මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

686

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යොදා ගන්නා විනිසුරුවන් සහ තරග තීරකයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් තෝරාගෙන ඇති අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරු කුමාර ධර්මසේන සහ තරග තීරක රංජන් මඩුගල්ල ඇතුළත්.

මෙම තරග තීරකයින් සහ විනිසුරුවන් පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ,

“තරගාවලිය පුරාවට විනිසුරුවන් 16 දෙනෙක් මෙම තරගාවලිය විනිශ්චය කරන්න සූදානම් අතර ඒ අතරට 2021 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ විනිශ්චය කළ කුමාර ධර්මසේන, Richard Kettleborough, Nitin Menon සහ Marais Erasmus යන විනිසුරුවන් ද ඇතුළත්.

එම තරගාවලියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ අත්දැකීම් සහිත විනිසුරුවන් 16 දෙනෙකු මෙම තරගාවලිය විනිශ්චය කරන්න සූදානම්.”

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයන්ගේ සංගමයේ ප්‍රධානී රංජන් මඩුගල්ල මෙවර තරගාවලියේ තරග තීරකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර ඔහුට අමතරව තරගාවලියේ අනෙක් තරග තීරකයින් ලෙස Andrew Pycroft, Christopher Broad සහ David Boon කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව ඔක්තෝබර් 16 වැනිදා තරග වැදීමට නියමිත අතර එම තරගයේ විනිසුරුවන් ලෙස Joel Wilson සහ Rodney Tucker කටයුතු කරනු ඇත. එම තරගයේ රූපවාහිනි විනිසුරු ලෙස Paul Reiffel කටයුතු කරනු ඇත.

“මෙම විනිසුරුවන් පළමු වටය සහ සුපිරි 12 සඳහා නම් කර ඇති අතර අවසන් පූර්ව වටය සහ අවසන් තරගය සඳහා විනිසුරුවරුන් තරගාවලිය අතරතුර නම් කිරීමට නියමිතයි,” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

  • තරග තීරකයින්: රංජන් මඩුගල්ල, Andrew Pycroft, Christopher Broad, David Boon
  • විනිසුරුවන්: කුමාර ධර්මසේන, Adrian Holdstock, Aleem Dar, Ahsan Raza, Christopher Brown, Christopher Gaffaney, Joel Wilson, Langton Rusere, Marais Erasmus, Michael Gough, Nitin Menon, Paul Reiffel, Paul Wilson, Richard Illingworth, Richard Kettleborough, Rodney Tucker

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<