HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙවර වෛද්‍ය විද්‍යා නොබෙල් සම්මානය දිනූ නොබෙල් පියාගේ නොබෙල් පුතා!

2022 නොබෙල් අතරින් මුලින්ම පිරිනැමෙන කායික විද්‍යාවට හෝ වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන රුපියල් 32 කෝටි 99 ලක්ෂ 97 දහස් 336ක් (ස්වීඩිෂ් ක්‍රෝනා මිලියනයක්) මුදල හා පදක්කම මෙවර හිමිවී ඇත්තේ ස්වීඩන් ජාතික ජාන විද්‍යාඥයකු වූ ස්වැන්ටේ පේබෝ (Svante Pääbo)ටයි. (ඔක්තෝබර් 3 වැනිදා) මේ බව ප්‍රකාශ කළේ නොබෙල් සභාවේ ලේකම් තෝමස් පෙරල්මාන් විසින් ස්වීඩනයේ ස්ටොක්හෝම්හි කැරොලින්ස්කා රාජකීය විද්‍යා ඇකඩමියේ දීයි. 

රුපියල් කෝටි 33කට ආසන්න මුදලක් සමඟ පිරිනැමෙන නොබෙල් රන්පදක්කම

මෙවර සම්මානය පිරිනැමෙන්නේ “මානව පරිණාමය හා වඳවී ගිය ආදි මානවයන්ගේ ජිනෝමියට අදාළව ඔහු කළ නව සොයා ගැනීම්” නිසා පෙරල්මාන් එහිදී ප්‍රකාශ කළා. මෙහිදි නෙබෙල් කමිටුව දක්වා ඇත්තේ ජාන විද්‍යාඥ ස්වැන්ටේ පේබෝ විසින් වඳවී ගිය නියැන්ඩර්තාල් මානවයාගේ ජිනෝමිය ඇතුළු මානව පරිණාමය පිළිබඳව කරන ලද හෙළිදරවුව හේතු කොට ගෙන මෙවර සම්මානය ඔහුට පිරිනමන්නට තීරණය කළ බවයි. 

ඔහුගේ සොයා ගැනීම් වෛද්‍ය විද්‍යාවට නව මං පෙත් කරන්නක් වුණා. ඒ වගේම නියැන්ඩර්තාල් හා ඩෙනි‍සෝවන් මානවයන්ගේ ඩීඑන්ඒ ජාන, කායිකව සුවිශේෂ වූ වර්තමාන මානවයාගේ ජිනෝමිය බිහිවන්නට බලපෑම් ඇති කළ හැටි ඔහුගේ විශ්ලේෂණවලින් පැහැදිලි කරනු ලැබුවා. නියැන්ඩර්තාල් මානවයාට දුරින් නෑ වන ඩෙනි‍සෝවන් මානවයා සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේත් ඔහුටයි. රුසියාවේ සයිබිරියානු ඩෙනි‍සෝවන් ගල්ලෙනෙන් සොයා ගත් කුඩා ඇඟිලි ඇට කැබැල්ලකින් හඳුනාගත් ඩීඑන්ඒවලින් තමයි, ඔහු මේ විස්මිත සොයා ගැනීම කළේ. 

පොසිල ජාන විද්‍යාඥ ස්වැන්ටේ පේබෝ

අපගේ ආරම්භය ගැන හා අපට පෙර ආ මානව විශේෂයන් අප හා සම්බන්ධවන්නේ කෙසේද යන්න පිළිබඳව කුතුහලයක් අප අතර තිබුණා. නියැන්ඩර්තාල් ජිනෝමියේ අනුපිළිවෙළ සැකසීම, නව තාක්ෂණය යෙ‍ාදා ගෙන අනිකුත් පැරණි නිදර්ශකවල ඩීඑන්ඒ නැවත ලබා ගැනීම, ඒවා විශ්ලේෂණය කිරීමට නව ශිල්පීය ක්‍රම වැඩි දියුණු කිරීම තුළින් ඔහු කළ සොයා ගැනීම් නිසා වත්මන් මානවයාගේ සුවිශේෂත්වය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට අපට හැකි වුණා. 

ඩෙනිසෝවන් ජානවල කොටසක් ටිබෙට් වැනි ඉතා උස් බිම්වල ජීවත්වන ජනයාට උපකාර වීමත් අනිත් අතට කොවිඩ් - 19 වැනි දරුණු ආසාදනවලට එරෙහිව දක්වන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරවලට බලපාන නියැන්ඩර්තාල් ජාන අපට උපකාර වීමත් වත්මන් මානවයා ඔවුන්ගෙන් උරුම වූ සුවිශේෂත්වයක් ලෙස දක්වන්න පුලුවන්. 

ස්වැන්ටේ පේබෝ නියැන්ඩර්තාල් ජිනෝමිය එළිදැක් වුවා.

පළමු නියැන්ඩර්තාල් ඇටසැකිල්ල ජර්මනියේ දී සොයා ගත්තේ 1856දියි. ඒ වන විට ඩීඑන්ඒ අනුපිළිවෙළක් ගැන නාම මාත්‍රයක්වත් අප දැන සිටියේ නැහැ. මානව පරිණාමය පිළිබඳ අධ්‍යයනයන් අස්ථිවල ප්‍රමාණයන් හා හැඩයන්වලින් එහාට ගියේ නැහැ. ඒ වගේ ම ඒවා පරීක්ෂා කිරීමට දියුණු මෙවලම් තිබුණෙත් නැහැ. පේබෝ ජර්මනියේ ලීප්සිග්වල පිහිටි පරිණාමීය මානව විද්‍යාව පිළිබඳ ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් විද්‍යා පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයායි. ඔහු කුඩා කාලයේ පටන් පුරාණ මානව ඉතිහාසය හා ඊජිප්තුවේදය ගැන උනන්දුවක් දැක්වුවා. නව විද්‍යාවක් වූ පොසිල ප්‍රවේණි විද්‍යාව (palaeogenetics) බිහි කිරීමට පුරෝගාමී වූ තැනැත්තා හැටියට ඔහු කීර්තියක් දිනා සිටිනවා. 

වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ කාලයේ සිට ම ඔහු රහසිගතව මිසරයේ මමිවලින් ඩීඑන්ඒ ලබා ගැනීමේ අතිරේක ව්‍යාපෘතියක වැඩ කළා. එයින් අර්ධ සාර්ථකත්වයක් ලැබුව ද ඒ පුරාණ ඩීඑන්ඒ තදින් පිරිහීමට ලක්ව තිබූ නිසා ඊට තාක්ෂණික අභියෝගයන් බාධාවක් වූ බව ඔහු වටහා ගත්තා. පුරාණ ඩීඑන්ඒ එසේ පිරිහීමට ලක්වූයේ, වර්තමාන මානවයාගේ හා බැක්ටීරියාවල ඇති ඩීඑන්ඒ ඒවා සමඟ මුසු වී තිබුණු නිසයි. ඒ නිසා ඒ බාධක මඟ හරවා ගන්නට නව තාක්ෂණික ක්‍රමවේදයන් සකසා ගැනීමට ඔහුට සිදුවුණා. 

පේබෝ තම අධ්‍යයනයන් සඳහා යොදා ගත් නව තාක්ෂණික ක්‍රමවේදයන් අතර මයිටොකොන්ඩ්‍රියා සෛල ඉන්ද්‍රියිකාවක අඩංගු දහස් ගණන් කුඩා ඩීඑන්ඒ කොටස් ද ඇතුළත් වුණා. ඔහුගේ ඒ නව ක්‍රමවේදයන් තුළින් වසර 40,000ක් පැරණි කුඩා ඇඟිලි ඇට කැබැල්ලකින් මයිටොකොන්ඩ්‍රියල් ඩීඑන්ඒ රටාවක් සොයා ගන්න ඔහු සමත් වුණා. එය වත්මන් මානවයන් හා චිම්පන්සීන් සමඟ සැසඳීමෙන් ජානමය අතින් ඒවායේත් නියැන්ඩර්තාල් ඒවාත් අතර වෙනසක් ඇති බව ඔහු පෙන්වා දුන්නා. 

නියැන්ඩර්තාල් මානවයා

මයිටොකොන්ඩ්‍රියල් ඩීඑන්ඒ රටාවෙහි සීමාවන් තිබුණ ද එයින් තොරතුරු ලබා ගෙන ඔහුගේ ප්‍රධාන අරමුණ වූ අංගසම්පූර්ණ නියැන්ඩර්තාල් ජිනෝමියක් තැනීමයි, ඔහුගේ බලාපොරොත්තුව වුණේ. 2010දී ඔහු සාර්ථක වුණා. 2012 දී ඔහු  සම්පූර්ණ නියැන්ඩර්තාල් ජිනෝමිය ප්‍රසිද්ධ කළා.

 ඊළඟට පේබෝ සයිබීරියාවේ ඩෙනි‍සෝවන් ගල්ලෙනෙන් හමු වූ කුඩා ඇඟිල්ලක ඇට කැබැල්ලකින් සොයා ගත්තා, නියැඩර්තාල්ට දුරින් නෑකම් කියන තව මානව පුරුකක් ඇති බව. ඒ මානවයා තමයි, දැන් ඩෙනිසෝවන් කියා ඒ ලෙනේ නමින් හැඳින්වෙන්නේ. 

මෙවැනි සොයා ගැනීම් නිසා තමයි, පරිණාමයේ ඉතිහාසය සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගැනීමට අපට හැකි වන්නේ. හෝමෝ සේපියන් මානවයා අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වන කාලයේ අඩුම තරමින් වඳවී ගිය මානව වර්ග දෙකක් යුරේෂියාවේ වාසය කළා. ඒ බටහිර යුරේෂියාවේ වාසය කළ නියැන්ඩර්තාල්වරුන් හා මහාද්වීපයේ නැගෙනහිර කොටසේ වූ ඩෙනිසෝවන්වරුන් වශයෙන්. මේ මානව කණ්ඩායම් දෙකටම අප්‍රිකාවෙන් සංක්‍රමණය වූ හෝමෝ සේපියන්ලා හමුවී ඔවුන් අතර අන්තර් අභිජනනයක් සිදුවී තියෙනවා. 

ඩෙනිසෝවන් මානවයා

“ස්වැන්ටේ පේබෝගේ මේ නව සොයා ගැනීම් නිසා අප නිතරම නඟන ප්‍රශ්නය වූ ‘අපේ ඇති සුවිශේෂත්වය කුමක්ද?’ යන්නට අපට පිළිතුරක් ලැබුණා.” යයි නොබෙල් කමිටු සාමාජිකා ඈන් වෙඩ‍ෙල් කියනවා. “අපට වගේ ම නියැන්ඩර්තාල්ටත් ලොකු මොළයක් තිබුණා. ඔවුන් කණ්ඩායම් වශයෙන් ජීවත් වුණා. මෙවලම් පාවිච්චි කළා. ඒත් වසර සිය දහස් ගණනක් ඔවුන් නොවෙනස්ව පැවතුණා, අවසානයේ දී වඳවී යනතුරු.”ඇය පැහැදිලි කරන්න පටන් ගත්තා. 

“අනික් අතට හෝමෝ සේපියන්ලා ශීඝ්‍රයෙන් සංවර්ධනය කර ගත්තා නව සංකීර්ණ සංස්කෘතියක්, අදහස් ප්‍රකාශ කිරීම සඳහා කලාවන්, වඩා දියුණු නව නිපැයුම් ආදියත්. ඔවුන් ජලාශවලින් එතරවෙමින් අපේ පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියා. මේ ශීඝ්‍ර සංවර්ධනයට හේතු වුණේ ඔවුන් තුළ ඇති වූ ජානමය වෙනස්කම්. මේ වෙනස්කම් ඇති වුණේ අපි නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවන් මානවයන්ගේ දුරස් වූ පසුවයි. 

“ජානමය වශයෙන් ඔහු සොයා ගත් දේ නිසා එදා නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවියන් මානවයන්ට නොතිබුණු දැනට ජීවත් වන සියලුම මිනිසුන් අතර ව්‍යාප්තව ඇති ජානමය ප්‍රභේද හඳුනා ගැනීමට හැකිවී තියෙනවා. ඒ ජානමය වෙනස්කම් මාලාව දිගු එකක් නොවුණත් ඉදිරියේ දී තවත් පර්යේෂණවලට එය මඟ පාදනු ඇති.” ඈන් වෙඩෙල් ස්වැන්ටේ පේ‍බෝගේ මානව ජාන පිළිබඳව කළ සොයා ගැනීම අගය කළේ එහෙමයි. 

ස්වැන්ටේ පේබෝ 1955 අප්‍රේල් 20 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ උපන්නෙක්. පියාගෙන් වෙන්ව මව සමග හැදුණු වැඩුණු අයෙක්. එස්ටෝනියානු ජාතික කාන්තාවක වූ ඔහුගේ මව කැරීන් පේබෝ රසායනවේදිනියක්. ඔහු උප්සලා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ස්විට්සර්ලන්තය, ඇමරිකාව හා ජපානය යන රටවල විශ්ව විද්‍යාලවල පශ්චාද් උපාධි පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වුණා.  ‍

පේබෝ විතරක් නෙමෙයි, එයාගේ තාත්තත් නොබෙල් ත්‍යාගලාභියෙක්. පේබෝගේ පියා වූ සුනී බර්ග්ස්ට්‍රොංට වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් සම්මානය ලැබුණේ 1982දියි. ඒ අනුව පේබෝත් සමඟ මෙතෙක් නොබෙල් සම්මානලාභීන්ගේ නොබෙල් සම්මාන ලත් දරුවන් ගේ ගණන අටක් වෙනවා 

1901 දී 2022 වන තෙක් වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව වෙනුවෙන් නොබෙල් සම්මාන 133 වැනි වතාවක් 225 දෙනෙකුට ලබා දී තියෙනවා. ඒවා විවිධ ක්ෂේත්‍ර පරාස ගණනාවක් ඔස්සේ පිරිනමනු ලැබුවා. 1901 දී ගලපටල රෝගය සඳහා මස්තු ප්‍රතිකාරය සොයා ගැනීම වෙනුවෙන් පළමුවන වෛද්‍ය විද්‍යා නො‍බෙල් ත්‍යාගය ලැබුවේ එමිල් ඇඩොල්ෆ් වොන් බේරිං නම් විද්‍යාඥයායි. ඔහුගේ ඒ ප්‍රතිකාර ක්‍රමය නිසා රෝග මර්දනයටත්, වැළක්වීමටත් වෛද්‍යවරුන්ට නව මඟක් උදා කර දුන්නා. එයින් ගලපටල රෝගය පමණක් නොව වෙනත් රෝග රැසක් වළක්වා ගන්නට, ප්‍රතිශක්තිය ඇති කර ගන්නටත් මඟ පෑදුණා. 

මේ වසර 121කක කාලය තුළ නොබෙල් සම්මානය නුදුන් වසර නවයක් ද තියෙනවා. ඊට හරස් වුණේ පළමුවන ලෝක සංග්‍රාමය (1915-1918) හා දෙවන ලෝක සංග්‍රාමය (1939-1945) යන සංග්‍රාම දෙකයි. ඒ වගේම 1921 හා 1925 දිත් සම්මානය පිරිනමා නැහැ. 1939 දී ජර්මන් විද්‍යාඥ ගෙහාර්ඩ් ඩොමැග්ට පිරිනමන ලද සම්මානය හිට්ලර් ලබා ගන්නට අවසර දුන්නේ නැහැ. ඒ නිසා ඔහුට ඒ සම්මානය ගන්නට 1947 වන තෙක් ඉන්නට සිදුවුණා. 

සම්ප්‍රදාය අනුව මිය ගිය අයට නොබෙල් සම්මාන පිරිනමන්නේ නැහැ. 1930 මහත්මා ගාන්ධිතුමා සම්මානයකට යෝජනා වී තිබුණත්, එය පිරිනැමීමට කලින් එතුමා ඝාතනය වූ නිසා එය එතුමාට දුන්නේ නැහැ. ඒත් එකම එක විද්‍යාඥයකුට පමණක් මියගියාට පසු වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දෙනු ලැබුවා. ඒ 2011දි, කැනේඩියානු ප්‍රතිශක්ති විද්‍යාඥ රැල්ෆ් එම්. ස්ටීන්මාන්ටයි. ඔහු සම්මානය පිරිනැමෙන දාට තෙදිනකට කලින් හදිසියේ මිය ගියා. ඒ බව නොබෙල් කමිටුව දැන සිටියේ නැහැ. ඒ නිසා ඒ සම්මානය පමණක් පිරිනැමුණා. 

වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් සම්මානය කාන්තාවන් 12 දෙනකුට හිමිවී තියෙනවා. ඒ අතරින් එකම එක කාන්තාවකට විතරයි, සම්පූර්ණ තෑගි මුදලම ලැබුණේ. ඒ 1983 දි, ඇමරිකන් ජාතික සෛල විද්‍යාඥ බාබරා මැක්ලින්ටොක්ටයි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments