අතිවිශේෂ ක්‍රිකට් නම්

3024

ක්‍රිකට් ක්‍රීඩාව අපි සමහරෙක්ට ක්‍රීඩාවකට එහා ගිය දෙයක්. සමහර විට ඇතැම් ක්‍රිකට් ක්‍රීඩක නාමයන් පරම්පරා ගණනක් පුරා විහිදී යනවා. අද අපි කතා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රීඩාංගණ නිසා බිහි වූ අපූරු නම් කිහිපයකට පදනම වැටුණ ආකාරය.

ලාරාගේ දියණියට නම දුන් අනගි ඉනිම

බ්‍රයන් ලාරා සිය මංගල ටෙස්ට් ශතකය ලෙස ලකුණු 277ක් රැස් කළා. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව 1993 වසරේ දීයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ලාරා රැස් කළ මේ ඉනිම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අනර්ඝතම ඉනිම්වලින් එකක් ලෙස සැලකනවා.

1996 වසරේ උපන් සිය පළමු දියණියට සිඩ්නි ලෙස නම තබන්නට ලාරා තීරණය කළා. ඒ සිඩ්නි නගරයේ දී තමා ක්‍රීඩා කළ අද්විතීය ඉනිම සිහිවන්නටයි.

බ්‍රයන් ලාරා සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ලබා ගත් ලකුණු 277 ඉනිම අතරතුර

ලාරාගේ අඩිපාරේ ගිය ස්වෝන්

2010/11 අළුබඳුන ශූරතාවය දිනා ගත්තේ එංගලන්ත කණ්ඩායමයි. 3-1ක් ලෙස ඔවුන් අළුබඳුන ජයග්‍රහණය කළේ සිඩ්නි නගරයේ දීයි.

එංගලන්ත කණ්ඩායමේ මෙම අනර්ඝ ජයග්‍රහණය සිහි වීම වස් ග්‍රැහැම් ස්වෝන් සිය පුත්‍රයාගේ නමට සිඩ්නි යන්න එක් කිරීමට තීරණය කළා.

ස්වෝන්ගේ පුත්‍රයාගේ සම්පූර්ණ නම ලෙසින් සටහන් වූයේ විල්ෆ්‍රඩ් රිචර්ඩ් සිඩ්නි ස්වෝන් යන්නයි.

“අපේ ජයග්‍රහණය සමරන්න දැන් අපිට වෙනස්ම ආකාරයේ මතක සටහනක් තියනවා. කවදාහරි එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් වෙන්න සුදුසු අන්දමේ මුලකුරු ටිකකුත් ඔහුගේ නමේ තිබෙනවා,” ස්වෝන් සිය පුත්‍රයාගේ උපත ගැන සහ නම ගැන කීවේ එහෙමයි.

අතිවිශේෂ ඉන්දියානුවා

ක්‍රිකට් ගැන අවධානයක් ඇති හැමදෙනාම වී. වී. එස්. ලක්ෂ්මන් නම් සුවිශේෂී ඉන්දියානු පිතිකරුවා ගැන දන්නා බවට සැකයක් නැහැ.

ඉන්දියාවේ හයිද්‍රාබාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ ලක්ෂ්මන් දඟපන්දු යවන්නන්ට ඉතා හොඳින් මුහුණ දුන් පිතිකරුවෙක්. ඊට අමතරව ලක්ෂ්මන් ඕස්ට්‍රේලියානු පන්දු බළඇණියට විශේෂ කැමැත්තක් දැක්වූ පිතිකරුවෙක්.

2001 වසරේ කල්කටාවේ ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලක්ෂ්මන් රැස් කර ගත් ලකුණු 281 ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඉහළින්ම කියවෙන අනර්ඝතම ඉනිමක්. එය කලක් යනතුරු ඉන්දීය පිතිකරුවෙකු ටෙස්ට් තරගයක රැස් කළ ඉහළතම තනි ඉනිම වුනා.

ලක්ෂ්මන්ගේ ඕස්ට්‍රේලියානු සංහාරය ඉන් නැවතුණේ නැහැ. 2003/04 තරගවාරයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියානු තණතිලිවල අනර්ඝ ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරන්නට ලක්ෂ්මන් සමත් වුනා.

විස්තර විචාරයේ යෙදී සිටි හිටපු ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල් ලක්ෂ්මන්ගේ අනගි ක්‍රීඩා විලාශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වෙරි වෙරි ස්පෙෂල් ලක්ෂ්මන් (Very Very Special Laxman) යනුවෙන් ඉන්දියානු මැදපෙළ පිතිකරුවා හඳුන්වන්නට විය. මේ යෙදුම ඉන්පසු ලක්ෂ්මන් සමඟ නිරන්තරයෙන් ඈඳී ගියා.

“අපි ඇත්තට ඉයන් චැපල්ට සෑහෙන්න ස්තුති කරන්න ඕන මගේ පුතාට ඒ වගේ ගෞරවයක් ලබා දුන්න එක ගැන. සාමාන්‍ය ඉන්දියානු දරුවෙකුට වගේ දෙවියන්ගේ නම් තමයි ලබා දෙන්නේ. වෙන්කත, සායි, ලක්ෂ්මන් ඒ වගේ අපේ පුතාට ලැබුණ නම්. වංගිපුරප්පු කියන්නේ අපේ පවුලේ වාසගම.

ඔහු ඉතාම හොඳ ගතිගුණ ඇති නිරහංකාර දරුවෙක්. චැපල් දීපු නම ඔහුගේ ගතිගුණ එක්ක හොඳටම පෑහුණා.”

වෛද්‍යවරුන් දෙදෙනෙක් වූ ලක්ෂ්මන්ගේ දෙමාපියන් කෘතවේදිව ප්‍රකාශ කළා. ඒ 2012 වසරේ ලක්ෂ්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුදීමෙන් අනතුරුව.

වී. වී. එස් ලක්ෂ්මන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 281 ඉනිම අතරතුර.

සචින් සහ සචින්

හෂාන් තිලකරත්න ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉතාම ලාලිත්‍යවත් පිතිකරුවෙක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගවල දී හෂාන් අති විශිෂ්ට ඉනිම් කිහිපයක් රැස් කරගෙන තිබෙනවා. හෂාන් රැස් කළ බොහෝ ශතකයන් වාර්තා වුනේ පිතිකරණයට අතිශයින්ම අපහසු තත්ත්වයන් යටතේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මැදපෙළ පිතිහරඹය සවිමත් කළ, විටෙක කඩුලු රැකීමේ යෙදුණ, සමහර විට පන්දු යැවීමට පන්දුව අතට ගත්, පිතිකරුවා අසල පන්දු රැකීමේ නිපුණයෙකු වූ හෂාන් පසුකලෙක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයටත් පත්වුණා.

1996 සැප්තැම්බරයේ දිනෙක හෂාන් පිය පදවිය ලබනවා. හෂාන් සහ ඔහුගේ බිරිඳ අප්සාරි සිංහබාහු තිලකරත්න සිය නිවුන් දරු දෙදෙනාට දුවිඳු සහ රවිඳු යනුවෙන් නම් තබනවා. ඊට අමතර ක්‍රිකට් ඉතිහාසයේ එක්තරා සුවිශේෂී පිතිකරුවෙකුගේ නම් තම දරුවන් දෙදෙනාට ඈඳන්නට ඔවුන් දෙදෙනා කල්පනා කරනවා.

ඒ සුවිශේෂී පිතිකරුවාගේ නම සචින් තෙන්දුල්කාර්.

“හෂාන් ඇරුණාම මගේ අනෙක් ප්‍රියතම පිතිකරුවන්ගෙන් කෙනෙක් සචින් තෙන්දුල්කාර් කියන්නේ. හෂානුත් සචින්ට හරි කැමතියි. ඉතින් අපි තීරණය කළා පුතා දෙන්නාගේ නම්වලට සචින් කෑල්ල එකතු කරන්න,” අප්සාරි පසුකලෙක පුවත්පතකට ප්‍රකාශ කළා.

දුවිඳු සහ රවිඳු සිය පියාගේ අඩිපාරේ යමින් ක්‍රිකට් පිටියට පිවිසියා. විශේෂයෙන්ම වමතින් පිට දඟපන්දු යවන දුවිඳු මේ දිනවල දේශීය තරගවල දී උසස් දස්කම් අතර සිටිනවා. එමෙන්ම දුවිඳු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා ගැනීමට කිහිපවතාවක්ම බොහෝ ආසන්නයට පැමිණියා.

හෂාන් තිලකරත්න සචින් සහ සචින් සමඟ

සංගීතඥයාගෙන් නම ලද ක්‍රිකට් පුරාවෘත්තය

හෂාන් තිලකරත්නගේ පුතුන් දෙදෙනාගේ නමේ කොටසක් වෙන්වන්නේ සචින් වෙනුවෙන් බව අපි ඉහතින් සඳහන් කළා. මේ සචින්ට තමන්ගේ නම ලැබුණ හැටි.

රමේෂ් තෙන්දුල්කාර් මුම්බායි ජීවත් වූ මරාති භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක්, ඒ වගේම කවියෙක්. ඔහු සංගීතයටත් බොහොම ලැදියි.

1973 වසරේ අප්‍රේල් මාසයේ උපන් තෙන්දුල්කාර් මහාචාර්යවරයාගේ කුඩාම පුත්‍රයාට ඔහු නම තබන්නේ සචින් යනුවෙන්. ඒ සුප්‍රකට ඉන්දියානු සංගීතඥයෙකු වූ එස්. ඩී. බර්මන් සිහිවීමට. තෙන්දුල්කාර් මහාචාර්යවරයා එස්. ඩී. බර්මන් එහෙමත් නැත්නම් සචින් දේව් බර්මන්ගේ විශාල රසිකයෙක්.

සචින් දේව් බර්මන් කියන්නේ ඉන්දියානු සංගීතයේ පුරාවෘත්තයක්. සිය පුත්‍රයා සචින් පුරාවෘත්තය ඉන්දියාවෙන් එපිටට ගෙන ගොස් ජාත්‍යන්තරය ජය ගනීවි යැයි එදා නම් තබන අවස්ථාවේ දී තෙන්දුල්කාර් මහාචාර්යවරයා සිහිනයකින් හෝ සිතන්නට නැතිව ඇති.

සැමට නම දුන් රොහාන් කන්හායි.

රොහාන් කන්හායි යනු බටහිර ඉන්දීය කොදෙව් කලාපයේ ගයානාවෙන් ක්‍රිකට් ලෝකයට බිහි වූ අතිවිශිෂ්ටතම පිතිකරුවෙකි.

වරක් ඉන්දියානු කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් ගවස්කාර් ලකුණු අනූ ගණනක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.

ශතකය අභියස සිටි ගවස්කාර් අපරික්ෂාරී පහරක් එල්ල කළ අතර එම පන්දුවාරය නිමාවේ දී ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගවස්කර් කිට්ටුවෙන් යන අතරවාරයේ “ඇයි ඔබට ලකුණු සීයය අවශ්‍ය නැද්ද?”යනුවෙන් විමසීය. එලෙස ගවස්කාර් ඇමතූ කොදෙව් ක්‍රීඩකයා වූයේ රොහාන් කන්හායිය.

මේ සමයේ රොහාන් කන්හායි සහ සුනිල් ගවස්කාර් අතර දැඩි මිතුදමක් ඇතිවිය. පසුකලෙක තමාගේ පුත්‍රයාට ‘රොහාන්’ යනුවෙන් නම තබන්නට සුනිල් ගවස්කාර් තීරණය කළේ ඒ නිසයි.

රොහාන් ගවස්කාර් පසුකලෙක සිය පියා මෙන් ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කළා. 2004 වසරේ එක්දින තරග 11කට සිය දායකත්වය ලබා දුන් රොහාන්ට සිය පියා මෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිගු දුරක් යෑමට හැකි වූයේ නැහැ.

එලෙස තමන්ගේ පුත්‍රයින්ට රොහාන් කන්හායි සිතේ තබාගෙන නම් තැබුවේ සුනිල් ගවස්කාර් පමණක් නොවේ. ලෝ ප්‍රකට ගායන ශිල්පී බොබ් මාලේ මෙන්ම කොදෙව් කණ්ඩායම නියෝජනය කළ තවත් අද්විතීය පිතිකරුවෙකු වූ ඇල්වින් කලිචරන්ද තමන්ගේ පුත්‍රයින්ට නම තැබුවේ ද රොහාන් කියාය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<