HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පේරාදෙණියේ මල් රැජිනට වසර 200යි!

පේරාදෙණිය මල්වත්ත, නිල වශයෙන් කීවොත් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පිහිටුවා මේ වසරට වසර 200ක් සම්පුර්ණ වෙනවා. එය සලකුණු කිරීමට ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය 2022 සැප්තැම්බර් 19 වැනිදා මුද්දර හතරක් හා මුල් දින කවරයක් නිකුත් කළා. අද පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තියෙන ස්ථානයෙහි අපේ සිංහල රජ්ජුරුවන්ගේ රාජකීය උයනක් තිබූ බව මෙහි ඉතිහාසය අපට කියා දෙනවා. 

ජීවිත කාලය තුළ එක්වරක්වත් යායුතු ගමනක්!

ඒ රාජකීය උද්‍යානයේ හෙවත් මඟුල් උයනේ ඉතිහාසය 1371 වසර තෙක් ඈතට දිව යනවා. ඒ අනුව මෙය වසර 651කට පෙර පටන් තිබුණු එකක්. ඒ තුන්වැනි වික්‍රමබාහු රජ සමයයි. රජ වාසල තිබුණේ පේරාදෙණියේ, මහවැලි ගඟබඩ මේ උද්‍යානය පිහිටි ප්‍රදේශයේමයි. අද ඒ නටබුන් කිසිවක් නෑ. ඒ වුනත් ඉතිහාසයට අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජුත්, රාජාධිරාජසිංහ රජුත් මේ රජ වාසල පාවිච්චි කරලා තියෙනවා. පසුව රජ පැමිණි විමලධර්මසූරිය රජතුමා මහනුවර සිය මාලිගය ඉදි කොට මේ වාසල පැවති ස්ථානයෙහි විහාරයක් කරවා සඟරුවනට පූජා කරලා තියෙනවා. ඉංග්‍රීසීන් කන්ද උඩරට රාජ්‍ය අල්ලා ගත්තාට පසු ඒ විහාරය විනාශ කර දැමූ බවයි, කියැවෙන්නේ. 

මෙහි වර්තමාන උද්‍යානය ආරම්භ කරන්නට මූලික වෙලා තියෙන්නෙ, ඇලෙක්සැන්ඩර් මූන් (Alexandar Moon) කියන සුදු ජාතික උද්භිද විද්‍යාඥයායි. බ්‍රිතාන්‍ය පාලන සමයේ තමයි, මෙයට අඩිතාලම වැටුණේ. ඒ 1821 දී. සුදුසු බිමක් තෝරා ගෙන මේ කටයුත්ත අරඹන්නට ඇලෙක්සැන්ඩර් මූන්ට තමයි, පැවරුණේ. මෙහි වූ පැරණි උද්‍යානයේ පැවති වටිනා ගහ කොළ හඳුනා ගත් නිසා ඔහු මෙම ඉඩම තෝරා ගෙන ඉන්පසු මෙහි බිම් සැකැස්ම පිළියෙල කොට වැඩ ආරම්භ කරන ලද්දේ 1822 දියි. මූන් මුලදී මේ බිම වැඩිපුර ම යොදා ගත්තේ කෝපි හා කුරුඳු පැල තවාන් සැකසීමටයි. 1843 තමයි, බ්‍රිතාන්‍යයේ කිව් (Kew) රාජකීය උද්‍යානයේ සිට ගෙන්වන ලද පැල වර්ග මෙහි සිටුවා පේරාදෙණියේ උද්භිද උද්‍යානය ලෙසින් නම් කොට ආරම්භ වූයේ. කිව් උද්‍යානයේ සිට මෙරටට නැව් මගින් ගෙනෙන බීජ හා පැල වර්ග කොළඹ කොම්පඤ්ඤ වීදියේ හා කළුතර පිහිටි කුඩා උද්‍යාන දෙකක රෝපණය කොට පසුව පේරාදෙණියට ‍ගෙන ගිය බව සඳහන් වෙනවා. මුලින් ම අපේ රටට ගෙනා රබර් ශාකය පේරාදෙණියට ගෙන යන්නට කලින් ඒ පැල ටිකක් මෝරන තෙක් කොම්පඤ්ඤ වීදියේ උද්‍යානයෙහි තැබූ බව කියැවෙනවා. අපේ රටට රබර් ශාකය ගෙනා හැටි පර්ල් එස්. බක්ගේ ‘ගසක කඳුළු’ නම් නවකතාවෙහි දැක්වෙනවා. 

උද්භිද උද්‍යානය තුළ සැලසුම් සහගතව මල් වවා ඇති අන්දම.

අපේ රටේ මුල්ම රබර් වගාව ගම්පහ ‍අස්ගිරියේ පිහිටි හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙහි රෝපණය කළ බව සඳහන් වෙනවා. එහි මුලින් ම රෝපණය කළ ගසෙහි දැනට ශේෂව ඇත්තේ දිරා ගිය මුලක් හා එම ස්ථානයෙහි මෙරටට ගෙනා පළමු රබර් ගස රෝපණය කළ බව දැක්වෙන පුවරුවක් විතරයි. රබර් වගාව මෙහි අරඹන්නට අවශ්‍ය මූලික පර්යේෂණ සිදු කළේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙහියි. ඊළඟට පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයෙහි පැළ කළ රබර් ගස් තවමත් දැක ගන්න පුළුවන්. 

ඕකිඩ් නිවසෙහි ඇතුළත වවා ඇති ඕකිඩ් මල්

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන අතර රැජිනිය ලෙස සැලකිය හැකි පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ කොළඹ සිට කිලෝමීටර් 115ක් දුරින් නුවර පාර අසලයි. මහනුවර සිටින්නකුට නම් එහි පිවිසෙන්නට කිලෝමීටර් පහමාරක් පමණ කොළඹ දෙසට ආ යුතුයි. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව ලෙස සැලකෙන මහවැලිය මේ අපූරු උද්‍යානය තුන්පැත්තකින් වට කරමින් ගලා බසිනවා. එයින් මෙහි සුන්දරත්වය තව තවත් වැඩි කරනවා. 

මුහුදු මට්ටමින් මීටර 460ක් උසින් පිහිටි මෙහි භූමිය අක්කර 147ක්. සෑම වසරකට ම මෙම භූමියට දින 200ක වර්ෂාපතනයක් ලැබෙනවා. මෙහි දී ඔබට ශාක විශේෂ 4000කට වැඩි ප්‍රමාණයක් නම් වශයෙන් හඳුනාගන්න පුලුවන්. ඒ අතර විවිධ සපුෂ්ප ශාක විශාල සංඛ්‍යාවක් තියෙනවා. එමෙන් ම විවිධ ඕකිඩ් හෙවත් උඩවැඩියා විශේෂ, ඖෂධීය ශාක, ජලජ ශාක, තාල වර්ගයේ ශාක, වඳවී යාමේ තර්ජනයට ලක්වූ ශාක ආදිය මේ එකතුවට අයත් වෙනවා. මෙහි උණ බට ගස් වවා ඇති කොටසේ දී එක් දිනකදී ස‍ෙන්ටි මීටර් 91ක් (අඟල් 36ක්) වැඩෙන යෝධ උණ ශාකයත් දැක ගන්න පුලුවන්. විශාල ඕකිඩ් (උඩවැඩියා) මල් එකතුවක් සඳහා වෙනම විශේෂ නිවාසයක් මෙහි තියෙනවා. 


අලුතින් නිකුත් කළ දෙසියවස් සැමරුම් මුද්දර හතර

දෙසියවස් සැමරුම වෙනුවෙන් නිකුත් කළ මුල් දින කවරය

මෙහි වසර 200ක ඉතිහාසය තුළ එහි පැමිණි ලෝක නායකයන් රෝපණය කළ පැළ ඉතා විශාල ප්‍රමාණයක් මෙහිදී දැක ගන්න පුලුවන්. ඒ අතර 1901 දී මෙහි සැපත් බ්‍රිතාන්‍යයේ පස්වැනි ජෝර්ජ් රජු හා බිසව වූ මේරි රැජින රෝපණය කළ කුරුප්ටියා ගුඑනන්සිස් (Couroupita guianensis) හෙවත් ‘කාලතුවක්කු ගස’ (Cannonball Tree) ඊට අදාළ ඵලකයත් සමඟ දැකගත හැකියි. එය අපට වඩාත් හුරු සිදුහත් උපත හා සම්බන්ධ ‘සල් ගස’ කියායි. අන්තර් ජාලයේ පවා දක්වා ඇත්තේ එහෙමයි. ඒත් මේ ගස අප්‍රිකාවට ආවේණික ශාකයක්. ඉංග්‍රීසීන් තමයි, ඉන්දියාවට සහ අපට ගෙනාවේ. සිදුහත් උපත සිදුවන කාලේ ඉන්දියාවේ තිබුණු එකක් නෙවෙයි. ඉන්දියාවේ නියම සල් ශාකය වෙනස් එකක්. ඒ ගැන ලිපියක් අපි කලින් ‘මල් කැකුළු’වල පළ කළා ඔබට මතක ඇති. 

මෙම උද්‍යානය නරඹන්න සාමාන්‍යයෙන් දිනකට 5000ක් පමණ දෙනා එනවා. ඒ අතරට විදේශික සංචාරකයන් දහසක් පමණ වෙනවා. මෙය ගහකොළ ගැන ස්වාභාවිකව ඉගෙන ගත හැකි මහා විශ්වකෝෂයක් බඳු තැනක්. ශ්‍රී ලාංකිකයකු නම් ජීවිත කාලය තුළ එක්වරක්වත් මෙම උද්‍යානයට පැමිණිය යුතුයි කියලයි මට නම් හිතෙන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික ශාක සුරක්ෂණාගාරය (National Herbarium of Sri Lanka) ඇත්තේත් මේ උද්‍යානය තුළයි. අපේ වටිනා ශාක සරක්ෂණයට මේ උද්භිද උද්‍යානය විශාල මෙහෙයක් ඉටු කරනවා. ශ්‍රී මහා බෝධිය සංරක්ෂණය කරන්න විශාල කාර්යභාරයක් ඉටු කළා පමණක් නොව තවමත් ඒ ගැන විමසිල්ලෙන් ඉන්නවා. වසර 20කට පෙර ගජමන් නෝනා සම්බන්ධ දෙනිපිටිය නුගරුක කපා දැමූ පසු එහි ඉතිරිව තිබූ කොටස්වලින් පටක අරන් නව නුගරුකක් නිර්මාණය කර එතැන යළි රෝපණය කරන්නට එවකට සිටි උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දරයන් කටයුතු කළා අපට මතකයි. එවැනි කටයුතු සඳහා පර්යේෂණාගාරයක් ද උද්භිද උද්‍යානය තුළ තියෙනවා. 

පේරාදෙණියේ තල්ගස් අරණ

යටත්විජිත සමයේදී, එනම් 1844 දී මෙම උද්භිද උද්‍යානය ස්වාධීන ආයතනයක් බවට පත්කර ජෝර්ජ් ගාඩ්නර් එහි අධිකාරි වශයෙන් පත් කරනු ලැබුවා. ගාඩ්නර්ගේ අභාවයෙන් පසු 1849 දී ජෝර්ජ් හෙන්රි කෙන්ඩ්රික් ත්වේට්ස් ද ඔහුගේ ඉවත්ව යාමෙන් පසු 1879 දී හෙන්රි ට්‍රයිමන් ද එහි අධිකාරි ධුරයට පත් කෙරුණා. 1912 දී උද්‍යානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතට පැවරුණා. අද උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් වශයෙන් තමයි පාලනය වන්නේ. එහි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරිය වන්නේ ආචාර්ය ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා මෙණෙවියයි. 

දෙවන ලෝක යුද සමයේදී දකුණු ආසියාවේ ස්ථාපිත කර තිබූ මහා බ්‍රිතාන්‍යය ඇතුළු ඒකාබද්ධ මිත්‍ර හමුදාවල ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ ලුවී මවුන්ට්බැටන් සාමිවරයා යුද්ධය මෙහෙය වූයේ මෙම උද්‍යානය ඔහුගේ අණදෙන මූලස්ථානය කර ගෙනයි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

1 Comments