Home Sinhala හර්ෂිතා – නිලක්ෂි නිසා තායි කාන්තාවන්ට එරෙහිව පහසු ජයක්!

හර්ෂිතා – නිලක්ෂි නිසා තායි කාන්තාවන්ට එරෙහිව පහසු ජයක්!

338
Thailand Women vs Sri Lanka Women

24 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී අද (04) ක්‍රීඩා කළ දැකුම්කළු ඉනිම නිසා කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. ඒ තායිලන්ත කාන්තාවන් ලකුණු 49කින් පහසුවෙන්ම පරාජය කරමින්.

අද බංග්ලාදේශයේ සිල්හෙට් නුවර දී උදෑසන තරගයක් ලෙස ආරම්භ වූ මෙහි කාසියේ වාසිය හිමි වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඒ අනුව චමරි අතපත්තු මුලින් පන්දුවට පහර දීම තමන් වෙත නතුකර ගත්තා.

පෙර තරග දෙකට වඩා අද ශ්‍රී ලංකාව පිතිකරණ අංශයෙන් සුබ පෙරනිමිති පෙන්නුම් කළ අතර මුල් කඩුල්ල සඳහාම අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට හර්ෂිතා මාධවී සහ චමරි අතපත්තු සමත් වුනා.

කෙසේ නමුත් මෙම තරගාවලිය පුරාවට තම සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට මාන බලන චමරිට අදත් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකි වුනේ නෑ. පන්දු 18ක දී ලකුණු 12ක් පමණක් රැස්කළ ඇය කඩුල්ල තුලට දඟ කැවුණු පන්දුවක් හමුවේ ලබා දුන් උඩපන්දුව කඩුලු රකින්නිය දෙවැනි උත්සාහයේ දී රැක ගත් නිසා ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියා. චමරි ආසියානු කුසලානයේ දී මේ දක්වා තරග 3ක දී රැස් කරගෙන සිටින්නේ ලකුණු 23ක් පමණයි.

හසිනි පෙරේරා ලකුණක් කරා දිව යන්නට දැරූ උත්සාහය අතරමග නවතා නැවත හැරී යන්නට යාමේ දී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඒ හර්ෂිතා සමඟ සිදු වූ සන්නිවේදන දුර්වලතාව නිසයි.

කෙසේ වෙතත් එක් අන්තයක් ආරක්ෂා කරමින් 19 වැනි පන්දුවාරය දක්වාම පිටියේ රැඳී සිටි හර්ෂිතා මාධවී අද තායිලන්ත පන්දු යවන්නියන් දක්ෂ ලෙස මෙල්ල කළේ හතරේ පහර 10ක් සමඟින් පන්දු 69ක දී ලකුණු 81ක් වාර්තා කරමින්.

ඉනිමේ අවසන් කොටසේ දී හර්ෂිතාට අනර්ඝ සහයක් ලබා දුන් නිලක්ෂි ද සිල්වා පන්දු 21ක දී වේගවත් ලකුණු 39ක් රැස් කළා. පසුගිය තරගවල ශ්‍රී ලංකාවට විශාල අඩුපාඩුවක්ව තිබූ “තරග අවසන් කරන්නිය”ගේ භූමිකාව මැනවින් රඟ දැක්වූ නිලක්ෂි හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක්ම එල්ල කළා. ඉනිමේ අවසන් පන්දුවටත් ඇය හයේ පහරක් එල්ල කිරීම නිසා ශ්‍රී ලංකා ඉනිම අවසන් වූයේ කඩුලු 5කට ලකුණු 156ක් වාර්තා කරමින්.

තායිලන්තය ඉනිමේ මුල් කොටසේ දී කඩුලු ආරක්ෂා කරගෙන පන්දුවට පහර දුන්න ද අවශ්‍ය ලකුණු වේගය වූ 7.85 රඳවා ගැනීමට සමත් වූයේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම ඔවුන් වෙත එල්ල වූ පීඩනය දෙගුණ තෙගුණ වුනා. මේ අතර ශ්‍රී ලංකාවට මුල්ම කඩුල්ල හිමිකර දෙන්නේ යම් තරමකට “ලසිත් මාලිංග ආකාරයේ” පන්දු යැවීමේ ඉරියව්වක් සහිත අචිනි කුලසූරියයි.

ආරම්භක පිතිකාරිණී නන්නපත් කොන්චරොකායි හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 21ක දී ලකුණු 25ක් රැස් කළ ද ඇය ඉනෝකා රණවීරට ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුනා. තායිලන්ත නායිකා නරුමොල් චයිවායි ලකුණු 19යි. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවයක් ගොඩ නැගෙමින් තිබෙද්දී එම කඩුල්ල බිඳ හෙලන්නේ කවීෂා දිල්හාරියි.

ඉනිමේ අවසන් කොටසේ දී තනි සටනක යෙදුණු චනීදා සුත්තිරන්ග් පන්දු 42ක දී ලකුණු 37ක් වාර්තා කළ ද එය තායිලන්තය ජයග්‍රහණයක් කරා කැටුව යාමට ප්‍රමාණවත් වූයේ නැහැ. පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය තම දකුණත් වේගපන්දුවෙන් කඩුලු 2කට වග කියද්දී ඉනෝකා, සුගන්ධිකා සහ කවීෂා එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරග අවසානයේ තායිලන්ත ඉනිම දැක්වුණේ ලකුණු 107කට කඩුලු 5ක් ලෙසයි. තරගයේ වීරයා සම්මානයට ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කාරිය බවට පත්වූ හර්ෂිතා මාධවී තරම් වෙනත් සුදුස්සෙක් සිටියේ නැහැ.

දිනෙන් දින ටිකෙන් ටික කාන්තා ක්‍රිකට් ලෝකයේ අවධානය තමන් වෙත හරවා ගනිමින් සිටින ඇය මේ වන විට තරග 3ක දී ලකුණු 144ක් රැස් කරගෙන සිටින්නේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැන්නිය ලෙසයි.

Result


Sri Lanka Women
156/5 (20)

Thailand Women
107/5 (20)

Batsmen R B 4s 6s SR
Harshitha Samarawickrama b Nattaya Boochatham 81 69 10 0 117.39
Chamari Athapaththu c Nannapat Koncharoenkai b Suleeporn Laomi 12 18 1 0 66.67
Hasini Perera run out (Naruemol Chaiwai) 6 8 0 0 75.00
Nilakshi de Silva not out 39 21 3 2 185.71
Oshadi Ranasinghe b Thipatcha Putthawong 2 3 0 0 66.67
Kaushani Nuthyangana b Thipatcha Putthawong 0 1 0 0 0.00
Anushka Sanjeewani not out 1 2 0 0 50.00


Extras 15 (b 1 , lb 2 , nb 1, w 11, pen 0)
Total 156/5 (20 Overs, RR: 7.8)
Bowling O M R W Econ
Nattaya Boochatham 4 0 37 1 9.25
Chanida Sutthiruang 3 0 27 0 9.00
Thipatcha Putthawong 4 0 26 2 6.50
Phannita Maya 1 0 12 0 12.00
Sornnarin Tippoch 2 0 12 0 6.00
Suleeporn Laomi 2 0 15 1 7.50
Onnicha Kamchomphu 4 0 25 0 6.25


Batsmen R B 4s 6s SR
Nannapat Koncharoenkai lbw b Inoka Ranaweera 25 21 4 0 119.05
Natthakan Chantham b Achini Kulasuriya 7 12 0 0 58.33
Naruemol Chaiwai b Kavisha Dilhari 19 25 1 1 76.00
Chanida Sutthiruang not out 37 42 3 0 88.10
Sornnarin Tippoch b Sugandika Kumari 0 3 0 0 0.00
Phannita Maya b Achini Kulasuriya 5 9 0 0 55.56
Rosenan Kanoh not out 6 8 0 0 75.00


Extras 8 (b 1 , lb 0 , nb 0, w 7, pen 0)
Total 107/5 (20 Overs, RR: 5.35)
Bowling O M R W Econ
Sugandika Kumari 4 0 14 1 3.50
Oshadi Ranasinghe 3 0 28 0 9.33
Achini Kulasuriya 3 0 19 2 6.33
Inoka Ranaweera 4 0 19 1 4.75
Kavisha Dilhari 4 0 20 1 5.00
Chamari Athapaththu 2 0 6 0 3.00



මේ අනුව සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජයගෙන ඇති ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාවට ඉහළින් සිටින්නේ ඉන්දියා සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම් දෙකයි. ශ්‍රී ලංකා පිළ ක්‍රීඩා කරන මීළඟ තරගය ලබන 08 වැනිදා මැලේසියාවට එරෙහිව පැවැත්වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<