Wednesday, September 14, 2022

හංස විලා - ජවනිකා අංක එක


ස්ථානය: මිදුල

මව මල් පැලයකට පෝර දමයි... හංසි සෙමින් අසලට පැමිනෙයි...

හංසි : අම්මේ... 

අම්මා : මොකද?

හංසි: මං ගස් ඔක්කොටම වතුර දැම්මා...

අම්මා: හුම්

හංසි: අම්මේ..
(ඇගිල්ලෙන් බිම හාර හාර ඇඹරෙයි )

අම්මා: ඇයි?

හංසි: අරයා කිව්වා හෝමාගමට අලුත් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා කියලා... අපි දෙන්නා ෆිල්ම් එක බලන්ඩ ගිහින් එන්නද?

අම්මා : මොන ෆිල්ම් ද මේ වයසට... මිනිස්සු හිනස්සන්නේ නැතුව මෙන්න මේ ගෙදරට වෙලා ඉදපන්... අයියා වගේ පැලයක් හිටෝපන්..

හංසි: අනේ අම්මේ...

අම්මා: අනේ බනේ නෙවෙයි... රවුන් ගහන වයසක්ද මේක... ගෙදර මෙච්චර වැඩ තියෙද්දි රවුන් ගහලා පුළුවන් ද

(හංසි මූන දික් කරගෙන තාත්තාට ලං වෙයි..)


හංසි: තාත්තේ... අපි යන්නද

තාත්තා: උඹලගේ අම්මා කියන එකක් තමයි...

(නිවසේ සිටින පියාගේ තනිකඩ අක්කා පැමිනෙයි)

නැන්දා: මොකද මල්ලි මේ කුටු කුටුව?

අම්මා: මේ ලමයා ජොඩු දාලා ෆිල්ම් බලන්ඩ යන්ඩ අහනවා අක්කේ...

නැන්දා: හප්පොච්චියේ...(කම්මුලට අත තබාගනියි)

හංසි: ඉතින් මං වැරදි ගමනක් යන්ඩ ඇහුවේ නෑනේ..

නැන්දා: මේ පරම්පරාවේ ගෑනු කවුරුවත් ඔහොම ගමන් ගිහින් නෑ... හොද නම තියාගෙන හිටියා... රටේ එකෙක්ට පද හදන්ඩ බැරිවෙන්ඩ... අපේ හබරකඩ වල⁣වේ අත්තම්මා හිටියා නම්.... උන්දැගේ පපුව පැලෙනවා මේවා අහලා....

(පියා අහල පහල කවුරුන් සිටිදැයි වටපිට බලයි...)

නැන්දා: මල්ලිලා හොදයි දරුවෝ හදලා තියෙන විදිය!

අම්මා: මේ ලමයා තමයි අක්කේ මේ හිතුවක්කාර.. ලොකු ලමයා නම් අපි කියන දේකට පිටින් යන්නේ නෑ...

හංසි: ඔක්කෝටම හොද අයියා විතරයි..මං තමයි නරක...

(ආත්තම්මා මිදුලට පැමිනෙයි)

ආත්තම්මා: මොකද මොකද මේ සද්දේ... මට අරහෙට ඇහුනා...

නැන්දා: අම්මේ මේ බලන්ඩකෝ... මේ හංසි චිත්‍රපටි බලන්ඩ යන්ඩ හදනවා අර හලාවත ළමයා එක්ක...

ආත්තම්මා: හෑ.... මොන විලිසං ගේ  නැති වැඩක් ද ඒක.. මේ වයසේ ගැනු දරුවෝ ඒ වගේ වලත්ත ගමන් යනවද

හංසි: එහෙම නරක ගමනක් නෙවෙයි.. හෝමාගමට යන්නේ..

ආත්තම්මා: පෙනෙද මේකි හැදිලා තියෙන විදිය... වැඩිහිටියෝ දැනමුතුකම් දෙනකොට උත්තර බදින්ඩ එනවා...

(මව පියා සියල්ල ම හංසිට ඔරවයි...)

ආත්තම්මා: මේ ලගට වරෙන් උඹට මේවා කියලා දෙන්ඩ.. 

(හංසි ඇඩුම් සිරකරගෙන ආත්තම්මාට ලං වෙයි..)

ආච්චි: හංසියෝ... පිරිමි ජාතිය හෙනට සටකපටයි... උන්ට හැමතිස්සේම මදන විසේ..... 

(පියා පිට ව යයි)

ආත්තම්මා: අපේ කාලේ ගෑනු බොහෝම පරිස්සමින් හිටියේ.. උඹලාගේ සීයා එක්ක වුනත් එහෙම මෙහෙ ගියේ නැ මං... ගියත් ඈතින් ගියේ...
අනික චිත්‍රපටි සල්පිල්  වලට ගියාම ගෑනු දරුවන්ට කරදර වෙනවා... ඕකා යන ගමන් ඇගට ගොඩ වෙන්ඩ බලන්නේ.. උඹේ කසාද මිනිහා කියලා ඕකට වැඩිය අතපත ගාන්ඩ ඉඩ දෙන්ඩ එපා... ඔය ජවුසන් නැටිල්ල අමතක කරලා මෙන්න මෙහෙට වෙලා මට ඇහෙන්ඩ බුත්සරණ පත්තරේ කියවපන්!

හංසි: හරි හරි අපි කාමරේට වෙලා ඉන්නම්...

5 comments:

  1. මේවගේ පෝස්ට් වලට කියන්නේනේ ,බල්ලා පිදුරු කන්නෙත් නෑ.කන ගොනාට දෙන්නෙත් නෑ.... කියලා. කොටින්ම පෑලියාවට දාන පෝස්ට්

    ReplyDelete
  2. මේක කියවල දැක්කේ නෑ වගේ යන්න ඕනෙ :D

    ReplyDelete
    Replies
    1. හංසි........ ඔය ජවුසන් නැටිල්ල අමතක කරලා මෙන්න මෙහෙට වෙලා මට ඇහෙන්ඩ බුත්සරණ පත්තරේ කියවපන්!

      Delete
  3. උඹලගේ අම්මා කියන එකක් තමයි.....
    ape gedara wage

    ReplyDelete
  4. //උඹේ කසාද මිනිහා කියලා ඕකට වැඩිය අතපත ගාන්ඩ ඉඩ දෙන්ඩ එපා.//
    හෙහ්හෙ. එතකොට ආච්චි ළමයි හැදුවේ...... 😄😂

    ReplyDelete