ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන්නෙක්ට BBL වරම්

බිග් බෑෂ් ලීග් තරගාවලිය

464

ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක රුවන්ත කෑල්ලපොත බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

මේ වන විට 31 වැනි වියේ පසුවන රුවන්ත මෙවර තරගාවලිය සඳහා එම කණ්ඩායමට එක්කර ගත් පළමු විදෙස් ක්‍රීඩකයා වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා දේශීය තරග පිටියේ ද අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු වන ඔහු 2013 වසරේ දී අවසන් වරට ශ්‍රී ලංකාව තුළ දේශීය තරග නියෝජනය කර තිබුණා.

පසුව ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුව පසුගිය වසර 10ක පමණ කාලය තුළ ඔහු Melbourne හී ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරග කළා.

පසුගිය තරග වාරයේ දී Casey – South Melbourne නියෝජනය කළ ඔහු එහි පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 46ක් දවා ගත් අතර Super Slam තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ද ඔහුයි. එමෙන්ම ඔහු වික්ටෝරියා කණ්ඩායමේ දෙවැනි පෙළ නියෝජනය කිරීම ද විශේෂත්වයක්.

මෙම දස්කම් නිසාවෙන් ඔහුට පසුගිය මාසයේ දී Melbourne Renegades මූලික සංචිතයට එක් වීමට වරම් හිමි වූ අතර එම කණ්ඩායම නියෝජනය කරමින් දැක්වූ දස්කම් ඔහුට මෙවර බිග් බෑෂ් ලීගයට වරම් දිනා දෙන්නට සමත් වුනා.

BBL තරගාවලියට වරම් හිමි වීම පිළිබඳව අදහස් දක්වමින් රුවන්ත ප්‍රකාශ කළේ,

“Melbourne Renegades කණ්ඩායමට එක් වීමට ලැබීම ගැන මම ගොඩක් පුදුමයට පත් වුනා. මගේ ක්‍රීඩා දිවිය ටිකක් වෙනස්. මම 2013 ශ්‍රී ලංකාවේ දේශීය තරග ක්‍රීඩා කරලා එයින් පසුව ඕස්ට්‍රේලියාවට පැමිණ ක්‍රීඩා සමාජ තරග නියෝජනය කරලා පසුගිය වසරේ ප්‍රිමියර් කණ්ඩායම් නියෝජනය කරන්න ලැබුණා.

ක්‍රීඩා සමාජ තරග පිටියේ මට කරන්න ඕන දේවල් මම කළා. ඒත් දැන් මට බලන්න ඕන ප්‍රිමියර් තරග පිටියේ මට කරන්න පුළුවන් දේවල් මොනාද කියලා. ඒ ඉහළ තලයේ දී මට කරන්න පුළුවන් දේවල් ගැන.

මේ වසරේ දී Renegades සමඟ සම්බන්ධ වීමට මට අවස්ථාව ලබා දීම ගැන මම අගය කරනවා වගේම. එය මට විශාල වරප්‍රසාදයක්. ලෝක ක්‍රිකට් පිටියේ ඉන්න හොඳම ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරන්න ලැබෙන එක මට හොඳ අත්දැකීමක් වෙයි. මට ඕන කණ්ඩායම් ක්‍රීඩකයෙකු වෙන්න වගේම මගේ කණ්ඩායමට අවශ්‍ය දේට 100%ක් දායකත්වය ලබ දෙන්න මම සූදානම්.”

ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුව Melbourne ක්‍රීඩා සමාජ කේන්ද්‍ර කර ගනිමින් තරග වැදි රුවන්ත Melbourne Renegades නියෝජනය කරමින් Multicultural විස්සයි විස්ස තරගාවලියට ද සහභාගී වුනා.

රුවන්ත සිය කණ්ඩායමට එක් කර ගැනීමට ලැබීම පිළිබඳව අදහස් දැක්වූ Melbourne Renegades කණ්ඩායමේ නිලධාරි James Rosengarten ප්‍රකාශ කළේ,

“Renegades ඇකඩමිය නියෝජනය කරමින් රුවන්ත දැක්වූ දස්කම් අපගේ සිත්ගත්තාසුළු වගේම ඔහු ප්‍රිමියර් ක්‍රිකට් තරගවල දී ඉහළ දස්කම් දැක්වුවා. ඔහුට මේ මට්ටමට පැමිණීමට සුවිශේෂී ක්‍රිකට් ගමනක් තිබුණා. අපි හිතනවා ඔහු මෙවර අපේ කණ්ඩායමට ක්‍රීඩා කරමින් බලපෑමක් ඇති කරයි කියලා.”

BBL 2022 තරගාවලියේ මේ දක්වා Melbourne Renegades සංචිතය: Nic Maddinson (C), Zak Evans, Aaron Finch, Jake Fraser-McGurk, Sam Harper, Mackenzie Harvey, Akeal Hosein*, Ruwantha Kellapotha*, Liam Livingstone*, Shaun Marsh, Jack Prestwidge, Kane Richardson, Tom Rogers, Will Sutherland, Mujeeb Ur Rahman*, Jon Wells

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<