මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 15, 2022

Fall Colors ( Colours) බලන්න Arrowhead පළාත් උද්‍යානයට යමුද ?

 ඍතු විපර්  යාසයක් පැහැදිලිව දකින්නට තියෙන කැනඩාවේ ගිම්හානයෙන් සරත් ඍතු වට වන කාල වෙනස්වීම් පරිසරය තුල විවිධ රටා මවන්නේ ගස්වල කොලවල පාට වෙනස්කරමින් . හීන් ශීතලක් වටපිට වෙලාගනිමින් ඉන්නා මේ කාලයේදී කොළ පාටින් තිබුණු ගස්වල කොල රතු පාටට , තැබිලි පාටට සහ කහ පාටට හැරිල වැටිලා යන්නේ ඒවාට හිරුඑළිය ලැබුණු කාලය අඩුවෙන හින්දයි. විද්‍යාත්මකව බැලුවොත් සිද්ධ වෙන්නේ හිරුඑළිය නැතිව ආහාර නිපදවන්න බැරි හින්ද ගස් කරන්නේ ක්ලෝරෆිල් ( හරිතප්‍රද ) ඉවත් කර ගනිමින් තමන්ගේ කොළ හලා දමන එකයි.


විශාල වශයෙන් ගස් තිබෙන ප්‍රදේශවල මේ පාට වෙනස හරිම ලස්සන අසිරියක් මවන හින්ද බොහෝ දෙනෙක් ඒවා බලන්න ජාතික සහ පළාත් උද්‍යාන වලට නාගරික බවින් අඩු ප්‍රදේශවලට යන්න පොරකනවා.  ටොරොන්ටෝව අවට ඉන්නා බොහෝ දෙනෙකුට ඒ සදහා යන්නට පුළුවන් ප්‍රධාන තැන් කිහිපයක්ම තිබෙනවා. Algonquin, Arrowhead,Awanda, Balsam Lake, Bass lake, Bon Echo උදාහරණ කිහිපයක්. ටොරොන්ටෝවේ ඉදන් පැය 2-3 ක දුරින් තියෙන මේ උද්‍යාන පරිසර සංරක්ෂණය වෙනුවෙන් වෙන්වුණු විශාල වන ගහණ හින්ද ඔබට පහසුවෙන් දවසක් ගත කරන්නට පුළුවන් පහසුකම් සපිරි පරිශ්‍ර වුණත් ඒවාට තිබෙන අධික ඉල්ලුම හින්ද සති අන්තයකට නම් දවස් 5 කට කලින් අන්තර්  ජාලයෙන්  වෙන්කරවා ගත්තොත් පහසුයි.   

 

ඒ වෙනුවෙන් දවසක් ගත කරන්නටත් , ඒ තරම් දුරක් ගෙවා යන්නටත් ඉඩකඩ නොමැති අයට                            Caledon, Erin, Hamilton   වගේ පැය භාගයකින් විතර යන්නට පුළුවන් ප්‍රදේශ වලදී මේ අත්දැකීම සුළුවෙන් ලබන්නටත් පුළුවන්. Bell Fountain, Forks of credit, Bronte Creek, Dundas peak  ඒ වගේ තැන් කිහිපයක්. මේ අවුරුද්දෙ අපි ඒ අත්දැකීම ලබන්නට ගියේ  Arrowhead  පළාත් උද්‍යානයටයි. හොදම තැන Algonquin ට යන්න හිතාගෙන හිටියත් ඒ සදහා Daily Vehicle Pass එකක් ගන්නට බැරිවුණු හින්ද ඊට කිලෝමීටර 35 ක් මෙහායින් තියෙන ඔන්ටාරියෝ පළාතේ දෙවැනි හොදම තැන විදිහට  හදුන්වන Arrowhead  වල ඉඩක් ගන්න අපට පුළුවන් වුණා.    

 

 යම් තැනක මේ පාට වෙනස්වීම පැහැදිලිව නිරීක්ෂණය කරන්න නම් කාරණා 3 ක් බලන්න වෙනවා. පළවෙනි කාරණය තමයි ඔබ යන දවසේ කාලගුණය. හොදින් ඉර පායා තියෙන පැහැදිලි අහසක් නම් හොදයි. වැස්ස සහ අදුරු දවස්වල ඔබට අසිරිය විදින්නට බැහැ. පාරවල් අයිනේ සහ පෞද්ගලික දේපල වල වාහන නවත්වල මේ වැඩේ කරන්න බැරි හින්ද සදහා පහසුකම් තියෙන පරිශ්රයක දිනක බලපත්රයක් ලබාගන්නා එක දෙවෙනි කාරණය වෙනවා. තුන් වෙනි කාරණය ගමන යන දවසේ Traffic  එක. සියල්ල ගැන හිතල අපි උදෙන්ම ගමන පටන් ගත්තා. අධිවේගී මාර් කිහිපයක යන්න වෙන හින්ද සදහා ගතවන කාලය පැය 2 සිට 3 අතරේ වෙන්න පුළුවන්.    

ඉර එළිය නැගී ගෙන එනකොට එක එක පරිසර පද්ධති වල එක එක පාට කොළ රටා මවනවා. වෙනස් ගල් පර් වත , අහසේ වලාකුළු රටා එක්ක විවිධ හැඩ රටා විදිමින් අපි අධිවේගී මාර්  ග දිගේ ගමන යනවා. 401 සහ 400 මාර්  ග වලින් ගිහින් අපි එකතුවුණේ  Highway 11 වලට. තැනින් තැන කුඩා විල් පෙනෙන්නට තියෙනවා. Cottage country හින්ද ඒ වෙනුවෙන් පහසුකම් සපයන ආයතන වගේම බෝට්ටු , RV සහ උපකරණ කුලියට දෙන ආයතන මග දෙපස තියෙන කුඩා නගරවල දකින්නට තියෙනවා. බොහෝ ප්‍රදේශ ජනශුනය ඒවා. උදේ 10 විතර වෙනකොට අපි Arrowhead වලට ආවා. අපි ගිය දවසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 ක් විතර වුණත් මගදී අපට Wet snow  අත්දකින්නට ලැබුනෙ Windchill   එකත් එක්ක පරිසර උෂ්ණත්වයසෙල්සියස් අංශක -5 ක් විතර වුනු හින්ද. ඒත් ඒ වෙනකොට ගොඩක් සෙනග ඇවිත් නොතිබුණු හින්ද අපට හොදම තැන්වල වාහනය නවත්වන්නත් හිතේ හැටියට පරිසරය රසවිදිමින් ඕන විදිහට විවිධ කෝණවලින් ෆොටෝ ගන්නත් පුළුවන් වුනා. අදුරක් නොතිබුණු පැහැදිලි නිල් අහස වර්  නවත් සේයාරූ ලස්සනට පින්තාරු කරලා තිබුණා.

Arrowhead Provincial Park

1971 ප්‍රකාශයට පත්කල රක්ෂිත බිම් කඩක් වන Arrowhead  පිහිටා තිබෙන්නේ ටොරොන්ටෝවේ ඉදන් කිලෝ මීටර 238 තරම් දුරින්   නගරයට ආසන්නයෙන්. වර්  ග කිලෝමීටර 12.37 තරමේ බිම් කඩක් වන මෙහි ගිම්හානයේ වගේම ශීත කාලයේදී විවිධ ක්‍රියාකාරකම් සදහා පහසුකම් සපයනවා. බයිසිකල් පදින්න, ඇවිදින්න    Kayak, Canoe බෝට්ටු පදින්න වගේම සියළු පහසුකම් සහිත ලැගුම් හල වගේම ඔබේම කුඩාරම හෝ  RV එකක් තුල නගරයේ කලබලයෙන් මිදිලා කාලය ගත කරන්න පහසුකම් මෙතැන් හොදින් තියෙනවා.

Mayflower Lake 

උද්‍යානයේ ප්‍රවේශ පත්‍ර කාර්  යාලය අද්දරම තියෙන මේ කුඩා විල හරිම දැකුම්කළු එකක්. විල වටේ ගස්වල වෙනස් පාට ඔබව සතුටු කරනවාට කිසිම සැකයක් නැහැ. ඔබට කැමති නම්  Kayak, Canoe බෝට්ටු  පදින්නත්, කිලෝමීටර 2 ක තරමේ Hike  එකක් යන්නත් ඔබට පුළුවන්.  ගිම්හානයේදී තරමක විවේකයක් ගන්නට පුළුවන් කුඩා වෙරළ තීරයකුත් එතැන තියෙනවා.              

Arrowhead Lake

මේ උද්‍යානයේ තිබෙන විශාලතම සහ දෙවන විල මේකයි. මේ විල ආශ්‍රිතව කුඩා වෙරළ තීර 4 ක් තිබෙනවා. ඉන් එකක් Dog beach එකක්.  Beach Area 1, Beach area 2 සහ Roe beach  විදිහට  අනෙක් වෙරළ තීරයන් නම් කර තිබෙනවා. Kayaking, Canoing බෝට්ටු පදින්න අවශ්‍ය උපකරණ වගේම බයිසිකල් මේ කිට්ටුව තිබෙන මධ්‍යස්ථානයෙන් කුලියට ගන්න පුළුවන් . අපි ගියේ සරත් කාලයේ හින්ද මේ සේවා ඒ වෙනකොට ක්‍රියාත්මක නොවුණත් කිලෝමීටර 5 ක මේ විල වටා යන ඇවිදින මංපෙත් දිගේ ගිහින් හිතේ හැටියට රතු , තැබිලි, කහ පාටින් විල වටේ ගස් මවන රටා අත්වින්ද බව නම් කියන්නම ඕන .

Stubb's Falls 

Arrowhead විලේ වතුර Little East river  දිගේ ගිහින් East River  එකට එකතු වෙන්න ටිකක් කලියෙන් කුඩා දිය ඇල්ලක් මවනවා . ඔබට කිලෝමීටර 2.6 ක් දුර Hike  එකක් ගිහින් Arrowhead  විලේ ඉදන් මෙතැනට එන්න පුළුවන්. ඇවිදින්න අමාරු නම් Camping Area එකේ ප්‍රධාන පාර දිගේ පහලට ගියාම තියෙන කුඩා වාහන නැවතුමේ වාහනය නවත්වලා පහලට බැහැලා මේ ඇල්ල බලන්නත් පුළුවන්.   










Big bend Lookout


මේ උද්‍යානය මායිමෙන් ගලා යන ගග තමයි East river. ඒ ගගේ ගමනෙදි ශක්තිමත් ඉවුරු 2 ක් තියෙන වංගුවක ගග හැරෙන අපූරුව Big Bend Lookout දී ඔබට දකින්නට පුළුවන් . මීට කලින් ඇමෙරිකාවේ Grand Canyon වටා රවුමක් ගැන කල ලිපි පෙලේ Page නගරයේදී  අපට දකින්නට ලැබෙන Horseshow Bend  අපේ සිහියට ආවා. Arrowhead Lake  ඉදන් ටික දුරක් ගියාම තියෙන පොඩි Parking lot එකේ වාහනය නවත්වලා බොහොම පොඩි දුරක් ගියාම මෙතැනට එන්න පුළුවන්.









ශීත කාලයටත් මේ පරිශ්‍රයේ  Cross country Sking, Snowshoeing සහ Skating  කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් නාගරික කලබල පරිසරයෙන් මිදිලා නිදහසේ හුස්ම ගන්න, පරිසරය රසවිදින්න නම් මෙතැන කදිම තැනක් .

ආයෙමත් ලබන මාසයේ ඉදන් අපේ යුරෝපා සංචාරයට එකතුවෙමු.

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයා රූ  - සිනදී වැලිගමගේ  සහ අන්තර්ජාලයෙන් 

   

 

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්  මාණ  එළිය කරාවි.

No comments:

Post a Comment