Sunday, November 6, 2022

වස්ත්‍ර ප්‍රශ්න

ඉස්කෝලෙන් අයින්වෙලා දශක එකහමාරක් විතර. හැබැයි ඒ දශක එකහමාර තිස්සේම මොකද්දෝ හේතුවකට මං සැරින් සැරේ දකින හීනයක් තියෙනවා. වැස්සක, මඩ වෙච්ච ඉස්කෝලෙ ඇවිදිනවා (ඒ හීනෙදිම මිසක් වැස්සකටවත් ඉස්කෝලෙට ගොඩවෙලා නෑ😅). ඉස්කෝලෙ ඇතුලට යන්නේ කොහොමද කියලා දකින්නේ නැතිවුණාට ඉස්කෝලෙ වත්ත පුරා මඩවලවල් උඩින් පැනපැන බිල්ඩින් පුරා ඇවිදිනවා තමයි දකින්නේ.

දැන් ඔය හීන කියවන විශේෂඥයෝ මොනව කියාවිද මම දන්නේ නෑ. හැබැයි අවංකවම මට ඉස්කෝලෙ ඉන්න කාලේත් එයින් පිටවුණාට පස්සේත් විශේෂ, මහ ලොකු බැඳීමක් දැනිලා නෑ. එහෙම ආදිශිෂ්‍ය සංගං බදාගෙන, පරණ ඉස්කෝලෙ යාලුවො බදාගෙන, උත්සව පවත්වගෙන ඉන්න තමන්ගේ ඉස්කෝලෙට ආදරේ මිනිස්සු අනන්ත ඉන්නවා. ඒ හැමදෙයක්ම දිහාම මම මැදහත් සිතෙන් උපේක්ෂාවෙන් බලාගෙන මගේ පාඩුවේ ඉන්නවා, විවේචන විචාර නැහැ. අපරාදේ කියන්න බෑ ඉස්කෝලෙන් මට මහ වරදක් කරලත් නෑ. ඒ කාලයේදි මගෙන් සහ දෙමාපියන්ගේ උපරිම යුතුකම් ඉස්කෝලෙට කළා මිසක් ලොකු බලාපොරොත්තු තියාගෙන, බදාගෙන, නටාගෙන ඉන්න තරම් දරුණු බැඳීමක් හද පත්ලෙන්ම ඉපදිලා නෑ ඉතින්.🤷‍♀️

සමහරවිට මේ වතාවේ ගියේ ගුරු සාරිය විසඳන්නද දන්නේ නැහැනේ! 😅

සාරිය ගැනත් මට තියෙන්නේ බොහොම උපේක්ෂා සහගත මතයක්. සාරිය බොහොම සුන්දර ඇඳුමක් (අඳින පිළිවෙල අනුව ප්‍රධානවම). යාර හයකට පුළුවන් නාරි ලාලිත්‍යය උපරිමේටම නලවලා ගන්න (ආයෙමත් නිසි සහ ගැලපෙන විදිහට ඇන්ඳම) වෙන කිසිම කාන්තා ඇඳුමකට වඩා. ඒත් ඒ පිළිවෙත වෘත්තීය මට්ටමට එද්දී තරමක් වෙනස් වෙලා, වැදගත් සහ සංවර ඇඳුමක් හැටියට තමයි සැලකෙන්නේ. ඒකෙ කිසිම වරදක් මම දකින්නේ නැහැ. නිරන්තරයෙන් සාරි නොඅඳින, සාරි ඇඳිය යුතු අවස්ථා මගහැර අත්‍යවශ්‍යම කාරණයේදී විතරක්ම නාහෙන් අඬමින් සාරි අඳින මං වගේ ජීවියෙක්ට සදාචාරාත්මක අයිතියක් නැහැ තවකෙකුට සාරි අඳින්න හෝ නාඳින්න 'බලකරන්න'.
හැබැයි සාරිය අඳින රැකියාවක් බාරගනිද්දී ඒ බව පැහැදිලිව දැනගෙනයි රැකියාව බාරගන්නේ කියන එක  මම හිතන්නේ අපි හැමෝටම එකඟවෙන්න පුළුවන් ප්‍රායෝගික කතාවක්. (දිනපතා සාරිය අඳින්න අකමැති කෙනෙක් නිසා ඒක අනිවාර්ය වන රජයේ හෝ බැංකු වැනි ආයතනවලට සම්බන්ධ වෙන්න මම හීනෙකින්වත් උත්සාහ කරන්නේ නැහැ, මම ඒකට අකමැති නිසා.) 

හැබැයි මේ සමාජයේ ගැටෙන කොට මම දකිනවා සාරියට විශේෂත්වයක් ගෞරවයක් අපේ සමාජයේ බහුතරයක් තුළ තාම තියෙන බව. එතකොට ගුරුවරියන් සාරි ඇඳීම හෝ නෑඳීම මට අදාළ නැති වුණත්, ඒ ගැන විශේෂ මතයක් නැතිවුණත් සමහරවිට ඒ සමාජ සම්මතය "හදිසියේම" "විශේෂයෙන්" අභියෝගයට ලක් කළ යුතු කාරණාවක් හැටියට මට පෞද්ගලිකව දැනෙන්නේ නෑ. මොකද ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට තියෙන දැවෙන ප්‍රශ්නය ගුරුවරියගේ වස්ත්‍රය නෙවෙයි! 
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අර ට්‍රැක පැන්න මල්ලීට වඩා ප්‍රශ්න තියෙනවා! හැබැයි ඉස්සෙල්ලම ට්‍රැක පැන්නේ මල්ලිටද ලෝකල් ස්ටාලින්ටද නැත්නම් චමුදිතට ද කියන එක කිකිළි ද බිත්තරේද කියන එකට වඩා උභතෝකෝටිකයක් වෙන හින්දා මේ තකහනියක් සාරියකට රට ගිනිතියන්න පුළුවන් වීම හිතලා බලන්න වටින කාරණාවක්! 

තව අතුරු කතාවක් තියෙනවා, ලියන්නම ඕන එකක්. 

අවුරුදු 19න් මම පළවෙනි රස්සාව පටන්ගත්තේ. එතකොට මාත් එක්කම ටෙලිකොම් සම්බන්ධ වුණ අපි ඔක්කොම එකම වයස්වල  40ක් 50ක් විතර හිටි ලොකු කණ්ඩායමක්. අපිට තිබුණේ සේවාමුර නිසාත් දවල් දවසේ අධ්‍යාපන වැඩ නිසා වැඩි හරියක් රාත්‍රී සේවා මුර කළ නිසාත් ඉස්කෝලෙන් එළියට ආ ගමන් පුරුද්ද නිසාත් අපි බහුතරය ඔෆිස් ගියේ ඩෙනිමයි ටී-ෂර්ට් එකයි සපත්තුයි දාගෙන! සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණ සේවා සම්බන්ධ ක්ෂේත්‍රයට ඕක අලුත් දෙයක් නොවුණට 51%ක් රජයට අයත් ඒ වනතුරුත් දෙපාර්තමේන්තු සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම වෙනස් නොවී තිබුණ ටෙලිකොම් ජ්‍යෙෂ්ඨයන්ට අපේ මේ "ඇඳුම" බිකිනියක් වගේ දැනුණ වග පුදුමයක් නෙවෙයිනේ!
පළවෙනිම වෙඩිමුරය එල්ලවුණේ මටයි මගේ හොඳම යාළුවටයි (මොකද අපි දෙන්නම වැඳිය යුතු අය වඳින ජාතියේ නොවුණු නිසා ඕන අංචියක පළවෙනි නොම්මර කැරකුණේ අපිට😅). ඔහොම එනවද ඔෆිස් කියලා ජ්‍යෙෂ්ඨ උත්තමාවියන් රංචුවක් ගේම කෝල් කළාම අපිටත් එකසැරේ වෙනස්වීමේ උවමනාව ඇතිවුණේ නෑ! වැඩේ තියෙන්නේ ඒ වෙද්දී කොටසක් වෙනස්වෙමින් හිටි නිසා අපි කලු බව වැඩිපුර පෙනීගිය එකයි! 🦍

 ආයතනයේ සාමාන්‍ය විදිහ ඒක වුණහමත් පහසුව තිබුණාට මොකද්දෝ අඩුවක් අර formal නොඇඳ හර්තාල් කරපු මටම දැනිච්ච අවස්ථා ඊට පහුකාලයක ඕනෑතරම් ඇතිවුණා. 

අනිත් කාරණය අපි තරුණ මදයට කිව් සැණින් ඊට අනුගත නොවුණට ඊටපස්සේ වෙනස්වුණා (අර ගේම කෝල් කළ අයටමත් ඉවසගන්න බැරිවෙන තරමට, ඇතැම් වෙලාවල. තරහවෙන්න ඕන නෑ ඉතින්. අපි හැමෝම පෘථග්ජන මිනිස්සුනේ😁) 

එහෙම වෙනස්වෙච්ච අපි formal attire කෙල පැමිණෙමින් සිටින අතර ටෙලිකොම් සභාපති ධූරයට කාන්තාරත්නයක් පත්වුණා 2008 අවුරුද්දේ. කාන්තාවක් හැටියට එතුමිය ආව හැටියේ ගැහුවා චක්‍රලේඛයක් සේරම මහිලාවන් චකබ්ලාස් වෙලා යන්න. ටෙලිකොම් සේවිකාවන් සියලු දෙනාට සාරිය අනිවාර්යයි, සාරිය නොඅඳින්නේ නම් කලිසම (සහ බ්ලවුසය) පමණයි!, කිසිමාකාරයක සාය සහ ගවුම තහනම්! කියලා. අර මොකාගෙද මොකද්ද එකට මොකද්දෝ වුණා වගේ ඒ වෙද්දි ඩෙනිමෙන් Mondy ගවුමට, සායට මාරුවෙලා හිටි අපිටත් වුණේ ඒවා ගුලිකරලා අල්මාරිය මුල්ලට කරලා සාරියට වංගුවක් ගහලා කලිසමට මාරුවෙන්න. 

මොකක්ද ඔය චක්‍රලේඛයේ අරමුණ කියලා දන්නේ උඩ ඉන්න දෙයියොයි සභාපතිතුමියයි එතුමියට ලණුව දුන්න අයයි විතරයි! 🙄
කකුල් පේන එක නම් ප්‍රශ්නේ වුණේ රූපවාහිනිය රොක් කරලා ගත්ත ගංගනාත් දිහාවත් බලලා හැදෙන්න තිබ්බා (පටන්ගත්තෙම ප්‍රවෘත්ති මේසෙ යටින් කකුල් පෙන්නලනේ🙈)

ඊටපස්සේ තමයි ලස්සන වැඩ පටන්ගත්තේ. 

මේ ලියන අහිංසක දැරිය එවකට කිලෝ 50ක උපරිමයකට යටත් වූ කටුබොඩියක්. හැබැයි කුලකයේ අනිත් අයගෙන් වෙනස් නොවූ නිසා, ඒ සුහුඹුල් වයසේදී තමන්ගේ විලාසිතාව ඇත්තේ කොතනදැයි කියා අවබෝධ කරගන්නට උත්සාහ කරමින්, ආයතනයේ සහ ගෙදර නීති සංග්‍රහය යටතේ පර්යේෂණාත්මක අවධියක හිටියේ. ඒ ශරීර කූඩුවට ගැලපෙන ඇඳුම් kiddies cornerවලින් හොයාගන්නට සිදුවූ අවස්ථාත් තිබුණා. Slim fit, straight cut කලිසම් formal attire එකට අයිති බව නොදන්නා බව පෙන්වූ බවලතුන් අලි කොටි වග වලසුන් ගහණ වනයක් ("වණයක්") ඒක, එකල.😂

දවසක් අපේ ප්‍රධානියා බොහොම කලබලයෙන් මාව ඩෝමෙට්‍රියට කැඳෙව්වා. (කාර්යාලයේදි නැතුව එතනදි කතා කරන්න හේතුව මම අදටත් දන්නෙ නෑ). අපරාධකාරයෙක් දිහා වගේ මගේ ඉහේ සිට දෙපතුලට බැලුවා. එදා ඇඳන් හිටියෙත් slim fit කලිසමට බ්ලවුස් එක යට කරලා (tuck කරලා) boots (casual නෙවෙයි formal boots) දාලා.
හරිම ලැජ්ජාශීලි මේ මහත්මිය මට කියනවා "මොකද්ද අනේ ඔයා මේ අඳින හැටි. ඔයා lift එකට නැග්ගම ඔක්කොම  පිරිමි ළමයි ඔයා දිහා බලනවා. මට හරිම ලැජ්ජයි! ඔයා ඔහොම අඳින්න එපා" 
(ඉතින් හත්දෙවියනේ, අවුරුදු 20ක 21ක කෙල්ලෙක් දිහා නොබලා ඉඳීද කොල්ලො? 🤷‍♀️) 

(ඒ දවස්වල ඉවසීම එහෙම නිල්. නහර වැඩියි. තරුණ ඇඩ්‍රිනලින් උනන්නේ නෑ, විදිනවා😅) 
" ඇයි මිස් මොකක්ද මගේ ඇඳුමේ ප්‍රශ්නේ? Chairperson කිව්වේ කකුල් පේන්න අඳින්න බෑ කියලා ඉතින් මගේ කොහෙවත් මොකුත් පේන්නේ නෑනේ" (හරිම අවංකව අහිංසකව මං මගේ හිසේ සිට දෙපතුල වනතුරු පරිස්සමින් බලමින්) 
(ප්‍රධානියා ලැජ්ජාවෙන් ඇඹරෙමින්) "ඒ වුණාට ඇඟට හිරයි වගේ නේ. ඒකනේ මිනිස්සු බලනවා ඇත්තේ"
🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️
(ලබා උපන් හැටියට කැහැටු ශරීරයක් ලබා හිටියාට මං මක්කරන්නද නේ? එහෙමයි කියලා නිලමෙට රෙදි ඔතන්නැහෙ රෙදි ඔතලා පුම්බලා ඇඳුම් අඳින්නද නැත්නම් නයිටි වගේ බාච්චු අඳින්නද මේ මට යෝජනා කරන්නේ කියලා වචන ලොප්වුණ විපිළිසරයකට ලක් වෙලා හිටියා මම මිනිත්තුවක් විතර. ඔව් ඒක ලොකු කාලයක්!) 
"මිස්, මගේ ඇඟේ තරමට තමයි ඉතින් මං මේ අඳින්නේ. අනික එහෙම උලුප්පා පෙන්නන්න තරම් දෙයක් මට නෑනේ, මේ පේනවනෙ ඉතින්. මට හිර නෑනේ මේ ඇඳුම් 😳ඇයි මිස් එහෙම හිතුවේ😳 ආ ඉන්නකෝ ඔන්න බලන්න මට පිටිපස්සේ සාක්කුවට මුලු අතම දාන්න පුළුවන් හරිම පහසුවෙන්, හිර නම් බෑනේ නේද" (ඇඳුමේ තව ඉඩකඩ ඇති බව සනාථ කරන්න දත කමින්) 
"අනේ මන්දා ඔයාට ඕවා කියලා වැඩක් නෑ" කියලා ප්‍රධානියා දඩස් ගාලා දොර ඇරගෙන තව මොනවාදො තර්ජනයක් කරලා ගියා යන්න. 

ඔන්න ඔහොමයි "ඇඳුම" "ජාතික ප්‍රශ්න" වෙන්නේ! 

වෘත්තීයට ගැලපෙන ලෙස ඇඳීම පැළඳීම අනිවාර්යයි, ඒකේ කිසිම තර්කයක් නෑ. සාරි ඇඳන් පීනන්න බෑ කියලා කොහේද දැක්කා. ඔව්, සාරි ඇඳන් ලියුම් බෙදන්න බෑ හැබැයි යාපනේ කෙල්ලෝ සාරි ඇඳන් බයිසිකල් පදිනවා. හැබැයි ඒ බයිසිකලේ යන කෙල්ලට ඒ සාරියම පිටින් තරුපහේ හෝටලේක reception එකේ වාඩිවෙන්න බෑ, ඒ සාරිය පිටින් Sri Lankan crew එකේ ඉන්න බෑ. වෙනස් වෙන්න වෙනවා. 
IT field එකේ කාන්තා ප්‍රධානියෙක් සාරියක් ඇඳන් වැඩ කරද්දි ඒක ඒ පරිසරයට ගැලපෙන්නේ නෑ. රජයේ ආයතනයක කාන්තා ප්‍රධානියෙක් ත්‍රීපීස් ෆෝමල් කිට් එකක් ගහලා සාරි අඳින බහුතරයක් අස්සේ වැඩ කිරීම ගැලපෙන්නේ නෑ. Academic field එකේ සාරිය අඳින විදිහට බැංකුවක සාරිය අඳින්නෙ නෑ. Model shoot එකක වැස්සක තෙමෙන රංගනයකට අඳින විදිහට සාරිය බැංකුවකටවත් රජයේ ආයතනයකටවත් ගුරුවරියකටවත් අඳින්න බෑ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය, අපි පුරුදු වෙලා ඉන්න රටාව. සාම්ප්‍රදාය අතික්‍රමණය කරන්න කියලා අර උපාධි ලෝගුව යටින් ගවුම ඇන්ඳ නංගිට කරන්න පුළුවන් වුණෙත් පිංතූර දාලා 'අවධානයද මේ ඉල්ලන්නේ' කියලා අහගත්ත එක විතරයි. 

දැන් ඔය උඩ කිව්ව නොගැලපෙන යමක් ගුරුවරියකගේ සාරිය සම්බන්ධයෙන් මේ මෑතකදී වුණාද? 
හදිසියේම වෙනසක අවශ්‍යතාවය මතුවුණේ කොහෙන්ද? කාටද? ඇයි? 
බහුතරයට ඒක ඕනෑ බව දැනගත්තේ මොන පදනමකින්ද? 

අනෙක් අතට, 
සාරිය නෙවෙයි බිකිණිය ඇඳන් ආවත් ඉගැන්වීමේ ක්‍රමවේදයේ ඉඳන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලංකාවට අත්‍යාවශ්‍ය නැද්ද? 
ඒවා කොහෙන්ද කොහොමද පටන්ගන්න ඕන?

තව ප්‍රශ්න තියෙනවාද, ප්‍රශ්න?? 
#ලංකාවටමට්‍රැක්

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka #formalattire #teachers

8 comments:

  1. අලි කොටි වලසුන් ගැවසෙන වණයක*
    ඉහඳ පණුවො ඉහ-වහා ඉන්න එක
    අරුමද? නැහැ නෙව මෙහෙම කොදෙව්වක
    ඉපදුනු එක ගැන තිබෙයි තවම දුක!

    ලිවීම නියමයි ගෙතුම අපූරුයි
    ලියා තියෙන්නෙත් balance කරගෙනයි
    ඇරියස් ඇති අය රටේ රජ කරයි
    බලන්සෙ නැතිවම කිරල මැනල දෙයි

    *වණයක= තුවාලෙක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කියැවීම හරියටම අල්ලගත්තට. සහ ඒ අපූරු කවියට❤️

      Delete
  2. සාරි කතන්දරේ මටනම් සමාජය ගැන දුකක් දැනෙනවා. තමන් කැමති දෙයක් කන්න, කැමති දෙයක් අඳින්න, තමන් කැමති දිහාක යන්න අන් අයගෙ නිදහස සීමා කරන්න ඉදිරිපත්වෙන සමාජයක් සහ ඒවාට යටත් වෙන්න එකඟවෙන අය ඉන්න සමාජයක් මේ රටේ තියන එක. මාස හතරෙන් හතරට දේශගුණය වෙනස් වෙන රටක ජීවත් වුන කාලෙ මතක් වුනා. එහෙ වසන්ත කාලෙට ගෑනු අය කාර්යාල වල අඳින සමහර ඇඳුම් දැක්කනම් හාමුදුරු වරු සිවුරු ඇරල.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි. ඇඳුම් ගැන මිනිස්සු බලන්නේ තමතමන්ට ඕන විදියට. කන්න ඕන වුණාම කබරයා තරයා වෙන මෙතඩ් එක තමයි ඇඳුමටත් අදාළ වන්නේ. ඒ ඇරුනම සැගවුණු කුහකගති, ආත්මාර්ථකාමීකම්, දුෂ්ටකම්, ඉරිසියාවල් ඔක්කෝම ඉවුරු කඩං යන එක තැනක් ඇඳුම! හැබැයි ලංකාවේ ගුරු සාරිය මේ මහ හදිසියේ ජාතික ප්‍රශ්නයක්, දැවෙන ප්‍රශ්නයක් කරගන්න තරම් දෙයක් නෙවෙයි! ඊට වඩා ළමයි මන්දපෝෂණයෙන් පෙලෙන එක, ඉගෙනගන්න පොත්ඳත් නැතිඑක, වියදම් දරාගන්න බැරිකමට අධ්‍යාපනය අඩාලවෙන එක ගැන හිතන්න ඕන ඔය ගොං වෘත්තීය සමිති ටිකයි, හාමුදුරුවරුයි, ගුරුවරුයි සේරම!

      Delete
  3. හරිම ලස්සන සටහනක් . එක හුස්මට කියෙව්වා. සාරිය කේන්ද්‍ර කරගෙන ඔබ ලියූ සටහන හරිම හරවත්. ඔබට කැමති ඇදුමක් අදින්නට නිදහස තිබුණත් , තැනට ගැලපෙන විදිහටත්, නිසි ලෙසත් එය භාවිත කිරීම ඔබගේ ප්‍රතිරූපය පෙන්නුම් කරනවා. ඒත් කවුරු හරි ඇදුමෙන් විතරක්ම කවුරු හරි ගැන තේරුම් ගන්නට යනවා නම් එයත් මෝඩකමක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුරුද්ධ ☺️ ඔබෙන් එවැනි ප්‍රශංසාවක් ලැබීමම සතුටක්🌼☺️

      Delete
  4. මාතේ නිතරම කියන දෙයක් මතක් උනා...අපි තවම ගෝත්‍රිකයි

    ReplyDelete
    Replies
    1. අනිවා. කොයි සමාජයෙත් ගෝත්‍රික ලක්ෂණ තියෙනවා. අපි තමයි හොඳටම කළේ හැබැයි 😁

      Delete