HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කුසලාන දෙකක් ම එක විට දිනා පෑ විස්මිත දස්කම!

“පළමුවෙනි මැච් එක පරාදයි! මුල් වටයෙන්ම එළියෙ කිව්වා...මුල් සුපිරි 4ට එන්නෑ කිව්වා... අන්තිම මැච් එකේදි ටොස් එක පැරදුනා...50ට 5ක් ගියා. පිස්සු හැදෙන සඳ! මේක ශ්‍රී ලංකාව නෙ! කප් එක අපේ!” මෙවර ආසියානු කුසලාන අවසානයේ ලාංකික ක්‍රිකට් ලෝලියෙක් මුළු තරඟාවලියම එකට සම්පිණ්ඩනය කරමින් අදහස් දක්වුයේ එහෙමයි. 

ආසියානු ක්‍රිකට් ශූරතා කුසලාන දිනූ දසුන් චානකගේ කණ්ඩායම

ඇත්තෙන් ම විස්මයජනක දෙයක් සිද්ධ වුණේ. ඒ විස්මය දකින්න ඩුබායි සහ සාජා ක්‍රීඩාංගනවලට ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් රැස් වුණා. ඒක අපේ අයට ලොකු ශක්තියක් වුණා. ශ්‍රී ලාංකිකයන් විතරක් නොවෙයි ඔවුන්ගේ මිතුරු අනෙක් රටවල අයත් අපට ජය පතා කෑ ගහනවා අපි දැක්කා. අපේ කණ්ඩායම පළමු තරඟයෙන් පරාජය වුනත් ඊට පස්සේ එකම තරඟයක්වත් පැරදුණේ නැහැ. අරාබිකරයේ රටවල ඉඳලා පැය 16ක් 17ක් තිස්සේ බස්වල මහත් වෙහෙසක් ගෙන තරඟ බලන්න ආ ප්‍රේක්ෂකයෝ ඒ ගැනත් මතක් කරමින් තමයි, අපේ කණ්ඩායමට සතුට පළ කළේ. 

අපේ ක්‍රිකට් පිල මැදපෙරදිගදි ප්‍රබල පාකිස්ථාන පිල ‍පිට පිට දෙවරක් ම පරාද කරලා ආසියානු ක්‍රිකට් කුසලාන දිනා ගන්න කොට, අපේ දැල්පන්දු කණ්ඩායම රටවල් 11ක් සහභාගි වූ ආසියානු දැල්පන්දු ශූරතාව සඳහා එහි සියලු ම තරඟ ජයගනිමින් අවසානයේ දී සිංගප්පූරුවේ දී සිංගප්පූරුව පරාද කරලා ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගන්න සමත් වුණා. මේ ජයග්‍රහණ දෙකම එක විට සිදුවීම විස්මයජනක දෙයක්. 

ආසියානු කුසලාන තරඟාවලියේ අවසානයේ ක්‍රීඩා කුසලතා අනුව ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවියක් වන ESPNcricinfo තෝරන හොඳම කණ්ඩායමට අපේ ක්‍රීඩකයන් හතර දෙනකු ම ඇතුළත් කරලා තියෙනවා. කුසල් මෙන්ඩිස්, භාණුක රාජපක්ෂ, දසුන් චානක(නායක), වනිඳු හසරංග යන හතර දෙනායි. ඒ කණ්ඩායමට ඇතුළත් ඇති අනෙක් අය වන්නේ ඉන්දියාවෙන් විරාට් කෝලි හා බුවනේෂ්වර් කුමාර් යන දෙදෙනාත්, පාකිස්ථානයෙන් මොහොමඩ් නවාස්, හැරිස් රවුෆ් හා නසීම් ෂා යන තිදෙනාත්, ඇෆ්ඝනිස්ථානයෙන් රාමනුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා) ඊබ්‍රාහිම් සඩ්රාන් යන අයත්ය. 

මෙවර ආසියානු කුසලාන නොයෙක් ආකාරයේ දස්කම්වලින් පිරී තිබුණා. දෙගිඩියාවෙන් පිරුණු අන්තිම ඕවරයේ තීරණය ලැබුණු තරඟ හයක් තිබුණා. ශ්‍රී ලංකා‍ව තරඟ කළ හැම තරඟයක් ම ප්‍රේක්ෂකයන්ට අවසන් මොහොත තෙක් තරඟකාරීත්වයේ අත් දැකීම් නොමඳව ලබා දුන්නා. ක්‍රීඩා ලෝලීන් හැම දෙනා ම කීවේ මෙවන් ආස්වාදයක් ලබා දුන් තරඟවලියක් මින් පෙර නොවූ වීරූ බවයි. 

තරඟාවලිය අතරතුර තවත් අලුත් දෙයක් අපි දක්කා, ඒ අපේ ප්‍රධාන කෝච් (පුහුණුකරු) ක්‍රිස් සිල්වර්වුඩ් ක්‍රීඩාගාරයෙ එයාගේ මේසය මත රහස් සංකේත කීපයක් ප්‍රදර්ශන කරනවා, කණ්ඩායම පිටියෙ පන්දු රකිද්දි අපේ කැප්ටන්ට බලා ගන්න. විස්තර විචාරකයො ඒක පෙන්නලා හිනා වුණා, මේක පාපන්දු ද? ක්‍රිකට් ද? අහලා. ඒ ගැන හොයලා බැලුවාම දැන ගන්න ලැබුණා. ඔය උපක්‍රමය සිල්වර්වුඩ් 2020 එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙලා ඉඳිද්දීත් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග තරඟයේ දී භාවිතා කරලා තියෙන බව. එදා එංගලන්ත නායක මෝගන් කියා තියෙන්නේ ‘ඒකෙ වරදක් නෑ. එයා ඒ වෙලාවෙ තත්වය ගැනයි කියන්නේ. අපට අවශ්‍ය තීරණයක් ගන්න.’ කියලයි. 

ඒක ගැන පසුව අහපුවම සිල්වර්වුඩ් කියන්නේ මෙහෙම දෙයක්: “ඒක ක්‍රිකට් විද්‍යාවට අයිති දෙයක් නෙවෙයි. අනිත් කණ්ඩායම්වල අයත් මේ වගේ දේවල් කරනවා. ඒක තමන් පිටියේ පන්දු රකින අවස්ථාවේ දී පවතින තත්වය අනුව නායකයාට කටයුතු කළයුතු ආකාරය ගැන අදහසක් පළ කිරීමක් විතරයි, නායකයාට කණ්ඩායම මෙහෙයවන හැටි කියා දීමක් නොවෙයි.” සිල්වර්වුඩ් කියන දෙයෙහි වැදගත්කමක් තියෙනවා. ඒක හොඳ උපක්‍රමයක්. නායකයාට වැඩිපුර ශක්තියක් ලැබෙන වැඩක්. ඒ ගැන අප සිල්වර්වුඩ්ට ප්‍රශංසා කළයුතුයි. 

ආසියානු කුසලාන දිනුවට පස්සේ අපේ නායක දසුන් චානක මුලදි සමාජ මාධ්‍යජාලා තමන්ට දැක්වූ අශුභවාදී අදහස්වලට ප්‍රතිචාරවලට දැක්වූ ආකාරය හරිම අපූරුයි. ඔහු කාගේවත් සිත් නොරිඳවා තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කළේ හරිම සංයමයෙන් ඔහු ඒ අදහස් දැක්වීම කළේ මෙහෙමයි.

සිල්වර්වුඩ් රහස් සංකේත දැක්වූ හැටි

 “මට කියන්න තියෙන්නේ ක්‍රීඩකයන් විශ්වාස කරන්න කියලා විතරයි. පසුගිය කාලෙ ගොඩක් නරක දේවල් සිද්ධ වුණා. ක්‍රීඩකයන්ට වැරදුණා ම බණින්න එපා! ක්‍රීඩකයන් විදියට ඔවුන් ඔවුන්ගේ ජීවිතය විඳින්න ඕනෑ. ක්‍රීඩකයන් ගැන නරක දේවල් පතුරුවන්න එපා! ඔවුන්ට කියලත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ප්‍රධාන ම දේ තමයි, ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීම. නායකයකු විදිහට මම හැමවිටම මගේ ක්‍රීඩකයන් විශ්වාස කරනවා. ඊට එහා දෙයක් මම එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනව හැමෝම මා සමඟ එකඟ වේවි කියලා.” චානක කීවේ එහෙමයි. එතැනින් නොනැවතුනු ඔහු මෙහෙමත් කිව්වා: 

“පසුගිය වසර කිහිපයේ සිට අපේ ක්‍රීඩකයන් හොඳින් දස්කම් දැක්වූවා. ඒත් අවාසනාවකට වාගේ අපිට තරඟ ජයග්‍රහණය කරන්න ලැබු‍ණේ නැහැ. ඒත් දැන් අපි මාවතකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ජයග්‍රහණය අපිට හැරවුම් ලක්ෂ්‍යයක් ‍වේවි කියලා. මේ විධියට ගියොත් තව අවුරුදු 5ක් 6ක් යන විට අපි හුඟක් හොඳ තත්වයක ඉඳීවි කියලා මට හිතෙනවා.” ඔහු ඉදිරියටත් ක්‍රීඩක කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් සමාජ මාධ්‍යවලට සහතිකයකුත් දුන්නා. 

දසුන් චානකගෙන් සිල්වර්වුඩ්ට කේක් කැල්ලක්.

නායකත්වය එක එක තාලෙට එනවා. සමහර නායකයෙක් ඉදිරියෙන් යනවා. අනුගාමිකයන් ඔහු පස්සෙන් යනවා. තවත් නායකයෙක් පස්සෙන් ඉඳන් අනුගාමිකයන් දක්කනවා. තවත් නායකයෙක් පිරිසත් එක්ක එකට ඉදිරියට යනවා. ඒත් ඔහුත් තමන් නායකයා බව ඉරියවුවලින් පෙන්වනවා. ඒත් දසුන් චානක ඒ හැමටම වඩා වෙනස්. ඔහු පිටිය මැද දී ක්‍රීඩකයන් හැසිරවීම වුනත් තමා කැපී පෙනෙන්න කරන්නේ නැහැ. උසින් අනිත් ක්‍රීඩකයන්ට වඩා වැඩි වුනත් ඔහුත් ක‍ණ්ඩායම සමග මුසුවෙලයි නිතරම ඉන්නෙ. ඒ වුණාට ඔහු කණ්ඩායම අපූරුවට මෙහෙයවනවා. වැරදුණොත් ඔහු තනියම වගකීම බාර ගන්නවා. දිනුවොත් වගකීම කණ්ඩායමට පවරනවා. ඒ නිසා කණ්ඩායමේ සහය සියයට සීයක් ඔහුට ලැබෙන බවයි පේන්නේ. 

ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඇතුළු අපේ පුහුණුකරුවන්ගේ සහය දසුන් ඇතුළු ක්‍රීඩකයන්ට නො අඩුව ලැබෙනවා. දසුන් චානක ඒ සියල්ල ම හොඳින් හසුරුවනවා. ඒ නිසා අප ඔහු ගැන විශ්වාසය තැබිය යුතුයි කියලයි මං හිතන්නෙ. දසුන්ව සොයා ගන්න කලින් අපි නායකයන් කීප දෙනකු ම යොදා ගත්තා ඔබට මතක ඇති. දැන් දසුන් වයසත් එක්ක දිගු ගමනක් යන්න පුලුවන් කෙනෙක්. ඇත්තටම නං මට හිතෙන්නේ අපේ රටටත් දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වගේ නායකත්වයක්. ‍

තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

අපට මෙහිදි අමතක නොකළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහයි. ඔහු 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ හිටි වේගවත්ම පන්දු යවන්නා. ගිය වසරේ මුල දී අසන්ත ද මැල් තේරීම් කමිටුවෙන් ඉවත්වීමෙන් පසු එ් පදවිය බාර ගත් ප්‍රමෝද්‍ය ඒ වෙලාවේ ආන්දෝලනාත්මක තීන්දු තීරණ කීපයක් ම ගත්තා. ඒ වන විට අපේ කණ්ඩායමේ හිටි පළපුරුදු ක්‍රීඩකයන් පැත්තකින් තියලා නවක තරුණ පිරිසක් තේරුවා. එදා ඔහු කීවා මේ තරම් නවක කණ්ඩායමක් එක්ක ගිහින් තරඟ දිනන්නෙ කොහොමද කියලා කවුරුත් මට බනියි. ඒත් මේ තරම් තරුණ කණ්ඩායමක් තෝරන්නෙ අනාගතය බලලා. දැන් බැන්නාට එදාට මට හොඳ කියයි. එහි ප්‍රතිඵල වැඩි කල් නො යාම ලැබීම ගැන අප සතුටු විය යුතුයි. 

2022 ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන දිනූ ගයාංජලී අමරවංශගේ කණ්ඩායම

අපේ රට බංකොලොත් වෙලා කියලා ලෝකෙටම ප්‍රකාශ කරලා තියෙන වෙලාවක, එහෙම වුනත් අපි ක්‍රීඩාවලින් බංකොලොත් නෑ කියලා ලෝකෙට පෙන්නපු, දුකෙන් හිටපු ජනතාවගේ මුහුණට සිනා රැල්ලක් ගෙනාපු, දසුන් ශානකගේ කණ්ඩායමටත්, ගායංජලී අමරවංශගේ කණ්ඩායමටත් එළඹෙන ලෝක කුසලාන තරඟ සඳහා තරඟ කර අප රටට කීර්තියක් අත් කර දීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 

ඒ ගමන සාර්ථක කර ගැනීමට යන ගමනට හරස් වන, සමාජ මාධ්‍ය හරහා ක්‍රීඩාව ගැන පළ කරන අදහස් ගැන පරිස්සම් වෙමු. එසේ අදහස් පළ කරන විට ක්‍රීඩකයන් පෙළන ද්වේශ සහගත ප්‍රකාශ පළ නො කර සිටිමු. ඒ වගේ එවැනි පොස්ට් ශෙයාර් නො කර සිටීමට වග බලා ගනිමු. 

- පර්සි ජයමාන්න 



Post a Comment

0 Comments