“වුන දේ ගැන කනගාටුයි; මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල

1718

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක (ධනුෂ්ක) ගුණතිලකගේ සිද්ධිය හොඳ පාඩමක් කරගෙන ඉදිරියේ දී මෙවැනි සිදුවීම්වලින් වැළකී සිටීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත්, කණ්ඩායම අතින් සිදු වූ අඩුපාඩු තේරුම් ගෙන ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා.

2022 ලෝක කුසලාන විස්සයි විස්ස තරග සංචාරය අවසන් කරමින් ඊයේ (7) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයවර්ධන මහතා මෙසේ පැවසුවා.

“අර්ධ අවසන් පූර්ව තරග වටයකට එන්න බැරි වුනු එක ගැන හරිම කනගාටුයි. කණ්ඩායමේ දක්ෂතා තිබුණට අවශ්‍යම තරගවල අවශ්‍යම තැන්වල දී අපේ අතින් අඩුපාඩු වුනා. ක්‍රීඩකයින් ඒ ගැන දන්නවා. ලෝක කුසලානය වගේ ලොකු තරගාවලියක මේ වගේ අඩුපාඩු කරලා ඉදිරියට යන්න ගොඩක් අමාරුයි. වැරදිවලින් ඉගෙන ගෙන ඉදිරියට යන එක තමයි අපි දැන් කරන්න ඕනේ.”

“අපි කිසිම වෙලාවක ලෝක කුසලාන තරගාවලිය සැහැල්ලුවකට ගත්තේ නැහැ. ආසියානු ශූරයින් විදිහට ලෝක කුසලානයට ගියාට, ඕස්ට්‍රේලියානු තණතීරු සහ මුණගැසෙන ප්‍රතිවාදීන් වෙනස්. අපිට තිබ්බ ලොකුම අභියෝගයක් තමයි ඒ වෙනස්වීම් වලට ඉක්මනින්ම හැඩගැසෙන එක, නමුත් අපිට ඒ දේ අපිට අවශ්‍ය කරන විදිහට කරගන්න බැරි වුනා. විටින් විට ඇතිවුණු ආබාධ, පන්දු රැකීම, පන්දුවට පහර දීම සහ පන්දු යැවීම මේ සියලුම අංශවලින් අවශ්‍යම වේලාවන් වල දී අපේ අතින් අතපසුවීම් වුනා. ඒ අතපසුවීම් මේ තරග පාරාජයන්ට විශාල බලපෑමක් එල්ල කළා.”

“මේ කණ්ඩායම ඉස්සර හිටියට වැඩිය හොඳ ගමනක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේ ක්‍රීඩකයින්ට තිබෙන අත්දැකීම් එක්ක ඉදිරියට යන ගමන් පොඩි පොඩි අඩුපාඩු වෙනවා, නමුත් අත්දැකීම් එක්ක ඒ අතපසුවීම් හදාගෙන අපි රටක් විදිහට කණ්ඩායමක් විදිහට ඉදිරියට යන්න ඕනේ,” යැයි ජයවර්ධන මහතා පැවසුවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හී නැගෙනහිර ප්‍රදේශයේ දී කාන්තාවකට සිදු කළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ධනුෂ්කට එරෙහිව එරට පොලිසිය විසින් චෝදනා එල්ල කර අත් අඩංගුවට ගෙන ඇති බව ඉකුත් දා මාධ්‍ය වාර්තා කළා. ජයවර්ධන මහතා ඒ ගැන පැවසුවේ මෙවැන්නක්.

“මේ ක්‍රීඩකයෝ හැමෝම පාසල් ක්‍රීඩකයෝ නෙමෙයි. වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවේ නිරත වන අය. ධනුෂ්කගේ සිද්ධිය ඉතාම කණගාටුදායක කාරණයක්. අපි අන්තිම තරගය ඉවර කරලා ලංකාවට එන්න ඉන්න රාත්‍රියේ තමයි මෙය ගැන දැන ගත්තේ. මම මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගත්තෙත් මාධ්‍ය හරහා මේ කරුණු වාර්තා වීමෙන් පසුවයි.”

“ක්‍රීඩකයන්ගේ හැසිරීම් රටා ගැන ඔවුන් වගකියන්න ඕනෑ. මේ ගැන පරීක්‍ෂණයක් සිදු වන නිසා අපිට මේ ගැන හරියට කියන්න අපහසුයි. අපි ඔහුටත් මතය පවසන්න ඒ අවස්ථාව දිය යුතුයි. කණ්ඩායමක් විදිහට අපි බලන්නේ ඒ රටවල නීති රීතිවලට අනුව ක්‍රීඩා කර නැවත අපේ මව් රටට පැමිණීමයි. නමුත් ක්‍රීඩකයන්ගේ අතින් මේ වගේ දේවල් වෙන එක කණගාටුදායකයි. අපි බලමු නීතියට ඉඩ දීලා මොකද වෙලා තියෙන්නේ කියලා.”

“මේක පළමු සිද්ධිය නොවෙයි. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් මෙවැනි සිද්ධි මීට පෙරත් වාර්තා වෙලා තිබෙනවා. මේ වගේ දේවල් ඉදිරියේ දී නොවෙන්න වගබලා ගන්න ඕනෑ කියලයි කියන්නේ. මේ අය පාසල් ක්‍රීඩකයෝ නෙවෙයි. වෘත්තීය ක්‍රීඩකයන් එක්කයි මේ යන්නේ. ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ. අපේ ක්‍රීඩකයන්ට හැසිරිය යුතු රාමුවක් තියෙනවා. ඒ රාමුව තුළයි අපි හැම විටම කටයුතු කරන්න ඕනෑ. අවාසනාවකට මේ සිද්ධිය ලංකාවට පැමිණීමට දින දෙක තුනකට පෙරයි සිදු වී තිබෙන්නේ.”

මේ සිද්ධියෙන් අපේ ක්‍රිකට් අනාගතයට ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ක්‍රීඩකයෙකුට මේක හොඳ පාඩමක්. මෙවැනි පාඩම්වලින් ඉගෙන ගෙන ඉදිරියේ දී වත් මේ වගේ දේවල් නොවෙන්න වගබලා ගත යුතු බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<