ධර්මය සහ ජීවිතය - 15 කොටස - බුද්ධ ශ්‍රාවකයා හෙවත් සත්‍යය ගවේශනය-02

 

                                    photo credit- https://www.pinterest.com/

කලින් ලිපියෙන් බුද්ධ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් සුතමය ඥාණය උපදවාගෙන ඒ ඇසුරින් ප්‍රඥාව වෙත ගමන් කල යුතු ආකාරය කෙටියෙන් සාකච්ඡා කරනු ලැබුවා. මෙම ලිපියෙන් ආර්යය සත්‍යය හතර ඇතුළු ඒ හා බැඳුනු දහම් කරුනු බිඳක් සාකච්ඡා කිරීමට උත්සාහ කෙරේ. පෙර ලිපිය කියවීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

දුක සහ දුක්ඛය 

සාමාන්‍ය ජීවිත අත්දැකීම් අනුව දුක ප්‍රකට වන අවස්ථා දෙකක් තියෙනවා.

1.කායික දුක 

2.මානසික දුක (චෛතසික දුක)

"දුක දුක්ඛ සත්‍යයද ?එසේය.

දුක්ඛ සත්‍යය දුකද?

 කායික දුකද, චෛතසික දුකද හැර සෙස්ස දුක්ඛ සත්‍යයි. දුක නොවේ.
 කායික දුකද චෛතසිත දුකද,  දුක වේ. දුක්ඛ සත්‍යය වේ"

-අභිධර්ම පිටකය-යමකප්පකරණය-ඒ.පී.ද සොයිසා පරිවර්තනය-

එතකොට සියලු සත්ත්වයාම කල්පනා කරනු ලබන්නේ ඒ සඳහන් කල කායික සහ මානසික දුකෙන් නිදහස්ව ඉතාම සැනසිල්ලෙන් ජීවිතය ගතකරන්නටයි. නමුත් නොලැබෙන්නේත් ඒ අපේක්ෂාවමයි. එසේනම් එයටද හේතුවක් තිබිය යුතුමයි. 

                                           photo credit- https://www.pinterest.com/

ඒ හේතුව හැටියට බහුතරයක් ලෝක සත්ත්වයා සිතනු ලබන්නේ ඉඩකඩම්, යාන වාහන, මිලමුදල්, ගෙවල් දොරවල්, ඉහළ රැකියා, තනතුරු, සමාජ නම්බුනාම, ධනය බලය අඹුදරුවන්, ඥාති හිතමිතුරන්, රන්රදී මුතුමැණික්, මේ ආදී එකී නොකී සියලු කාම සම්පත් නැති කමයි දුක කියලා. එතකොටම උත්තරයක් අරගෙන තියෙනවා ඒ සියලු කාමසම්පත් වලින් භෞතික සම්පත් වලින් ආඪ්‍ය උනාම, සමෘද්ධිමත් උනාම දුකෙන් නිදහස් වෙනවා කියලා. එහෙම හිතල ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකරලා, නොවිඳිනා දුක් විඳලා ඒ දේවල් වලින් යම්තාක් දුරකට සමෘද්ධිමත් වෙලා යම් කාලයක් සතුටින් ඉන්නවා. නමුත් හොඳින් සොයා බැලුවොත් ඒ අයත් දුකෙන් නිදහස් වෙලා ඉඳලා නැහැ. මොකක්දෝ අප්‍රකට හේතුවක් නිසා දුක එහෙමම තියෙනවා. එසේ නම් කුමක්ද මේ දුක?

දුකෙන් නිදහස් වීම යනු කුමක්ද? 

දුකෙන් නිදහස් වීම කියන්නෙ දුක නැති කිරීම නෙවෙයි. දුක නැති කල හැකිද කියන ප්‍රශ්නය එවිට පැන නගිනවා. දුක නැති කිරීම කියන්නෙ එකකට. දුකෙන් නිදහස් වීම කියන්නෙ තව එකකට. ඒත් දුකෙන් නිදහස් වූ යම් අයෙකුට දුකක් නැතිව ජීවත් වෙන්නට පුලුවන්. එහෙම නම් දුක කියන්නෙ නැති කරන දෙයකට නෙවෙයි නිදහස්වීම පිණිස පවතින දෙයකටයි. නමුත් දුකට හේතුව නැති කලහොත් දුකෙන් නිදහස් වෙන්නට පුලුවන්. 

 

                                        photo credit- https://www.pinterest.com/

දුක පිළිබඳ බෞද්ධ නිර්වචනය

දුක කියන්නෙ ධර්මතාවයකට. සන්සිද්ධියකට. එතකොට යම් ධර්මතාවයක් යම් සංසිද්ධියක් ඇති වෙන්නෙ හේතු ප්‍රත්‍යයෙන්. හේතූන් ඇතිතාක් මෙම දුක නම් ධර්මතාවය බුදුකෙනෙක් ලෝකයට පහළ උනත් නැතත් හැමදාමත් පවතිනවා. ඒ නිසා එයට 

"දුක්ඛ ආර්යය සත්‍යය" කියා කියනවා. මේ ලෝකයේ හටගන්නා සියලුම ධර්මතාවල පොදු ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි

1.අනිත්‍ය ස්වභාවය

2.දුක්ඛ ස්වභාවය

3.අනාත්ම ස්වභාවය

දැන් දුක කියන ධර්මතාවය තියෙන්නෙ ඔය ලක්ෂණ තුන ඇසුරු කරගෙන. එසේ නම් ඔය කියන ලක්ෂණ තුනද, බුදුකෙනෙක් ලෝකයට පහළ උනත් නැතත් හැමදාම පවතින දෙයක්. දැන් බුදුරජානන් වහන්සේ මේ දුක්ඛ සත්‍යය ඇතුලු චතුරාර්යය සත්‍යය සම්බන්ධයෙන් කෙනෙක් කටයුතු කලයුතු ආකාරය මෙසේ පෙන්වා දෙනවා. 

" තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යන්ති"
ඒ මෙම දුක්ඛ ආර්යය සත්‍යය-(පරිඤ්ඤෙය්‍යන්ති)- පිරිසිඳ දැකිය යුතුය. 
" තං ඛො පනිදං දුක්ඛ සමුදයං අරියසච්චං පහීනන්ති"
ඒ මෙම දුක්ඛ සමුදය ආර්යය සත්‍යය-(පහීනන්ති)- ප්‍රහානය කල යුතුයි.
" තං ඛො පනිදං දුක්ඛ නිරොධං අරියසච්චං සච්ඡිකාතබ්බන්ති"
ඒ මෙම දුක්ඛ නිරොධ ආර්යය සත්‍යය-(සච්ඡිකාතබ්බන්ති)- සාක්ශාත් කල යුතුය.
" තං ඛො පනිදං දුක්ඛ නිරොධගාමිණිපටිපදා අරියසච්චං භාවෙතබ්බන්ති"
ඒ මෙම දුක්ඛ නිරොධගාමිණි පටිපදා ආර්යය සත්‍යය-(භාවෙතබ්බන්ති)- භාවිතා කල යුතුයි. වැඩිය යුතුයි.

-ධම්මචක්කප්පවත්තන සූත්‍රය-


දැන් පැහැදිලියි දුක තිබෙන්නේ නැති කරන්නට නොව පිරිසිඳ දකින්නට බව. චතුරාර්යය සත්‍යය ධර්මය මෙසේ සිහිතබා ගත යුතුයි.

1.දුක - පිරිසිඳ දැකිය යුතුය

2.දුකට හේතුව(සමුදය) - ප්‍රහානය කල යුතුය. නැතිකල යුතුය.

3.නිරෝධය - ශාක්ෂාත් කල යුතුය.

4.මාර්ගය - වැඩිය යුතුයි. භාවිතා කල යුතුයි. 

මෙන්න අසූහාරදහසක් වූ ධර්මය කෙටි කර හකුළුවා දැක්වූ අයුරු. නිරෝධය ලබන්නට නම් මාර්ගය භාවිතා කොට වඩමින්, හේතුව නැතිකොට, දුකෙන් නිදහස් විය හැකිය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාලේ දුක නැතිකිරීම නොව දුකෙන් නිදහස් වීමය. නැතිකල යුත්තේ දුකට හේතුවයි. දුකෙන් නිදහස් වූ පසුව නිරෝධයයි. දුකෙන් නිදහස් විය යුතු එකම එක මාර්ගය සම්මා දිට්ඨිය පෙරටු කරගත් ආර්යය අෂ්ඨාංගික මාර්ගයයි. 

එසේනම් දුක යනු කුමක්ද

ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං: “ජාතිපි දුක‍්ඛා, ජරාපි දුක‍්ඛා, ව්‍යාධිපි දුක‍්ඛො, මරණම‍්පි දුක‍්ඛං, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා”

ඉපදීම දුකය. ජරාවට පත්වීම දුකකි.ව්‍යාධියට පත්වීම දුකකි.මරණය දුකකි. අකමැති දේ හා එකතුවීම දුකකි. කැමති දෙයින් වෙන්වීම දුකකි. කැමති දේ නොලැබීම දුකකි. අකමැති දේ ලැබීම දුකකි. සියල්ල කෙටිකලහොත් පඤ්චඋපාදානස්ඛන්ධයේ හට ගැනීම දුකය.

-ධම්මචක්කප්පවත්තන සූත්‍රය-

මෙය ඉතාම සිහිනුවනින් ගැඹුරින් විමසා බැලිය යුතු තැනකි. පළමුවෙන්ම බැලිය යුත්තේ ජාතිපි දුක්ඛා යනුවෙන් සදහන් වන කාරණය ගැනය.බොහෝ දෙනෙක් තුල මෙම ජාති හෙවත් ඉපදීම ගැන ඇත්තේද මතුපිට සරළ අදහසකි. ජාති හෙවත් ඉපදීම යනු දරුවෙකු උපන්නා, සත්තවයෙක් පුද්ගලයෙක් මෙලොවට බිහිඋනා වැනි සරළ කාරණයකින් තේරුම් ගන්නට බොහෝ අය උත්සුක වෙනවා. 

මේ පිලිබඳව ශාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට තබාගෙන භික්ෂු සංඝයා ඇතුලු පිරිසට මෙසේ දේශනා කරනවා.

" කතමාචාවුසො ජාති, යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඞජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො අයං වුච්චතාවුසො ජාති"

-සච්ච විභංග සූත්‍රය - 

කුමක්ද ආයුෂ්මතුනි ජාති හෙවත් ඉපදීම? ඒ සත්ත්වයින් සත්ත්ව නිකායේ යැයි සම්මත ( දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස, තිරිසන්, ප්‍රේත,අමනුශ්‍ය, නිරිසත්ත්ව ආදී) 

ඒ ඒ සත්ත්ව නිකායේ, ඒ ඒ තැනදී යම්බඳු ඉපදීමක්, හටගැනීමක්, පහළවීමක්, විශේෂයෙන් පහළවීමක් ඇත්ද, එය පරමාර්ථ වශයෙන් අර්ථ දැක්වීමේදී (ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො) ස්කන්ධයන්ගේ පහළ වීමක් වේද, ආයතනයන්ගේ හට ගැනීමක් වේද එය ජාති හෙවත් ඉපදීම නම් වේ. 

දැන් මෙතැන ඉතාම සැලකිල්ලෙන් විමසා බැලිය යුතුයි. එසේනම් ඉපදෙන්නේ සත්ත්වයෙක් පුද්ගලයෙක් නොව පඤ්චස්කන්ධයක් සහ කිසියම් ස්පර්ශ ආයතනයක්ය. ඔබ දන්නවා අපට ස්පර්ශ ආයතන හයක් තිබෙන බව. ඇස, කණ, නාසය,දිව, කය, මනස. මෙයින් එක් මොහොතකට හටගන්නේ එකම එක ආයතනයක් පමණයි. එයට හේතුව එක්වරකට හටගන්නේ එක් සිතක් පමණක් නිසාය. අපට එය නොදැනෙන්නෙ මේ හට ගැනීමේ වේගය නිසාය. ඒ නොදන්නා කම නිසා අප සිතන්නේ ආයතන හයම එකවර හටගන්නවා, මිය යනතෙක් මේ ආයතන තිබෙනවා ඒවා නිත්‍යයි කියා. නමුත් බුදුරජානන් වහන්සේ දේශනා කොට වදාලා "මහනෙනි ඇස අනිත්‍යයි, කණ අනිත්‍යයි" ආදී වශයෙන්. එයට හේතුව කණ ඉපදෙන විට ඇස නිරුද්ධයි.ඇස ඉපදෙන විට කණ නිරුද්ධයි. ඒ නිසා කවදාවත් පෙනෙන දෙය ඇසෙන්නේ නැත. ඇසෙන දෙය පෙනෙන්නේ නැත. නමුත් මේ හට ගැනීමේ නැතිවීමේ වේගය නිසා අපට දැනෙන්නේ පෙනෙන දෙය ඇසන බවත් ඇසෙන දෙය පෙනෙන බවත්ය. ඒ අපගේ සිහිය නොදියුනු නිසා මෙන්ම අවිද්‍යාව තුල අප කිඳා බැසගෙන සිටින නිසාය.


කුමක්ද සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා-

සියල්ල කෙටිකලහොත් පඤ්චඋපාදානස්ඛන්ධයේ හට ගැනීම දුකය.

ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින්, රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුනු ගනිද්දී හටගන්නේ හෙවත් ඉපදෙන්නේ පඤ්චස්කන්ධයකි. පඤ්චස්කන්ධය පිලිබඳව වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.

පඤ්චස්කන්ධයේ ස්වභාවය ඇතිවී නැතිවී යාමය. එසේ නැතිවී යන අවස්ථාව වනවිට පඤ්චස්කන්ධයේ ගතිය තමයි කිසිවක් ඉතිරි නොකර යාම. ඇසයි රූපයයි නිසා හටගන්නා පඤචස්කන්ධය නැතිවී යනවිට ඇසේ කිසිවක් ඉතිරි නොකර නැතිවී යයි. සෙසු ස්පර්ශ ආයතන වලදීද එසේමය. 

"යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං"

-ධම්මචක්කපවත්තන සූත්‍රය-

යං කිඤ්චි සමුදය ධම්ම යනුවෙන් බුදුරජානන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ, හටගත් යමක් තියෙයිද,සබ්බං තං නිරෝධ ධම්මං එය කිසිවක් ඉතිරි නොවී නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත බවයි. කිසිවක් ඉතිරි නොවී කියන යෙදුම ඉතාම වැදගත්. උදාහරණයක් හැටියට ගතහොත්, ඇසට රූපයක් පෙනෙන තැන ගනිමු. ඇසට පෙනෙන කිසියම් අනාත්ම රූපයක්,( අනාත්ම කියන්නෙ ඇහැ තිබෙනවා නම්, රූපය තිබෙනවා නම්, පෙනෙනවා කියන කාර්යය සිදුවන්නේ කවුරුවත් රූපය පෙන්නුව නිසා නෙවෙයි. ඇහැයි රූපයයි කියන කාරණාව එකතු වෙච්ච නිසා. ඒ පෙනෙන බව කැමති උනත් අකමැති උනත් අනිවාර්යයෙන්ම පෙනෙනවා.කරන කෙනෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති නිසා එය අනාත්මයි.) එතකොට  පෙනෙන අනාත්ම රූපය පෙනෙනවා  කියන කාර්යය හෙවත් කෘත්‍යය අවසන් උනාම සියල්ලම අවසන් වෙනවා.පෙනෙන දේ පෙනෙනවා කියන කාරණය අවසන් උනාම කිසිවක් ඉතිරි නැතිව අවසන් වෙනවා. ඒ කියන්නෙ ඇතිවී, කිසිවක් ඉතිරි නොවී නැතිවී යනවා. ඒ පෙනෙනවා කියන තැන රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. ඒ වගේම කණට ශබ්දයක් ඇසුනාමත් රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. ඒ වගේම නාසයට ගන්ධය කියන අරමුණ ඇති උනාම රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. දිවට රසය ඇති උනාම රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. කයට ස්පර්ශයද, මනසට අරමුනුද ඇති උනාම රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. මේ හැම තැනම ඇති වෙලා නැති වෙලා යනකොට පඤ්චස්කන්ධයේ ස්වභාවය තමයි කිසිවක් ඉතිරි නොකර නිරුද්ධ වෙලා යාම. බුද්ධාදී උතුමන් වහන්සේලාටත්, පච්චේක බුදුරජාණන් වහන්සේලාටත්, රහතන් වහන්සේලාටත්, ඇස කණ නාසය දිව කය මනස අරභයා හටගන්නේ එබඳු ස්කන්ධ ටිකක්. ඒකයි සඳහන් වෙන්නෙ මොහොතක් මොහොතක් පාසා ඇති වෙවි නැතිවෙවී යන ස්වභාවයක් මෙතැන තියෙන්නෙ කියලා.

                                                   photo credit- https://www.pinterest.com/

නමුත් අපට එහෙම වෙන්නෙ නැහැ. අන්න එතනයි ගැටළුව. අපට අනාත්ම රූපයක් පෙනුනාම, ඒ පෙනෙන තැනින් පෙනෙන දේ පෙනිල අවසන් උනාට අපට හැමදාම යමක් ඉතිරි වෙනවා පසුව සිහි කල හැකි. ඇස හමුවේ ඒ අරමුණ නැතත් අපට නැවත නැවත ඒ අරමුණ සිහි කර කර කිසියම් ආශ්වාදයක් හෝ ගැටීමක් නැවත නැවත සකස් කරගන්නට පුලුවන්. එතකොට අපට දැනෙන්නෙ නැහැ මේ සිහිකරන්නෙ අර අනාත්ම රූපය නිසා උපන් ස්කන්ධයන් තදින් අල්ලාගෙන ඒ පිලිබඳව ඇතිවන සිතිවිලි ටිකක් නේද කියල. අප හිතන්නෙ ඇත්තටම අප හමුවේ තිබෙන නිත්‍ය රූපයක් සිහි කරනවා කියලා. එතකොට පඤ්චස්කන්ධය හමුවේ කිසිවක් ඉතිරි නොවී නිරුද්ධ වන අනාත්ම රූපය( ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, සිතිවිලි) අනාත්ම වී නිරුද්ධ වන්නට ඉඩ නොදී ඒ කෙරෙහි ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් චේතනා සිතිවිලි පහළ කරගෙන මම මගේ කරගත් නිසා එයට කියනවා "උපාදානය" කියලා. තදින් අල්ලා ගැනීම. මොනවද තදින් අල්ලා ගන්නෙ? ඒ රූපය, ඒ රූපය නිසා හටගත් වේදනාව, ඒ රූපය අරභයා හටගත් සංඥාව, ඒ රූපය අරභයා පහළ කරගත් චේතනා සිතිවිලි, ඒ සියල්ල දැනගත් විඤ්ඤාණය. දැන් මෙන්න මේකට කියනවා පඤ්ච උපාදානස්කන්ධය කියලා. මෙන්න මේ පඤ්ච උපාදානස්කන්ධය තමයි බුදුරජාණන් වහන්සේ දුක කියල හඳුන්වා දුන්නේ. මේ පඤ්ච උපාදානස්කන්ධය හට ගැනීමමයි දුක. ඇයි ඒ? එය හටගත්තෙ ලෝභ ද්වේශ මෝහ නම් හේතූන් මුල් කරගෙන නිසා. 

එතකොට ලෝභයද(ඇලීම) ද්වේශයද(ගැටීම) මෝහයද(මුලාව) ඇතිතාක් සත්ත්වයා වලඳන්නේ දුකට ආහාරයයි කියා අපට අපගේම ජීවිත තුලින් දැක ගත හැකියි. ලෝබ ද්වේශ මෝහ ඇති තාක් මනස ශුන්‍ය නැහැ. හදාගත් නිමිති වලින් මනස පිරිලා. නිමිති තියෙන තාක් මනස අශුන්‍යයි. එතකොට නිමිති වල තමයි සියලු බලාපොරොත්තු තියෙන්නෙ. බලාපොරොත්තු වලින් තමයි දුක ඇති වෙන්නෙ. පඤ්ච උපාදානස්කන්ධයේ එක් ලක්ෂනයක් තමයි නිමිති වලින් බලාපොරොත්තු වලින් පිරුන අශුන්‍ය හිතට දුක ගෙන දීම. 

උදාහරණයක් හැටියට ගතහොත් ලෙඩවීම සහ නිරෝගිබව තියෙන්නෙ නිමිති වල. ඒ නිසා නිරෝගීබව කියන නිමිත්තට තදින් ඇලුන අපි නිරෝගීකම වෙනුවෙන් බොහෝ වෙහෙසෙනවා. බොහෝ කැපවීම් කරනවා. නමුත් ලෙඩවීම කියන දෙය පැමිණීම වලකන්නට කාටවත් බැහැ. එය සතරමහා ධාතුවේ ස්වභාවයක්. කයේ සතර මහා ධාතුව විවිධ හේතූන් නිසා විවිධ විපරිනාම ස්වභාවයට පත්වීම නිරන්තරයෙන් සිදුවන දෙයක්


"පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිනාමජා ආබාධා, විසමපරිහාරජා ආබාධා, ඔපක්කමිකා ආබාධා, කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජීඝචඡු පිපාසා උච්චාරෝ පස්සාවෝ ති."

පිත හේතුකරගෙන ඇතිවන  රෝග, සෙම හේතුකරගෙන ඇතිවන  රෝග,  වාතය හේතුකරගෙන ඇතිවන රෝග, වාතය හේතුකරගෙන ඇතිවන රෝග,තුන් දොස හේතුකරගෙන ඇතිවන රෝග සෘතු පෙරලියෙන් ඇතිවන රෝග, විෂම පරිහාරියෙන් ඇතිවන රෝග, උපක‍්‍රමයෙන් ඇතිවන රෝග, කර්ම විපාකයන්ගෙන් ඇතිවන රෝග, සීත උණ පිපාසය මල මූත‍්‍රය නිසා වන රෝග,

- ගිරිමානන්ද සූත්‍රය-  


එතකොට අපි ලෙඩවීම කියන දෙයට තදින් ගැටෙනවා. ගැටිලා ඒක තදින් අල්ලා ගන්නවා. දැන් බලන්න නිරෝගීව ඉන්න තිබෙන තන්හාව නිසා නිරෝගීව ඉන්නත් දුක් විඳිනවා. ලෙඩවීම කියන කාරණය ආවාම ලෙඩවීම නිසාත් බොහෝ කායික මානසික දුක් විඳිනවා. අන්න බුදුරජානන් වහන්සේ වදාලා දුක කියන්නෙ කැමති දේ නොලැබීම අකමැති දේ ලැබීම කියලා. කැමැත්ත අකමැත්ත තිබුනෙ නිමිති වල. වයසට යාම හෙවත් ජරාවද, මරණයද එහෙම අපි හදාගත් නිමිති විතරයි. ඒ නිසයි ඒවාට අපි අකමැති. අපි කැමතියි වයසට නොගිහින්, ජරාවට පත් නොවෙමින් නොමැරී ඉන්න තියෙනවා නම්. නමුත් සතර මහාධාතුවේ ස්වභාවය තමයි ( උප්පාද පඤ්ඤායති, වයො පඤ්ඤායති, ත්‍රිතස්ස අඤ්ඤතස්ස පඤ්ඤායති) ඇති වෙලා, වෙනස් වෙමින් පැවතිලා, විනාශවී නැතිවී යාම.

මෙන්න තියෙනවා ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්මය. එතකොට මේ ත්‍රිලක්ෂනය අවබෝධ කරගතහොත් පඤ්චඋපාදානස්කන්ධයේ ග්‍රහණයෙන් මිදෙන්නට හැකියාව ලැබෙනවා. පඤ්චඋපාදානස්කන්ධයෙන් මිදුනොත් භවයෙන් මිදෙනවා. භවයෙන් මිදුනොත් ජාති නැවත නැවත ඉපදීමෙන් හෙවත් පුනර්භවයෙන් මිදෙනවා. ජාතියෙන් මිදුනොත් නැවත නැවත දුක් ගෙනදෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෙන් මිදෙනවා. එය මැරුනාට පසුව අත්දැකිය යුතු දෙයක් නොව මේ ලබාගත් ජීවිතය, ජීවිත කාලය මුළුල්ලේ සැනසිල්ලේ ගත කරන්නට හේතුවන දෙයක් වෙනවා.


මූලාශ්‍ර
1.යමකප්පකරණය- ඒ.පී.ද සොයිසා පරිවර්තනය
2.ධම්මචක්කප්පවත්තන සූත්‍රය
3.සච්ච විභංග සූත්‍රය
4.ගිරිමානන්ද සූත්‍රය
photo credit- https://www.pinterest.com/

Post a Comment

0 Comments