ඉන්ද්‍රිය භාවනාව - උපාසක පිරිහීම - ධර්මය සහ ජීවිතය - 16 කොටස -

 

                                                 ඡායාරූපය - https://www.pinterest.com/

බුදුරජාණන් වහන්සේ විසින් වදාල මෙම ඉන්ද්‍රිය භාවනා ක්‍රමය ඉතාම ආශ්චර්යය ක්‍රමවේදයක් බව එය විමසා බැලීමේදී වැටහෙනවා. කයට කිසිදු වෙහෙසක් නොදී, කයට දුක් දෙමින් කෙරෙන අත්තකිලමතානුයෝගී භාවනාවක් නොව සිහිය සහ නුවණ යොදවා පැය විසිහතර තුලම වඩන්නට හැකි ඉතාම විශිෂ්ඨ භාවනාවක් වශයෙන් මෙය අත්දකින්නට හැකියි. 

යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකාවක් වේවා පිරිහෙන්නට තිබෙන ඉඩකඩ බොහෝමයි. කෙලෙස් සහිත සිත්වලට රූප ශබ්ද ආදී අරමුණු නිසා විවිධාකාර අකුසල ධර්මයන් ලෝභ ද්වේශ මෝහ හේතු කරගෙන ඇති වෙන්නට පුලුවන්. බුදුරජාණන් වහන්සේ ආර්යය භාවනාවක් හැටියට මේ ඉන්ද්‍රිය භාවනා ක්‍රමය දේශනා කොට වදාලේ සෑම දෙනෙකුටම මේ ක්‍රමය ප්‍රගුණ කරමින් පරිහානියෙන් වළකින්නටයි. 

අවිද්‍යාව අසිහිය අයෝණිසෝ මණසිකාරය හෙවත් නුවනක් නැතිව මනා සිහියක් නැතිව විවිධාකාර අරමුණු පිලිබදව සිත සිතා සිටීම මේ පරිහානියට එක් හේතුවක්. දකින දකින දේ ගැන, ඇසෙන ඇසෙන දේ ගැන, දැනෙන දැනෙන දේ ගැන, හිතෙන හිතෙන දේ ගැන මංමුලාවී කල්පනාවට වැටීම පරිහානියට තවත් හේතුවක්. ඒ වගේම මේ කාම අරමුණු කෙරෙහි අසීමාන්තික කැමැත්ත මෙන්ම දැඩි අකමැත්තද, උපේක්ෂාව නොමැති බවද පරිහානියට පමුණුවන තවත් හේතුවක්. එතකොට ත්‍රිවිධ විතර්කය වන කාම විතර්කය ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය නිරන්තරයෙන් පහළ කරගෙන ඒ තුලම ජීවත්වීම පරිහානියට සහ දුකට හේතුවක්. ලෞකික ජීවිතයක් ගත කරන හැම දෙනාම බහුල වශයෙන් සිටින්නේ මේ ත්‍රිවිධ විතර්කයේ.කාමයන් ගැන කල්පනා කරමින්, ද්වේශය මුල් කරගත් ව්‍යාපාද සිතුවිලි සහ විහිංසා සිතිවිලි වල ගැලී සිටින හැමදෙනාටම ජීවිතය වන්නේ ඒ ත්‍රිවිධ විතර්කයයි. ඒත් කිසිවකු දන්නෙ නැහැ ඒ ගතකරන මුළු ජීවිත කාලයම පරිහානියට පත්ව සසරට ගමන් කරන බව. 

විතර්ක තුනක් දහමෙහි සඳහන් වෙනවා.    

1.කාම විතර්ක‍  2.ව්‍යාපාද විතර්ක  3.විහිංසා විතර්ක

ඔබත් මමත් සෑම කෙනෙක්ම සෑම මොහොතකම ඉන්නෙ  ඔන්න ඔය ත්‍රිවිධ විතර්කය ඇතුලෙ. ඔය කිසිදු විතර්කයක් නැති වෙලාවක් සොයන්නට ඉතාම අසීරුයි. කාම විතර්ක කියන්නෙ ඇස කණ නාසය ආදී ආයතන හමුවට එන ප්‍රියමනාප සැප උපදවන සිත කැමත්තෙන් ඇලෙන සිතිවිලි වලට. වස්තු කාම කියන්නෙත් ඒවාට. ව්‍යාපාද විතර්ක කියන්නෙ ඇස කණ නාසය ආදී ආයතන හමුවට එන අප්‍රිය අමනාප දුක කේන්තිය වෛරය නොරුස්නා බව ක්‍රෝධය උපදවන සිත අකමැත්තෙන් ගැටෙන සිතිවිලි වලට. විහිංසා විතර්ක කියන්නෙ ඒ වය්‍යාපාද විතර්ක නිසා ඇතිවන පලිගන්නට, රිදවන්නට, ගහන්නට, බනින්නට, එකට එක කරන්නට, මරන්නට, හිංසා කරන්නට පහළවන චේතනා සිතිවිලි වලට. 

බුදුරජානන් වහන්සේ මෙසේ වදාරනවා.

"කිළිටි අපවිත්‍ර යම් වස්ත්‍රයක්, රෙදි පිරිසිදු කරන්නෙක් විසින් නිල්පාට හෝ රන්වන් පාට හෝ, ලේ පාට හෝ, මදටිය පාට දැමීම පිනිස යම් සායම් බඳුනක දැමුවත්, ඒ වස්ත්‍රය කිසිදු පාටක් මනාව නොගනියි. අපවිත්‍ර පැහැයෙන්ම පෙනේ. කවර හෙයින්ද මහණෙනි වස්ත්‍රය අපිරිසිදු බැවින්ය. එපරිද්දෙන්ම සිත කිලිටි වූ කල්හි දුගතිය කැමති විය යුතුය"

-මජ්ජිම නිකාය-වත්ථූපම සූත්‍රය-

සිත කිලිටි වූ විට දුගතියම, දුක් විපාක සහිත වූ දුකම නොඑසේ නම් එලොව මෙලොව පරිහානිය ලඟාකර දෙයි. 

සිත කෙලෙසන ධර්ම (චිත්තෝපක්ලේශ)

1.අභිධ්‍යා - තමන්ට අයත් දේ කෙරෙහි ඇති දැඩි ඇල්ම

2.විෂම ලෝභය - අනුන් සතු දේ කෙරෙහි ඇති දැඩි ඇල්ම

3.ව්‍යාපාදය         4.උපනාභය - (බද්ධ වෛරය)

5.මක්ඛය - ගුණමකු කම හෙවත් යමෙකුගේ ඇති ගුණ මකාදැමීම

6.පළාසය          7.ඊර්ශියාව

8.මසුරු බව        9.මායාව

10.කපටිබව      11.ථම්භය - (සිතෙහි තද බව)

12.සාරම්භය -(එකට එක හෝ ඊට වැඩියෙන් කිරීම)

13.මානය         14.අතිමානය

15.මදය            16.ප්‍රමාදය

බුදුරජාණන් වහන්සේගේ දර්ශනය සහ විමුක්ති මාර්ගය තුල ඉතාම වැදගත් ස්ථානයක් ගන්නවා සිහිය නුවණ කියන කාරණා දෙක. සිහියයි නුවණයි දෙක වැඩෙන තරමට දර්ශනය ප්‍රකට වෙනවා. මේ ඉන්ද්‍රිය භාවනාව තුලත් සිහිය සහ නුවණ දෙක වැඩෙන ආකාරයේ භාවිතාවක් තිබෙන්නේ. 

ඉන්ද්‍රිය ධර්ම

පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්‍රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්‍රියං, වීරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං.
ධර්මයෙහි ඉන්ද්‍රිය ධර්ම ගැන එසේ සඳහන් වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යනුවෙන් ඒ ඉන්ද්‍රිය ධර්මයන් නම් කෙරෙනවා.
 යතො ඛො, භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්‍රියානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති - අයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’ති. දුතියං.


මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙකි. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය, යනුයි.

 

“මහණෙනි, යම් මොහොතක ආර්‍ය්‍යශ්‍රාවකයා මේ ඉන්ද්‍රිය ධර්මයන් වල ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද නිසි පරිද්දෙන් දනීද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවකයා එතැන් පටන් අපායගාමී නොවන සෝතාපන්න බවට පැමිණ, රහත් භාවය නියතවූ සම්බෝධි පරායන ස්වභාව ඇත්තේ වෙයි.

-සංයුක්ත නිකාය- ඉන්ද්‍රිය සංයුත්තය-සෝතාපන්න සූත්‍රය-

ඉන්ද්‍රිය භාවනාව

බුදුරජාණන් වහන්සේ විසින් වදාල මෙම ඉන්ද්‍රිය භාවනා ක්‍රමය ඉතාම ආශ්චර්යය ක්‍රමවේදයක් බව එය විමසා බැලීමේදී වැටහෙනවා. කයට කිසිදු වෙහෙසක් නොදී, කයට දුක් දෙමින් කෙරෙන අත්තකිලමතානුයෝගී භාවනාවක් නොව සිහිය සහ නුවණ යොදවා පැය විසිහතර තුලම වඩන්නට හැකි ඉතාම විශිෂ්ඨ භාවනාවක් වශයෙන් මෙය අත්දකින්නට හැකියි. 


නිධාන කථාව

පාරාශාරිය බමුණාගේ ශිෂ්‍යයකු වූ උත්තර නම් මාණවකයෙක් දිනක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණි සතුටු සාමිචියේ යෙදුනා. එහිදී බුදුරජාණන් වහන්සේ උත්තර මාණවකයාගෙන් ප්‍රශ්නයක් විමසමින් අසා තසිටිනවා, මාණවකය..පාරාශරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශිෂ්‍යයන්ට ඉන්ද්‍රිය භාවනාව ගැන යමක් දේශනා කොට තිබෙනවාද කියා. එවිට උත්තර මාණවකයාගේ පිළිතුරු වූවේ ඔව් යන්නයි.ඊලඟට බුදුරජාණන් වහන්සේ විමසා සිටිනවා පාරාශරිය බ්‍රාහ්මණයා මොන විදියටද ඉන්ද්‍රිය භාවනාව ගැන කියා දෙන්නෙ කියා. එවිට උත්තර මාණවකයාගේ පිලිතුර වූවේ ඇසෙන් රූප නොබලන තාක් කල්, කනෙන් ශබ්ද නොඅසන තාක් කල් ඒ ඉන්ද්‍රියයන් වැඩීම පිණිස වේ කියා.උත්තර මාණවකයා දුන් පිළිතුර අසා බුදුරජාණන් වහන්සේ පෙරළා ප්‍රශ්න කරනු ලබනවා
එසේනම් මාණවකය..පාරාශාරිය බ්‍රාහ්මණයා කියන විදියට නම් ඉන්ද්‍රිය භාවනාව සිදුවන්නේ, රූප නොපෙනෙන අන්ධයාද ඒ භාවනාව වැඩු අයෙක් වෙනවා.ශබ්ද නෑසෙන බිහිරාද ඉන්ද්‍රිය භාවනාව වැඩූ අයෙක් වෙනවා නේද මක්නිසාද යත් ඒ අයටත් රූප පෙනෙන්නෙ නැහැ ශබ්ද ඇසෙන්නෙ නැති නිසා.බුදුරජාණන් වහන්සේ ගේ ඒ වචන ඇසූ උත්තර මාණවකයා තුෂ්නිම්භූව බිම බලාගත් බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඉන් පසුව බුදුරජානන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මේ දේශනාව කරනු ලබනවා.

ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්‍රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්‍රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති, තතො මුදුතරෙහි අන්තරාපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි උපහච්චපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි අසඞ්ඛාරපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි සසඞ්ඛාරපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි උද්ධංසොතො හොති අකනිට්ඨගාමී, තතො මුදුතරෙහි සකදාගාමී හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති, තතො මුදුතරෙහි සද්ධානුසාරී හොතී’’ති. පඤ්චමං.

01.මේ ඉන්ද්‍රිය ධර්ම පහ සම්පූර්ණ කිරීමෙන් රහත් භාවයට පත් වෙයි. 
02.ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියය ධර්මයන් පිරීමෙන් අන්තරාපරිනිබ්බායී  (පංච සුද්ධාවාසයෙහි ආයුශය අඩක් ගෙවෙන අතරතුර රහත් වන) අනාගාමී පුද්ගලයා වෙයි. 
03.ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියය ධර්මයන් පිරීමෙන් උපහච්ච පරිනිබ්බායී
 (පංචසුද්ධාවාසයෙහි ආයු අඩක් ඉක්මවා රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි. 
04.ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියය ධර්මයන් පිරීමෙන් අසඩ්ඛාර පරිනිබ්බායී
 (නොහොත් පංච සුද්ධාවාසයේ ඉපිද පහසුවෙන් වෙහෙස නොවී රහත්වෙන) අනාගාමී පුද්ගලයා වෙයි. 
05.ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියය ධර්මයන් පිරීමෙන් සසංඛාර පරිනිබ්බායී 
(පංච සුද්ධාවාසයේ ඉපිද වෙහෙසවී උත්සාහයෙන් රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. 
06.ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියය ධර්මයන් පිරීමෙන් උද්ධංසොත අකනිට්ඨගාමි (ක්‍රමයෙන් අකනිටා බඹලොව දක්වා රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. 
07.ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියය ධර්මයන් පිරීමෙන් සකෘදාගාමී වෙයි. 
08.ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියය ධර්මයන් පිරීමෙන් සෝවාන් වෙයි.
09. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියය ධර්මයන් පිරීමෙන් ධම්මානුසාරි නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. 
10. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියය ධර්මයන් පිරීමෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.

-සද්ධානුසාරි සූත්‍රය-සංයුක්ත නිකාය- ඉන්ද්‍රිය සංයුත්තය-


කුමක්ද ආනන්දය ආර්යය විනයෙහි  ඉන්ද්‍රිය භාවනාව?

කථඤ‍්චානන්‍ද, අරියස‍්ස විනයෙ අනුත‍්තරා ඉන්‍ද්‍රියභාවනා හොති: ඉධානන්‍ද, භික‍්ඛුනො චක‍්ඛුනා රූපං දිස‍්වා උප‍්පජ‍්ජති මනාපං, උප‍්පජ‍්ජති අමනාපං, උප‍්පජ‍්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප‍්පන‍්නං ඛො මෙ ඉදං මනාපං, උප‍්පන‍්නං අමනාපං, උප‍්පන‍්නං මනාපාමනාපං. තඤ‍්ච ඛො සඞ‍්ඛතං ඔළාරිකං පටිච‍්චසමුප‍්පන‍්නං, එතං සන‍්තං එතං පණීතං යදිදං උපෙක‍්ඛා’ති. තස‍්ස තං උප‍්පන‍්නං මනාපං උප‍්පන‍්නං අමනාපං උප‍්පන‍්නං මනාපාමනාපං නිරුජ‍්ඣති, උපෙක‍්ඛා සණ‍්ඨාති. සෙය්‍යථාපි ආනන්‍ද, චක‍්ඛුමා පුරිසො උම‍්මීලෙත්‍වා වා නිමීලෙය්‍ය, නිමීලෙත්‍වා වා උම‍්මීලෙය්‍ය. එවමෙව ඛො ආනන්‍ද, යස‍්ස කස‍්සචි එවං සීඝං එවං තුවටං එවං අප‍්පකසිරෙන උප‍්පන‍්නං මනාපං උප‍්පන‍්නං අමනාපං උප‍්පන‍්නං මනාපාමනාපං නිරුජ‍්ඣති, උපෙක‍්ඛා සණ‍්ඨාති. අයං වුච‍්චතානන්‍ද, අරියස‍්ස විනයෙ අනුත‍්තරා ඉන්‍ද්‍රියභාවනා චක‍්ඛුවිඤ‍්ඤෙෙය්‍යසු රූපෙසු.


-මජ්ජිම නිකාය-සළායතන වග්ගය-ඉන්ද්‍රිය භාවනා සූත්‍රය

සරළ අදහස

ආනන්දය, ඒ කිව් විදියට ආර්යය විනයෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාක් තිබෙනවා. 
කුමක්ද ඒ? යමෙකුට ඇසෙන් රූප දුටුවාම ඒ රූප කෙරෙහි කැමැත්තක් හටගන්නවා (සැප වේදනා වශයෙන්). එහෙම නැත්නම් ඒ රූප කෙරෙහි අකමැත්තක් අමනාපයක් උපදිනවා (දුක් වේදනා වශයෙන්). එහෙමත් නැත්නම් ඒ රූප කෙරෙහි මනාපද නැති අමනාපද නැති (අදුක්ඛමසූඛ වේදනා) වශයෙන් විඳීමක් හට ගන්නවා. එහෙම මනාප අමනාප හෝ මනාපද නැති අමනාපද නැති අයුරින් විඳීම් හටගන්නවිට මෙසේ දැනගන්නට උවමනායි.
"මේ දේ කෙරෙහි මනාපයක් හටගත්තෙ..මේ දේ කෙරෙහි අමනාපයක් අකමැත්තක් හටගත්තෙ..මේවා සංඛතයි. ඕළාරිකයි..පටිච්චසමුප්පනයි..මේවා කෙරෙහි යම් පිරිසිදු උපේක්ෂාවක් ඇද්ද එය මීට වඩා ශාන්තයි ප්‍රනීතයි" යනුවෙන්. භාවනාව වැඩිය යුත්තේ මේ විදියටයි.

සංඛතය කියන්නෙ සකස් වූ කියන අර්ථයෙන්. එතකොට රූපය කෙරෙහි මනාපය හෝ අමනාපය සකස් කරන්නේ කවුද. මනස විසින්. ඒ සකස් කරන මනාපය හෝ අමනාපය අර දකින රූපයේ නැහැ. ඒවා ඒ රූපයට අයිතිද නැහැ. රූපය කියන්නෙ වෙනම බාහිර දෙයක්. ඒ කෙරෙහි සකස් කරගන්නා මනාප අමනාප රූපය වෙනම දෙයක් අධ්‍යාත්මිකව මනස තුල. මෙන්න මේ ටික පමණයි තේරුම් ගත යුත්තේ. 

ඕළාරිකයි කියන්නෙ ඒ මනාප අමනාප බව හරිම රළුයි.ගොරෝසුයි. ශාන්ත නැහැ. ප්‍රනීත නැහැ. මක්නිසාද ඒ රළුබව ගොරෝසු බව තමයි මනසේ ස්වභාවය. 

පටිච්චසමුප්පනයි කියන්නෙ හේතුප්‍රත්‍යයෙන් හටගත්තෙ. මොකක්ද හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියන්නෙ.
ඇසයි රූපයයි එකතුවීම නම් හේතුව නිසා චක්ඛු විඤ්ඤාණය නම් ඵලය හටගත්තා.චක්ඛු විඤ්ඤාණය හට ගත්තෙ ඇසයි බාහිර රූපයයි කියන දෙකම වැය වෙලා.ඇසයි රූපයයි චක්ඛු විඤ්ඤාණයයි එකතුවීම කියන හේතුව නිසා ස්ඵර්ශය හටගත්තා. එතකොට ස්පර්ශය වැය වෙලා තමයි වේදනා සංඥා සංඛාර නම් ඵල උපදවන්නෙ. මේ කිසිවකට පවතින්න බැහැ වැය උනාම. ඒ නිසා හේතුව වැය වෙලා ඵලය උපද්දනවා. එතකොට මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවයද අනාත්ම ස්වභාවයද මෙතැන තියෙනවා. දැන් මේ වේදනා සංඥා සංඛාර තුන වැය වෙලා තමයි මනාප රූපය හෝ අමනාප රූපය උපද්දන්නෙ. ඒවා තුල හේතු තියෙනවා. රාග ලෝභ ද්වේශ මෝහ ආදිය. අන්න ඒ හේතූන්ට අනුවයි මේ පටිච්චසම්පන්න රූපය හැදෙන්නෙ. 

මෙන්න මෙහෙම මෙනෙහි කලාම ඒ රූප කෙරෙහි තියෙන ඕළාරික මනාප අමනාප භාවයන් හොඳින් වැටහෙනවා මේවා බාහිර තිබෙන රූප නොව මනස විසින්ම ගොඩනැගූ රූප බවට. 

රූපරූපය,ශබ්දරූපය,ගන්ධරූපය,රසරූපය,පෝට්ඨබ්බරූපය මේ සියල්ල තුලම සිදුවන මේ ක්‍රියාකාරකම මැනවින් සිහියෙන් නුවණින් දැනගැනීම සහ දැකගැනීම තමයි මේ ඉන්ද්‍රිය භාවනාව තුලින් සිදුවන්නෙ. එතකොට ඉන්ද්‍රිය සංවරය දක්වා මෙය වැඩි දියුනු වෙනවා

එතකොට මෙතැනදි යම් නුවණක් ඇතිවෙන්නට ඕනෙ බාහිර තිබෙන්නෙ සතරමහා ධාතුවෙන් උපන් රූප බවට.ඒවා රූපමාත්‍ර,ශබ්දමාත්‍ර ගන්ධමාත්‍ර විදියට තමයි ඇස කණ නාස දිව කය හමුවට එන්නෙ.ඒ රූපමාත්‍ර වල කිසිදු හොඳක් නරකක් කැතක් ලස්සනක් යහපතක් අයහපතක් මිහිරක් අමිහිරක් නැහැ. නමුත් පෘතග්ජන මනසට එය හසුවන්නේ නැහැ. පෘතග්ජන මනසට හසුවන්නේම සකස් කරන ලද හොඳ නරක,මිහිරි අමිහිරි සංඛත රූපයමයි. ඒ අරමුණු නැවත නැවත ඇස කන හමුවට එනවිට මනස කරනු ලබන්නේ සංඛතය නැවත සකස් කොට පෙන්වන එකයි.

එහෙනම් යමෙකුට මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව සහ ඒවා නැවතසකස් කරනු ලබන බවට හෙවත්  සංඛත බවට පත්කරනු ලබන ආකාරය පිලිබඳව වැටහීමක් ඇති කරගැනීම වැදගත් වෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කරනු ලබනවා.

රූපය
‘කිඤ්ච, භික්ඛවෙ, රූපං වදෙථ? රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූප’න්ති වුච්චති. කෙන රුප්පති? සීතෙනපි රුප්පති, උණ්හෙනපි රුප්පති, ජිඝච්ඡායපි රුප්පති, පිපාසායපි රුප්පති, ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සෙනපි (සිරිංසපසම්ඵස්සෙනපි  රුප්පති. රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූප’න්ති වුච්චති.

මහණෙනි, විපරිනාමයට හෙවත් වෙනස්වීමට  ලක්වන නිසා රූපයයි කියනු ලැබේ. කුමකින් වෙනසට පැමිණෙයිද? සීතයෙන්ද වෙනසට පැමිණෙයි. උෂ්ණයෙන්ද වෙනසට පැමිණෙයි. බඩගින්නෙන්ද වෙනසට පැමිණෙයි. පිපාසයෙන්ද වෙනසට පැමිණෙයි, විද විද ලේ බොන ඇටමැසි, මදුරුවා, අව් සුලං සර්පාදී  සතුන්ගේ ස්පර්ශයෙන්ද, වෙනසට පැමිණෙයි. මහණෙනි, වෙනසට පැමිණෙනුයි එහෙයින් වනාහි රූපයයි කියනු ලැබේ.

"කබලිංකාරාහාරය නියෝජනය කරමින් පවතින රූපයක් තියෙනවා.ධම්මායතනය නියෝජනය කරමින් පවතින රූපයකුත් තියෙනවා.කාමලෝකයේ කෙනාට ධම්මායතනය නියෝජනය කරමින් පවතින රූපය අහුවෙන්නෙ නැහැ.අහුවෙන්නෙ කබලිංකාරාහාරය නියෝජනය කරමින් පවතින රූප විතරයි. මේ රූපය තමයි සීතෙන් උශ්ණයෙන් කිපෙන්නෙ.එතකොට කබලිංකාරාහාරය ප්‍රත්‍යයෙන් හටගත් කාමලෝකයේ ඉන්න කෙනාගෙ රූපය හැමවෙලාවෙම සීත උෂ්ණයෙන් කිපෙනවා.දැන් ධම්මායතනය අනුව තියෙන රූපයෙන් තමයි බාහිර රූපය හදන්නෙ. ඒ හැදුන රූපයයි සීත උෂ්ණ දෙකෙන් විනාශ වෙන්නෙ.

(අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ-ධම්මසඞගණි විවිරණය)

වේදනාව
‘‘කිඤ්ච, භික්ඛවෙ, වෙදනං වදෙථ? වෙදයතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘වෙදනා’ති වුච්චති. කිඤ්ච වෙදයති? සුඛම්පි වෙදයති, දුක්ඛම්පි වෙදයති, අදුක්ඛමසුඛම්පි වෙදයති. වෙදයතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘වෙදනා’ති වුච්චති.

මහණෙනි, විඳිනවා කියන අර්ථයෙන් වේදනාව හැඳින්වෙනවා. වේදනාව තුල සැපද විඳියි. දුකද විඳියි. අදුක්ඛම සුඛයද, (දුකත් නැති සැපත් නැති මෝහ මූලිකව) විඳියි. මහණෙනි,විඳිනවා කියන අර්ථයෙන් වේදනාව කියා කියනු ලැබේ.


සංඥාව
‘‘කිඤ්ච, භික්ඛවෙ, සඤ්ඤං වදෙථ? සඤ්ජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඤ්ඤා’ති වුච්චති. කිඤ්ච සඤ්ජානාති? නීලම්පි සඤ්ජානාති, පීතකම්පි සඤ්ජානාති, ලොහිතකම්පි සඤ්ජානාති, ඔදාතම්පි සඤ්ජානාති. සඤ්ජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඤ්ඤා’ති වුච්චති.

මහණෙනි, සංඥාව කුමක්ද? මහණෙනි, යමක් හඳුනා ගැනීම සංඥාවයයි කියනු ලැබේ. කුමක්ද හඳුනා ගන්නෙ? නිල්වූ දේ නිල්යයිද, හඳුනයි. කසාවන් දෙය කසාවන් යයිද හඳුනයි. ලෙහෙවන් දෙය ලේවන්යයිද හඳුනයි. සුදු දෙය සුදුයයිද හඳුනයි. මහණෙනි, යමක් හඳුනා ගැනීමට සංඥාවයයි කියනු ලැබේ.


සංඛාර
‘‘කිඤ්ච , භික්ඛවෙ, සඞ්ඛාරෙ වදෙථ? සඞ්ඛතමභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඞ්ඛාරා’ති වුච්චති. කිඤ්ච සඞ්ඛතමභිසඞ්ඛරොන්ති? රූපං රූපත්තාය   සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, වෙදනං වෙදනත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, සඤ්ඤං සඤ්ඤත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති. සඞ්ඛතමභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඞ්ඛාරා’ති වුච්චති.

මහණෙනි, කුමක්ද සංස්කාරය? මහණෙනි, හේතු ප්‍රත්‍යයෙන් හට ගත්  දේ නැවත සකස් කිරීමක් තියෙයිද එය සංස්කාරයයි කියනු ලැබේ. කිනම් හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද්දක් පිළියෙල කරද්ද? හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද රූපය රූපයවීම පිණිස සකස් කරයි. සංඛතවූ වේදනාව වේදනාව වීම පිණිස සකස් කරයි. සංඛතවූ සංඥාව සංඥාව වීම සකස් කරයි. සංඛතවූ සංස්කාරයන් සංස්කාරවීම පිණිස සකස් කරයි. සංඛතවූ විඥානය විඥානයවීම පිණිස පිළියෙල සකස් කරයි. කරත්සකස් කරයි. මහණෙනි, සංඛතය (හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ) පිළියෙල කරන හෙයින් සංස්කාරයෝයයි කියනු ලැබෙත්.


විඤ්ඤාණය
‘‘කිඤ්ච, භික්ඛවෙ, විඤ්ඤාණං වදෙථ? විජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘විඤ්ඤාණ’න්ති වුච්චති. කිඤ්ච විජානාති? අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කටුකම්පි විජානාති, මධුරම්පි විජානාති, ඛාරිකම්පි විජානාති, අඛාරිකම්පි විජානාති, ලොණිකම්පි විජානාති, අලොණිකම්පි විජානාති. විජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘විඤ්ඤාණ’න්ති වුච්චති.

මහණෙනි, කුමක්ද විඥානය ? මහණෙනි, විශේෂයෙන් දැනගනියි. එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දැනගනීද? ඇඹුල් රසද, විශේෂයෙන් දනී. තිත්ත රසද විශේෂයෙන් දනී කුළුරසද විශේෂයෙන් දනී. මිහිරි රසද විශේෂයෙන් දනී. කර රසද විශේෂයෙන් දනී. මිශ්‍ර රසද විශේෂයෙන් දනී. ලුණු රසද විශේෂයෙන් දනී දිය රසද විශේෂයෙන් දනී. මහණෙනි, මෙසේ වනාහි අරමුණ විශේෂයෙන් දැනගන්නා හෙයින් විඥානයයි කියනු ලැබේ.

-සංයුත්ත නිකාය-ඛජ්ජනීය වග්ගය-ඛජ්ජන සූත්‍රය-

එතකොට ඒ සඳහන් කල " සඞ්ඛතමභිසඞ්ඛරොන්ති" කියන යෙදුම තුලින් පැහැදිලි වෙනවා රූපය සකස් කරන්නෙ බාහිර තිබුන දෙයක් නිසා නොව මනසින් බවට. සංඛත වූ දෙය නැවත සැකසීම නැවත සංස්කරණය කිරීම එහි අදහසයි. එසේ නැවත සකස් කරන්නේ මනසින්ය. එවිට බාහිර තිබෙනවා සිටිනවා කියා පෙනෙන්නේ ධම්මායතනය විසින් ඒ නැවත සකස් කල රූපය මිසක ඇත්තටම බාහිර තිබෙන රූපයක් නොවේය.  වේදනාවද සංඥාවද සංඛාරයද බාහිර කොහේවත් තිබුනා නොව  මනස තුලම තිබුනු දේවල් බව. ආර්යය විනයෙහි නොහික්මුණු පෘතග්ජන සිතක ස්වභාවය තමයි අරමුණු දෙසටම නැවී පැවතීම. අරමුණක් නැතිව සිතකට පවතින්නට පුරුද්දක් නැති නිසා සිත හැමවිටම කුමක් හෝ අරමුණක් දිහාට නැඹුරු වෙන්නට බලාගෙන ඉන්නෙ. හැබැයි මේ නිත්‍ය වූ සිතක් තිබෙනවා කියන කාරණය නෙවෙයි. එහෙම නිත්‍ය සිතක් නැහැ. එතකොට ඇස කණ නාසය ආදී ආයතන වලින් එන බාහිර අරමුණු සිත කැමති මොන විදියටද අන්න ඒ විදියටම සකස් කරගෙන සිත ඒ තුල බැසගෙන ඉන්නවා. අරමුනෙන් අරමුණට සිත මේ ආකාරයට වෙනස් වෙවි වෙනස්වෙවි අරමුණට අදාල පරිදි හැසිරෙනවා. මෙය එකම සිතක් හැටියට වරදවා නොගත යුතු අතර ඒ ඒ අරමුණට ඒ ඒ අදාල සිත පහළ වන අතර කලින් අරමුණ නිරුද්ධ වන විට ඊට අදාල සිතද නිරුද්ධ වෙනවා. මේවා සිත් පරම්පරාවක් සිතිවිලි පරම්පරාවක් නොනැසී ඉදිරියට ගමන් කිරීමක් හැටියට ධර්මයෙහි දක්වනවා. එතකොට මේ ඉන්ද්‍රිය භාවනාව තුලින් එසේ අරමුනෙන් අරමුණට හටගන්නා සිත් සහ වේදනා සංඥා සංඛාර ආදී චේතනා සිතිවිලි වල යථා ස්වභාවය සිහියෙන් සහ නුවණින් දැනගෙන ඇලීම් ගැටීම් ආදී සංසාර සංයෝජන දුරු කරගන්නට උපකාරී වෙනවා.
"මේ දේ කෙරෙහි මනාපයක් හටගත්තෙ..මේ දේ කෙරෙහි අමනාපයක් අකමැත්තක් හටගත්තෙ..මේවා සංඛතයි. ඕළාරිකයි..පටිච්චසමුප්පනයි..මේවා කෙරෙහි යම් පිරිසිදු උපේක්ෂාවක් ඇද්ද එය මීට වඩා ශාන්තයි ප්‍රනීතයි" වශයෙන් මෙනෙහි කරන්නට හුරුවූ විට සිහිය සහ නුවණ වැඩෙන්නට ගන්නවා. එතකොට එය එක් අතකින් සතර සතිපට්ඨානය වැඩෙන්නට මුල් වෙනවා. එසේ සිහිය නුවන නැතිව අයාලේ යන සිත පරිහානියටයි ගමන් කරන්නෙ. 


උපාසක පරිහානිය
සත්තිමෙ , භික්ඛවෙ, ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තන්ති . කතමෙ සත්ත? භික්ඛුදස්සනං හාපෙති, සද්ධම්මස්සවනං පමජ්ජති, අධිසීලෙ න සික්ඛති, අප්පසාදබහුලො හොති , භික්ඛූසු ථෙරෙසු චෙව නවෙසු ච මජ්ඣිමෙසු ච උපාරම්භචිත්තො ධම්මං සුණාති රන්ධගවෙසී, ඉතො බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති, තත්ථ ච පුබ්බකාරං කරොති. ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තන්ති.

මහණෙනි, මේ ධර්මයෝ හතක් උපාසකයාගේ පිරිහීම පිණිස පවතිනවා.
01. භික්‍ෂූන් බැහැ දැකීම හෝ ඇසුර පමා වීම.
02.ධර්ම ශ්‍රවණය නොකිරීම හෝ පමා කිරීම.
03.අධිශීලයෙන් (අටසිල්, දස සිල්, වැනිඉහළ සිල් වලින්) නොහික්මීම
04. අප්‍රසාද බහුල වූයේ වීම
05.ස්ථවිරවූද, මධ්‍යමවූද, නවකවූද භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි සිදුරු සොයමින්. දොස් කීමේ අදහසින් ධර්ම ශ්‍රවණය කිරීම.
06.මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් සෙවීම
07.ඒ බාහිරකයන්ට මුලින් දී, පසුව මේ ශාසනයේ භික්‍ෂූන්ට දේද,  මේ ධර්මයෝ සත්දෙන උපාසකයාගේ පිරිහීම පිණිස පවතියි.

අංගත්තර නිකාය-සත්තක නිපාත-උපාසක පරිහාන ධම්ම සූත්‍රය-


මේ ලිපියෙහි අන්තර්ගත ස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය ගැන, සංඛත අභිසංඛත බව ගැන, ඉන්ද්‍රිය භාවනාව ගැන, උපාසක පරිහානිය ගැන තවදුරටත් විමසා බැලීමෙන් යමෙකුට සිහිය සහ නුවණ දෙක මනාව පිහිටුවාගෙන නිවී සැනසුනු ජීවිතයක් ගතකරන්නට හැකියාව ලැබෙයි.


මූලාශ්‍ර
1.අංගත්තර නිකාය-සත්තක නිපාත-උපාසක පරිහාන ධම්ම සූත්‍රය
2.-සංයුත්ත නිකාය-ඛජ්ජනීය වග්ගය-ඛජ්ජන සූත්‍රය-
3.ධම්මසඞගණි විවිරණය - මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ
4.මජ්ජිම නිකාය-සළායතන වග්ගය-ඉන්ද්‍රිය භාවනා සූත්‍රය
5.සද්ධානුසාරි සූත්‍රය-සංයුක්ත නිකාය- ඉන්ද්‍රිය සංයුත්තය
6.සංයුක්ත නිකාය- ඉන්ද්‍රිය සංයුත්තය-සෝතාපන්න සූත්‍රය
7.මජ්ජිම නිකාය-වත්ථූපම සූත්‍රය

Post a Comment

0 Comments