බල්ලෝ කෑගහන්නේ නෑ උන් බුරනවා!

8261

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඇඟේ හයියෙන්ම විතරක් කරන ක්‍රීඩාවක් නෙවෙයි. ක්‍රිකට් පිටියේ සාර්ථක වෙන්න මානසික ඒකාග්‍රතාවය, මානසික ශක්තිය වගේ දේවල් ඉතා වැදගත්.

ගොඩාක් වෙලාවට ක්‍රිකට් ක්‍රීඩකයින් වචන හරඹයෙන් ප්‍රතිවාදීන් මානසිකව වට්ටලා අමාරුවේ දාන්න හදනවා. ඒක අමුතු දෙයක් නෙවෙයි. ගොඩාක් වෙලාවට මේවා සීමා වෙන්නේ පිටිය ඇතුළට විතරයි.

මේවට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ Sledging කියලා. මේ ලිපියෙන් විස්තර කරන්නේ ක්‍රිකට් පිටියේ සිද්ධ වෙච්ච ඒ වගේ රසවත් වචන ගැටුම් කිහිපයක්.

නැන්දම්මා එව්වොත් මොකද ක්‍රිකට් ගහන්න

80 දශකයේ පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක් නිමවා එංගලන්තයට ගිය ඉයන් බෝතම්ගෙන් පාකිස්තානයේ දී ලබා ගත් අත්දැකීම් කෙසේ දැයි ගුවන්විදුලි සේවයක නිවේදකයෙකු විමසා සිටියා.

නැන්දම්මා නිවාඩුවකට යවන්න නම් අපූරු රට,” බෝතම් සරදම් සහගතව ප්‍රකාශ කළා.

බෝතම්ගේ මෙම විහිළු සහගත ප්‍රකාශය පාකිස්තානුවන් භාර ගත්තේ එතරම් යහපත් ආකාරයකින් නෙවෙයි.

කලකට පසුව 1992 වසරේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවැත්වුණ බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය දිනා ගත්තේ පාකිස්තානු කණ්ඩායම. ඔවුන් අතින් එදා පරාජයට පත්වුනේ ඉයන් බෝතම් නියෝජනය කළ එංගලන්ත කණ්ඩායමයි.

බෝතම්ගේ ඉකුත් අවඥා සහගත ප්‍රකාශයට පිළිතුරු දීමට හොඳම අවස්ථාව එය යැයි සිතූ පාකිස්තානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ආමීර් සොහේල්, බෝතම්ට මෙසේ පැවසුවා.

ඇයි උඹේ නැන්දම්මා ක්‍රිකට් ගහන්න එවන්නේ නැත්තේ. නැන්දම්මා ආවත් මීට වඩා නම් හොඳට සෙල්ලම් කරයි.”

ආමීර් සොහේල් සෙසු පාකිස්තානු ක්‍රීඩකයින් සමඟ 1992 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව

මෝරුන්ට කන්න ඇමට දානවා

බ්‍රයන් මැක්මිලන් 90 දශකයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

විශාල ශරීරකායකට හිමිකම් කී මැක්මිලන්ට පිත්ත මෙන්ම පන්දුවත් හොඳටම හුරුයි.

ඕස්ට්‍රේලියාවේ පැවති එක්තරා ටෙස්ට් තරගයක දී මැක්මිලන්ට ෂේන් වෝන්ගේ පන්දුවලට මුහුණ දීමට සිදු වුනා.

ෂේන් වෝන් යැවූ කිසිම පන්දුවක් තේරුම් ගන්නට මැක්මිලන්ට එදා හැකියාවක් තිබුණේ නැහැ. වෝන්ගේ පන්දු හමුවේ වෙර යොදා පිත්ත වැනුවත් ඒ කිසිම පන්දුවක් මැක්මිලන්ගේ පිත්තේ වැදුණේ නෑ.

මැක්මිලන් කිට්ටුවට ගිය වෝන් මෙහෙම කිව්වා.

ඊළඟ පාර මම උඹට කියන්නම් මොකක්ද එවන බෝලේ කියලා.”

එතැන් පටන් වෝන්, මෙන්න ලෙග්ස්පින් බෝලේ, මෙන්න ෆ්ලිපර් එක කියමින් මැක්මිලන් තවත් අපහසුතාවට පත් කරන්න කටයුතු කළා.

නමුත් ඒ එක පන්දුවක් හෝ පිත්තේ වද්ද ගන්න මැක්මිලන්ට හැකියාවක් ලැබුණේ නෑ.

තවදුරටත් ඉවසගන්න බැරි තැන වෝන් කිට්ටුවට ගිය මැක්මිලන් මෙහෙම කිව්වා.

උඹ ඊළඟ මාසේ දකුණු අප්‍රිකාවට එනවා කියලා මම දන්නවා. උඹ දන්නවා ද දකුණු අප්‍රිකාවේ මිනිස්සු සීයක් විතර දවසකට අතුරුදන් වෙනවා. සමහර විට මට උඹවත් මෝරෙක් අල්ලන්න ඇමකට ගහන්න පුළුවන් වේවි.”

ක්ෂණිකව සුදුමැලි වෙලා ගියපු වෝන් එතන ඉඳන් කට වහගෙන ෆුල්ටොස් පන්දු කිහිපයක් යවලා පැත්තකට වුනා කියලා තමයි හිටපු ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර් කියන්නේ.

ෂේන් වෝන් සහ බ්‍රයන් මැක්මිලන් පසුකලෙක ඉයන් හීලී වෙනුවෙන් පැවැත්වූ ප්‍රදර්ශන තරගයක් අතරතුර

බල්ලෝ කෑගහනවා ෂෝන්!

2003 ලෝක කුසලාන තරගයක් අතරතුර කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකානු නායක ෂෝන් පොලොක්ට එරෙහිව දියත් කළ වාග් ප්‍රහාරය බොහොම ප්‍රසිද්ධ එකක්.

මේ සිදුවීමට පදනම වැටෙන්නේ 2002/03 ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර දීයි. වෙනදා ප්‍රතිවාදීන්ගේ වාග් ප්‍රහාර හමුවේ කරබා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් පෙරළා ප්‍රතිවාදීන්ගේ වචනවලින් ඔවුන්ටම පහර දිය යුතු බව තීරණය කෙරුණේ මෙම සංචාරය අතරතුර දීයි.

එවර සංචාරයේ සෙන්චූරියන් ක්‍රීඩාංගණයේ පැවති දෙවන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක සනත් ජයසූරිය සිටියේ ආබාධයකට ලක් වී කණ්ඩායමෙන් ඉවත.

මෙම තරගය පුරාවටම සනත් වෙනුවට වැඩ බැලූ මාවන් අතපත්තුගේ නායකත්වය ඉතා උසස් මට්ටමින් කැපී පෙනුණා. එමෙන්ම මෙම තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන නොපෙනෙන මානයට ගෙන එන්නට දිල්හාර ප්‍රනාන්දුගේ වේග පන්දුවටත් හැකියාව ලැබුණා.

තරගයේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි ඉනිමේ ලබා දුන් ලකුණු 121ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව වරෙක කියවුණේ 73/6ක් ලෙසින්. දිල්හාර ප්‍රනාන්දුගේ පන්දු හමුවේ දකුණු අප්‍රිකානු මුල්පෙළ පිතිකරුවන් ක්‍රීඩා කළේ දැඩි අපහසුතාවයකින්. එක්තරා ආකාරයකින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක අපට එය නුහුරු නුපුරුදු දසුනක් වුනා.

මේ තරගයේ ජයග්‍රහණයට අවැසි අවසන් ලකුණු කිහිපයේ පන්දුවට පහර දෙමින් සිටියේ දකුණු අප්‍රිකානු නායක ෂෝන් පොලොක් සහ කඩුලු රකින මාක් බවුචර්.

මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රැකීමේ යෙදී සිටි කුමාර් සංගක්කාර සිය වාග් ප්‍රහාරය දැඩි කරමින් සිටි මොහොතක්.

බල්ලෝ කෑගහනවා ෂෝන්. ගණන් ගන්න එපා”. (Don’t bother Shaun. Dogs are shouting) දකුණු අප්‍රිකානු නායකයාගේ උදව්වට පැමිණි බවුචර් පැවසුවා.

බල්ලෝ කෑගහන්නේ නෑ මහත්තයෝ උන් බුරනවා”. (Dogs don’t shout Mister. They bark)

 ශ්‍රී ලංකා කඩුලු රකින්නා එවලේ ඇඟට පතට නොදැනී ප්‍රකාශ කළා.

එංගලන්ත කණ්ඩායමේ ඇස් හතරේ ඉලංදාරියා

කණ්නාඩි කුට්ටම් පැළඳගෙන පිතිකරණයේ යෙදෙන පිතිකරුවන් මේ කාලයේ ඉතාම දුලබ දර්ශනයක්.

1964 වසරේ ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ පැවති අළුබඳුන ටෙස්ට් තරගයකට එංගලන්ත ආරම්භක පිතිකරු ජෙෆ් බෝයිකොට් පැමිණියේ උපැස් යුවළක් පැලඳ ගෙන.

ඕස්ට්‍රේලියානු නායකයාව සිටි බොබ් සිම්ප්සන්, බෝයිකොට් කඩුල්ලට පිළිගත්තේ එතරම් සුහදශීලීව නම් නොවෙයි.

සිම්ප්සන් පන්දු යවමින් සිටි ගාර්ත් මැකෙන්සිට කෑගසා මෙසේ පැවසුවා.

මේ ඇස් හතරේ හාදයා දිහා පොඩ්ඩක් බලපන්. මූට බැට් කරන්න නම් බෑ. එක බෝලෙකින් කණ්ණාඩි කුට්ටම කුඩු පට්ටම් කරලා දාන්න දාපන්.”

පොඩි එකෝ ගෙදර ගිහින් කිරි බීපං!

1989 වසරේ ඉන්දියානු කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරනවා. මේ සංචාරයට ඉන්දීය කණ්ඩායමට එක් සුවිශේෂී ක්‍රීඩකයෙක් ඇතුලත්ව හිටියා. ඔහුගේ නම සචින් තෙන්දුල්කාර්. තෙන්දුල්කාර්ට ඒ වෙද්දී යාන්තම් වයස අවුරුදු 16ක් විතර.

මේ තරග සංචාරයේ එක් තරගයක් අයහපත් කාලගුණය සහ ආලෝක තත්ත්වය නිසා පන්දුවාර විස්සක ප්‍රදර්ශන තරගයක් ලෙසින් පවත්වන්න සිදු වුනා.

මේ තරගයට සහභාගී වූ සචින් තෙන්දුල්කාර්ට පාකිස්තානු ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නෙවෙයි.

‘පොඩි එකෝ ගෙදර ගිහින් කිරි බීපං‘ විවිධ ස්වරූපයේ සරදම් සහගත බෝඩ් ලෑලි උසවාගෙන ඔවුන් ළාබාල ඉන්දියානු ක්‍රීඩකයාට ඔච්චම් කරන්නට වුනා.

තෙන්දුල්කාර් පිතිහරඹයට පැමිණි විගස පාකිස්තානු පා දඟපන්දු යවන ක්‍රීඩක මුෂ්ටාක් අහමඩ්ගේ පන්දුවාරයකට හයේ පහර දෙකක් සහ හතරේ පහරක් එල්ල කළා.

මුෂ්ටාක් අහමඩ්ට හයේ පහරවල් එල්ල කරන ආකාරය වෙනත් පාකිස්තානු ක්‍රීඩකයෙකු තියුණු ලෙස නිරීක්ෂණය කරමින් හිටියේ.

ඔහුගේ නම අබ්දුල් කදීර්.

අබ්දුල් කදීර් කියන්නේ ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ අග්‍රගණ්‍යම පා දඟපන්දු යවන්නන් කිහිප දෙනාගෙන් කෙනෙක්. ඒ වගේම මුෂ්ටාක් අහමඩ්, කදීර්ගේ ගෝලයෙක්.

ඒයි පොඩි එකා… පොඩි පොඩි එවුන්ට හයේ ඒවා තලන්නේ පුළුවන් නම් මට ගහලා පෙන්නහං.”

කදීර් තෙන්ඩුල්කාර්ට අභියෝගය කළා. කදීර් කියන්නේ ඒ වෙද්දී ක්‍රිකට් ක්‍රීඩාවේ අති දැවැන්ත ප්‍රතිරූපයක්.

ඔබ සෑහෙන ප්‍රවීණ පන්දු යවන්නෙක්. මම හිතන්නේ නෑ ඔබට එහෙම ලේසියෙන් ගහන්න පුළුවන් වෙව්වි කියලා,” කදීර් වැන්නෙකුගේ ප්‍රකාශය නිසා ළාබාල තෙන්දුල්කාර් මදක් සලිත වුව ද පිත්තෙන් ප්‍රති උත්තර දෙන්නට තීරණය කර තිබුණා.

කදීර්, තෙන්ඩුල්කාර්ට යැවූ මුල්ම පන්දුවාර සටහන් වූයේ 6, 0, 4, 6, 6, 6 ලෙස. ඔව්, කදීර් යැවූ ඒ පන්දුවාරයෙන් ලකුණු 28ක් උදුරා ගන්නට තෙන්දුල්කාර් සමත්ව සිටියා.

සචින් තෙන්දුල්කාර් සහ අබ්දුල් කදීර් පසුකලෙක සුහද කතාබහක.

එදා තෙන්දුල්කාර්ගේ නම ඉදිරියෙන් නොදැවුණ ලකුණු 53ක් සටහන් වුනා.

පසු කාලෙක ජාත්‍යන්තර තලයේ පිතිකරණ වාර්තා රාශියක් තෙන්දුල්කාර්ගේ නම ඉදිරියෙන් සනිටුහන් වුනා. නමුත් සචින් තෙන්දුල්කාර් නම මුලින්ම ජාත්‍යන්තරය හඳුනා ගත්තේ ඉකුත් සිදුවීමෙන් අනතුරුව බවයි බොහෝ දෙනා කියන්නේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<