සීහළවත්ථු 01- සීරළු හොරා

 

                                                 ඡායාරූප අනුග්‍රහය - https://si.wikipedia.org/wiki


සීහළවත්ථු නමින් රචනාවු ඉපැරනි පුස්කොලපොත, අපේ රටේ මහා ඉතිහාස ග්‍රන්ථය වූ මහාවංශයද ලියැවෙන්නට පෙර බිහිවූවක් සේ සිහළවත්ථු මුද්‍රණයේ සඳහන්වන අතර එය රචනා කර ඇත්තේ "කණ්ඨකසෝල පටුනේ විසූ ආචාර්යය ධම්මනන්දි මහතෙර" බැව් පැවසේ. අවුරුදු සිය ගනනක් පැරණි මෙහි මුල්පිටපත රචනය කර තිබී ඇත්තේ බුරුම භාෂාවෙනි. 

මෙම ධර්ම ග්‍රන්ථය අම්බන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ "අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත" කල්‍යාවංශ නිකායේ මහානායක ස්වාමි පාදයන් වහන්සේ විසින් "ඉතා පැරණි සිංහල බණ කථා" නමින් සිංහල භාෂාවෙන් අනුවාදනය කර ඇත.මෙහි ඇතුලත් දහම් කථා තුල බහුල වශයෙන් මෙරට රජකල සද්ධාතිස්ස රජතුමා ගැනද, වළගම්බා රජ සමය ගැනද, බැමිණිතියාසාය පිලිබඳවද ලියැවී අතර, එවකට ලංකාවේ සිරිත්විරිත්, පුරාණ ගම්, සහ රටවැසියන්ගේ දහම කෙරෙහි තිබූ ශ්‍රද්ධාව සහ නැඹුරුව ගැනද සඳහන් වී ඇත. 

සීහළවත්ථුවේ එන ඉතාම වැදගත් ධර්මතාවයක් හෙළිකරන රසවත් කථාවක් ඇත. එය නම් කර ඇත්තේ සීරළු හොරා යනුවෙන්ය.

එක්තරා සොරෙක් පන්සීයයක පමණ සොරු පිරිසක් සමග, කෝකානිජ කණ්ඩගිර නම් ගිරිශිඛරයේ එක්තරා ගල් ලෙනකට පැමිනෙයි. එහි වැඩ වාසය කරන්නේ අල්පේච්ඡබව තුල හික්මෙන ආරන්‍යවාසී භික්ෂුවකි. මේ සොරා සහ භික්ෂුව අතර සිදුවන සංවාදයකි

       

                                              ඡායාරූප අනුග්‍රහය -https://www.budusarana.lk/

සොරා - ස්වාමීණී..අවුරුදු කීයක් ඔබවහන්සේ මේ ගිරිමුදුන් ගල්ලෙනේ වාසය කරනවාද?

භික්ෂුව - කිසිවකු නැතිව තනිවම මම අවුරුදු හයක් මේ තුල වාසය කරනවා 

සොරා - ඒ අවුරුදු හයම මෙතැනට වෙලා වාසය කරද්දි ඔබවහන්සේ ලබාගත් කිසියම් ධ්‍යානයක්, සමාපත්තියක්, හෝ විශේෂ අවබෝධයක් තියනවද?

භික්ෂුව - එහෙම විශේෂ දෙයක් නම් මා ලබල නැහැ. ශීලයේ හිත පිහිටුවාගෙන විවේක සුවයෙන් වාසය කරනවා පින්වත

සොරා - සිල් විතරක් රකිමින් මෙතනට වෙලා ඉන්නවා නම් ඔබ වහන්සේ, තමන් වහන්සේටම කරගන්නෙ ලොකු විනාශයක් .රහත් භාවය සඳහාම උත්සාහ කරන්න ස්වාමිණි.

එහෙම භික්ෂුවට කරුණාවෙන් මතක් කරන මේ සොරා, දිගු කථාවක් කියන්නට පටන් ගන්නවා. 


සොරා - ඔබවහන්සේට කලින් මමත් මේ ගල්ලෙනේම නතරවෙලා විවිධ අභිඥාවන්ගෙන් පරතෙරටම ගියා. දිව්‍ය ඇස, දිව්‍ය කණ පිරිසිදු කරගෙන හිටියෙ. ඍධි බලයද ලබාගත්තා. මම පෙර විසූ ආත්ම භාවයන් දැනගත්තා.අනුන්ගේ සිත් කියවන්න පුලුවන් තරමට හිත දියුනු කලා. ඒ තරම් දේ ලැබුන මම ඒ දේවල් වලටම ඇලෙමින්, රහත් භාවය ලබාගන්නට ප්‍රමාද උනා.එක්තරා දවසක හවස් කාලේ ධ්‍යානයෙන් මිදුනු මම ලෙන් දොර ලඟට වී අවට බලා ඉන්න විට ඉතාම සුන්දර ගොපළු තරුණියක් දැකගන්නට ලැබුනා. ඒ සැනින් ඒ තරුණියගේ සුන්දරත්වයට වශී උන මට රාග හිතක් පහළ උනා. ඒ රාගය නිසාම මම මුලාවට පත්උනා. මහණකම අතහැර දැම්ම මම ඒ තරුණිය සොයා හැමතැනම ගියා. පස්සෙ මම හොරකමට වැටුනා. සොරෙක් උනාට පස්සෙ මට තවත් සොරු පිරිස එකතු උනා. ඒ අයත් එක්ක මම ඒ තරුණිය ජීවත්වූ ගෙය වටලල ඇයව පැහැරගත්තා. ඇයව පැහැරගෙන ගිහින් ඒ සඳහාම ප්‍රමාදීවූ මම බොහෝ අකුලස් පව් කලා. ඒ හේතු නිසාම මම ඒකාන්තයෙන්ම මතු නිරයෙහි ඉපදීමට හේතුවන බව දන්නවා. කාමය මා විනාශ කලා. කාමය නිසා මම බොහෝ අහිංසක ජනයා පීඩාවට පත්කරමින්, ධනධාන්‍ය සොරකම් කලා. නමුත් මේ කිසිදු කාමයක ඇතිවීමක් තෘප්තියක් නම් පෙනෙන්නට නැහැ. කාමය නිසා මගේ දැහැන් විනාශ උනා. කාමය නිසා මගේ ඍධීන් විනාශ උනා. ස්වාමීනී..ඔය ධ්‍යාන අභිඥා,සමාපත්ති සියල්ල කෙලෙස් යටපත් කිරීමට පමණයි තිබෙන්නේ. කෙලෙස් නැති කරන්නට බැහැ. ඒ නිසා පින්වත් ස්වාමින් වහන්ස, මම ඉතාම කරුණාවෙන් අනුකම්පාවෙන් කියන මේ දෙයට ඇහුම්කන් දෙන්න. මගේ කථාව ඇසීමෙන් සංවේගය උපදවා ගන්න. ප්‍රමාදවීමෙන් විනාශයට යන්නට එපා. හිතට වසඟවෙලා ප්‍රමාදයට පත්වන අය විවිධ විදියට දුකට පත්වෙනවා. ආයුශ ගෙවෙනවා ස්වාමීණී...සද්ධර්මය පිරිහෙනවා. ඒ නිසා ඒ ගැනත් සංවේගය උපදවාගෙන රහත්භාවයට පැමිනෙන්න කියා අවවාද කරනවා.


සොරාගේ මෙම අවවාදය එකහෙලා පිලිගත් ඒ භික්ෂුව වීරිය වඩන්නට පටන් ගන්නවා. කෙලෙස් දුරු කිරීම පිණිස මාර්ගය වඩනවා. නොබෝ දිනකින් සියලු කෙලෙස් දුරු කරමින් උන්වහන්සේ උතුම් රහත් ඵලයේ පිහිටනවා. මේ පිලිබඳව දැනගන්නා සොරා, ඒ ගල් ලෙන තිබෙන තැන තමන්ගේ වියදමින් රහත් භික්ෂුවගේ පහසු විහරනය සඳහා ප්‍රාසාදයක් කරවා දෙනවා.කාලයක් එහි ජීවත්වූ රහතන් වහන්සේ ආයුශය අවසන් කොට පිරිනිවනින් සැනසෙනවා. 

අවසානයේ සිහළවත්ථුව සඳහන් කරනවා සීලය රැකීමෙන් පමණක් හෝ ධර්මය ඉගෙනගත් පමණින් හෝ ආශ්‍රව ක්ෂය කරන්නට බැරිබව. ධ්‍යාන අභිඥා ඍධීන් වලින් කාමයන්ගෙන් කිලිටි වන සිත රැකගන්නට බැරිබව. 

ඒ නිසා අප්‍රමාදී විහරණයට පැමිණීම කල යුතු බවත්, සතර සතිපට්ඨානය තුල හිත පිහිටුවමින්, සතිය හෙවත් සිහිය දියුනු කල යුතු බවත්,  ආර්යය අෂ්ඨාංගික මාර්ගයෙන් සියලු කෙලෙස් දුරු කර සසර දුක් නිමා කරගන්නට හැකියි යන බුදුවදනට අනුකූලව කටයුතු කරන්නට උත්සාහ ගැනීමකල යුතු බවත්,  දහමේ මූලිකාංග වන දානය දීමෙන් පමණක් හෝ, සිල් රැකීමෙන් පමණක් හෝ, කුමක් හෝ භාවනාවක් කිරීමෙන් පමණක් හෝ නිවනින් සැනසිය හැකි නොවන බව මේ පුරාණ බණ කතාවෙන් පැහැදිලි වේ.


Post a Comment

0 Comments