින දේශපාලන කණ්ඩායම් වලට රට තුළ ඇති වන අර්බුද පිළිබඳ පණිවුඩ ගෙනෙන්නේ ප්‍රීති දායක ආරංචි ය. ඔවුන්ට ඒ අර්බුද විසඳන්නට වුවමනාවක් නැත. ඔවුන් ඇත්තට ම කැමති ඒවා ඔඩු දුවන තරමට ය. උග්‍ර වන තරමට ය. අර්බුදයක් නැති තැනක වුව එහෙම එකක් අවුළුවා ගන්නට ඔවුන්ට අවශ්‍ය ය. ඒ නිසා අර්බුදයේ දිග පළල ගැන රසවත් කතන්දර ඇද බානවා මිසක් විසඳුමක් ගෙන එන්නට ඔවුන් කටයුතු කරන්නේ නැත. ඔවුන් දිගට ම කියනු ඇත්තේ බලය අපට දෙන්න, අප විසඳනවා කියා ය. බලයට පත් වූ පසු ඔවුන්ට ඒ පොරොන්දු පිළිබඳ වගේ වගක් නැත. ඔවුන්ට විසඳීමට ඊට වඩා වැදගත් ඔවුන්ගේ ම වූ ප්‍රශ්න තිබෙන බැවිනි. එකක් ලබා ගත් බලය පරිහරණය කිරීම ය. අනෙක බලය ලබා දුන් පාර්ශව කරුවන් සතුටින් තැබීම ය. තෙවැන්න බලය පවත්වා ගෙන යෑම ය. ඇත්තට ම කියනවා නම් ඔවුන්ට වුවමනා වුව ද කරන්නට පුළුවන් කමක් නැත. කරන්න කුමක් දැයි කල්පනා කර නිගමනවලට එන්නට ඔවුන්ට වෙලාවක් තිබුනේ නැත. දැන් කොහොමටවත් නැත. ප්‍රශ්න ඒ තරමට විශාල ය. ප්‍රශ්න වලට බාල ගිරි දෝෂය වැළඳෙන්නේ ඒ නිසා ය. ඒවා අද නොව හෙට විසඳනු ඇත්තේ ය. පක්ෂ වපසරියෙන් එහා දේශපාලනයක් අවශ්‍ය වන අනෙක් හේතුව ඒක ය. අපේ දේශපාලනය හුදු අයිතීන් ඉල්ලීමෙන් ඔබ්බට ගොස් විසඳුම් ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක වන ලෙස බලකිරීම දක්වා පළල් විය යුත්තේ එහෙයිනි. ඒ බලයට පත් වීමට බලා සිටින අය නොකරන වැඩකි. මක් නිසා ද බැරි වෙලාවත් ඒවා ක්‍රියාත්මක කළොත් තමන්ට බලයට ආ හැකි මං ඇහිරෙන බැවිනි.

දේශපාලනය පක්ෂ සීමාවෙන් ඔබ්බට ගෙනි යන්නට වැඩි වැඩියෙන් මිනිසුන් එකතු වූ දිනයක මේ රට ගොඩ නැගිය හැකි ය. එතෙක් 74 වසරක සුපුරුදු සෙල්ලම (ඇතැම් විටක අලුත් ක්‍රීඩකයන් සමග වේ වයි) නැවත නැවතත් නැරඹිය හැකි ය.

Leave a comment