Main Logo

Friday 11 November 2022

කල්ප ලක්‍ෂ ගණනාවක්

 කල්ප ලක්‍ෂ ගණනාවක්

 

ඊයේ ලිපිය ගැන විවිධ අය තමන් කියවා ඇති දේ අනුව ප්‍රතිචාර දක්වලා. මට ඕන වුණෙ පඬි නැට්ටන්ගෙ ආගම ගැන කියන්න. ඒ අතර මා සංකරාචාර්යයන් ගැනත් කිවුවා. එතුමා මහායානික බෞද්ධයන් සමග වාද කළ අයෙක්. එතුමා ඒ වාද මගින් යම් යම් දේ අරගෙනත් තියෙනවා. ඒකත් මට කියන්න ඕන වුණා. එතුමා ඉතා ම ඉහළ ගණයේ බුද්ධිමතෙක්. ඇතැමුනට අනුව වත්මන් හින්දු ආගමේ නිර්මාතෘවරයා එතුමා. වෛදික ආගම් ඊට කලින් තිබුණා. ඒත් හින්දු ආගමක් තිබුණේ නැහැ. ඇතැමුන්ට අනුව සංකරාචාර්යතුමා විවිධ වෛදික අගම්වලට බුදුදහම හා ජෛනාගම අවශෝෂණය කරලා. ඒ මගේ වචනවලින්.

 

හයවැනි සියවසේ පමණ (මේ පිළිබඳත් මතභේද තියෙනවා) කේරළයේ කල්අඩි ප්‍රදේශයේ උපත ලත් සංකරාචාර්යයන් ගැන විවිධ මත තියෙනවා. එකලත් ඇතැමුන් කියා ඇත්තේ එතුමා වෙස්වළාගත් බෞද්ධයකු බවයි. පඬි නැට්ටන්ගේ ආගම ලිපියෙහි මට අවශ්‍ය වූයේ මේ කතාව මතක් කරන්නයි. එතුමා මහායිනිකයන් සමග වාද කර තියෙනවා. විඥානවාදය, ශුන්‍යවාදය, සර්වශුන්‍යවාදය එතුමා අතින් විවේචනයට ලක් වුණා.

 

එහෙත් එතුමා නිර්ගුණ් බ්‍රහ්මන්ට එකතු කිරීමක් කළ බව ඉන්දීය දාර්ශනිකයන් කියනවා. මෙහි පළවන්නේ ඒ කතාව. ඔවුන්ට අනුව සංකරාචාර්යවරයන්ගේ නිර්ගුණ් බ්‍රහ්මන් නාගර්ජුනපාදයන්ගේ ශූන්‍යතාවට සමීපයි.

 

This is true of modern scholars. For example, in his A History of Indian Philosophy, S Dasgupta remarks:

 

“Shankara and his followers borrowed much of their dialectic form of criticism from the Buddhists. His Brahman was very much like the śūnya of specifically Nāgārjuna. I am led to think that Shankara’s philosophy is largely a compound of Vijnānavāda and śūnyavāda Buddhism with the Upaniad notion of the permanence of self superadded”.

 

Thus, he supports Vijñānabhiku’s criticism against Māyāvāda.

 

Even S Radhakrishnan who asserts that “there is no doubt that Shankara develops his whole system from the Upaniads and the Vēdānta sūtra without reference to Buddhism”, says the following:

“We need not say that the Advaita Vēdānta philosophy has been very much influenced by the Mādhyamika doctrine. The nirgua Brahman of Shankara and Nāgārjuna’s śūnya have much in common”.

 

මේ කාගේත් මෝක්‍ෂය බ්‍රහ්මන් සමග එකතු වීම. එහෙමත් නැත්නම් බ්‍රහ්මන් හා ආත්මන් අතර වෙනසක් නැති බව තේරුම් ගැනීම. බ්‍රහ්මන් පවතිනවා. ඒ පරමාත්මයයි.

 

ථෙරවාදය මෙයින් වෙනස්. ථෙරවාදයේ නිවන ගුඩු දහමක් නො වෙයි. එහි පාරභෞතිකත්වයක් නැහැ. නිවන ගුඩු දහමක් බවට පත්කර ඊනියා ශූන්‍යතාවක් බවට පත් කෙරී තියෙනවා. සමහරවිට නාගර්ජුනපාදයන්ගේ ශූන්‍යතාව එයට බල පාන්න ඇති. මහාචාර්ය කලුපහන බටහිරයන්ට කියා සිටියේ නිවන අනිර්වචනීය නොවන බවයි. ඒ කියන්නේ වචනයෙන් කියන්න පුළුවන් කියා. අසංග තිලකරත්න මහාචාර්ය කලුපහනගේ උපදේශකත්වය යටතේ ආචාර්ය උපාධියට ඉදිරිපත් කළ නිබන්ධනයේ කිවුවෙත් එයයි. එහෙත් නිවන වචනයෙන් කිවුවෙ නැහැ. කියන්න පුළුවන් බවයි කිවුවෙ.

 

නිවන ගුඩු දහමක් කර ගෙන ඇත්තේ ඒ නාම පදයක් ලෙස සැලකීමෙන්. එය ඊනියා ශූන්‍යතාවක් නො වෙයි. චතුස්කෝටික න්‍යායට මා ගරු කරනවා. එය ඇරිස්ටෝටල්ගේ ද්විකෝටිකයට වඩා පොහොසත්. ක්වොන්ටම් කතාවලටත් චතුස්කෝටිකය වැදගත් වෙනවා. එහෙත් නිවන ඒකත් නොවෙයි මේකත් නොවෙයි ආදී වශයෙන් කීමෙන් අපට ඒ කුමක් ද කියා කියන්න බැහැ.

 

සිදුහත් කුමරු නිබ්බුත පද ඇහුවා. එහි කියැවෙන්නේ නිවුණු පුද්ගලයන් ගැන. එහෙත් එය සිදුහත් කුමරුට හෝඩුවාවක් සැපයුවා පමණයි. අප නිවෙන්නේ කොහොම ද? තණ්හාව නැති කිරීමෙන්. අත්හෑරීමෙන්. මොනවා අත්හැරීමෙන් ද? සියල්ල අත්හැරීමෙන්. සියල්ල කියන්නේ දැනුමත් සමග. අපට තණ්හාව ඇති වන්නේ මා මගේය කියා ගැනීමෙන්. එතැන තමයි ප්‍රශ්නය. මා මගේ කියා දැනුමක් තියෙනවා. ඒ දැනුම අත්හරින්න ඕන.

 

පෞද්ගලික ව මා සම්බන්ධයෙන් (නැති මා, මගේ ම නොවන මා) කියන්න පුළුවන් මට දරුවන් අත්හරින්න බැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන විට සිංහල බෞද්ධ සංස්කෘතිය අත්හරින්න බැහැ. මේ සියල්ල මායාවන් බොරු බව මට මනසින් තේරෙනවා. ඒත් මනසින් තේරුණු පමණින් අත්හරින්න බැහැ. දැන් මට මුණබුරු මිණිබිරියන් ඉන්නවා. ඔවුන් අත්හරින්නත් බැහැ.

 

අපේ බැඳීම් සියල්ල බොරුවෙන් මායාවෙන් හටගත් ඒවා. ඒ බොරු සංයුක්ත බොරු. ඒවා බොරු කිවුවට කිසිවකුට කේන්ති යන්නෙ නැහැ. අවුරුදු දහස් ගණනක සංස්කෘතියක ඒ මායාව ගැන අපට උගන්වා තියෙනවා. එහෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු කිවුව ම බොහෝ දෙනාට කේන්ති යනවා. මා පට්ටපල් බොරු කියන්නෙ වියුක්ත බොරුවලට. සියලු දැනුම් බොරු. වියුක්ත දැනුම් පට්ටපල් බොරු.

 

නිවීමේ දී අප ඒ සියල්ල අත්හරිනවා. සිදුහත් කුමරු ගිගිගෙය අත්හැරියා. ඒ රාහුල කුමරු උපන් දවසේ. තවත් බැඳීම් ඇති කරගන්න එතුමාට අවශ්‍ය වුණෙ නැහැ. බෝසතාණන් වහන්සේගේ මිනිස් ලොව පුර්ව අවසාන භවය ලෙස සලකන වෙස්සන්තර කතාවේ එතුමා දරුවන් දන්දෙනවා. ඒ අත්හැරීමයි. භාර්යාව ද දන්දෙනවා. සිදුහත් කුමරු පුතා ද භාර්යාව ද අත්හැර යනවා. ගිහිගෙය අත්හැර යනවා. මට ඒ කිසිවක් කරන්න බැහැ. මේ මාගේ පූර්ව අවසාන මිනිස් භවය නො වෙයි.

 

ථෙරවාදයට අනුව නිවීම ගූඩු දහමක් නො වෙයි. බුදුදහමෙහි සැඟවුණු කිසිවක් නැහැ. නිවෙනවා කියන්නෙ ඊනියා ශූන්‍යතාවක් අත්කර ගැනීමක්වත් වෙන ඊනියා සැපතකට පත්වීමක්වත් නො වෙයි. සියල්ල අත්හැරීමයි. එවිට සසරෙන් නිදහස්. යළි ඉපදෙන්නෙ නැහැ. උත්පත්තියක් නැති වීට තැවීමක් නැහැ. යළි ඉපදීම නැවැත්වීම තමයි කරන්න තියෙන්නෙ. ඒ කරන්නෙ සියල්ල අත්හැරීමෙන්. ඊනියා ශූන්‍යතාව ද අත්හැරීමෙන්.

 

එසේ අත්හෑරීමෙන් පසු පිරිනිවන්පාන තෙක් ජීවත් වෙනවා. ඒ සඳහා යම් දැනුමක් ඉගෙනීමක් (ඇලීමක් නැතිව) ඉතිරි වෙනවා. සෝපාධිිශේස කියන්නෙ ඒකට. ආහාර ගන්න, ඇඳුමක් අඳින්න, යමක් කියන්න, ගමනක් බිමනක් යන්න,  ලෙඩක් හැදුණොත් බෙහෙත් ගන්න වගේ දේ නැත්නම් උපාධි ශේෂ වෙනවා. පිරිනිවන් පෑමේ දී ඒ ටිකත් නැහැ. ඒ අනුපාධිශේෂ. නැවත ඉපදීමක් නැහැ. එහි ඇති ගුඩු බවක් නැහැ. සියල්ල වචනයෙන් පැහැදිලි කරලා. පුළුවන් කිය කිය ඉන්න ඕන නැහැ.

 

උපාධිශේෂ කොහොම වුණත් මගේ උපාධිය නම් මා අත්හැරලා. මා නලින් ද සිල්වා පමණයි. ඒත් මට නලින් ද සිල්වා කියන එක, මගේ නොවන මා, අත්හරින්න බැහැ. ඒ සඳහා තව කල්ප ලක්‍ෂ කීයක් ගතවෙයි ද? අර මන්දාකිණි එකිනෙකෙන් ඈතට යමින් නැවත එකිනෙක කරා එමින් විනාශ වෙමින් ඇති වෙමින් නැති වෙමින් ලක්‍ෂ වාර ගණනාවක් ගත කරාවි. මිනිස් භවයක් මේ සක්වළ හරි පිටසක්වළ හරි බුද්ධොත්පාද කාලයක ලබා ගන්න ඇති ඉඩකඩ බොහොම අඩුයි. මෙහි මිනිස් කියන්නේ මිනිස් වැනි කියන එකටයි. බෝසතාණන් වහන්සේත් පිටසක්වළ ඉපදී තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ ඒ ගැන කතාත් තියෙනවා.

 

කල්ප ලක්‍ෂ ගණනාවක්. නැති මට බයකුත් දැනෙනවා.