මහ රැජිනගේ සමුගැනීම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 12, 2022

මහ රැජිනගේ සමුගැනීම

ස්කොට්ලන්තයේ දී ඇබර්ඩීන් අගනුවර, බැල්මෝරල් මාලිගයේ දී සමාදානයේ සැතැපුණු එංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජින තරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජකු හෝ රැජිනක හෝ වත්මන් ලෝකයේ ඇත්තේ ම නැත. ඒ අනුව ඇය වසර 70 කුත් දින 214 ක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ලෝක ඉතිහාසයට එක් වන්නීය. 

ඇය ඇගේ මිත්තණිය වූ වික්ටෝරියා මහ රැජිනට වඩා වසර 6ක් වැඩියෙන් රජකම් කර තිබේ. ඇයට මේ වාසනාව හිමි වුණේ බලාපොරොත්තු නොවූ ආකාරයේ සිදුවීම් කීපයක් නිසාය. වත්මන් ලෝකයේ ඉතා දිගු කලක් සිහසුන දරා සිටියේ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජුය. දෙවන එලිසැබත් රැජින ලොව දිගු කලක් සිහසුන දැරූ රාජ්‍ය නායිකාව බවට පත් වූයේ එතුමාගේ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුවය. 

පසුගිය සැප්තැම්බර් 8 වැනි දා ස්කොට්ලන්තයේ දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇගේ ඒ දිගු රාජ්‍ය කාලය අවසන් විය. ඒ වන විටත් දිවියේ 96 වසර ගෙවමින් සිටි ඇය සක්‍රීයව රාජ්‍ය කටයුතුවලට දායක වී සිටියාය. සැප්තැම්බර් 5 වැනි දා තෝරා ගනු ලැබූ නව බ්‍රිතාන්‍ය අගමැතිවරිය ලෙස එලිසැබත් ට්‍රස් පත් කිරීම මහරැජිනගේ අවසන් වැදගත්ම රාජකාරිය විය. 

එලිසැබත් මහ රැජින යටතේ වින්ස්ටන් චර්චිල්, ඇන්තනි ඊඩ්න්, මාගරට් තැචර්, හැරල්ඩ් මැක්මිලන්, ඇලෙක් ඩග්ලස්-හෝම්, ජෝන් මේජර්, ටෝනි බ්ලෙයා, ඩේවිඩ් කැමරන්, ගෝඩ්න් බ්‍රවුන්, ස්කොට් මොරිසන්, බොරිස් ජොන්සන් ඇතුළු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 15 දෙනකු සේවය කර ඇත. එක්සත් රාජධානියේ පමණක් නොව කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 32ක රාජ්‍ය නායිකාව වූ ඇය මිය යන විට රාජ්‍ය 15ක මහ රැජින ලෙස පිළිගනු ලැබිණි. 

දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ රජ මාලිගාවක නොවෙයි; ඇය උපදින විට එංගලන්තයේ සිටි කිසිවකු ඇය රාජ්‍යත්වයට පත්වේ යැයි සිතුවේ නැත. නමුත් ඇගේ දෛවය විස්මයජනක ලෙස ඇය සිහසුනට කැන්දා ගෙන ආවා යැයි කීවොත් එය නිවැරදිය. 

දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ 1926 වසරේ අප්‍රේල් 21 වැනිදා ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේදීය. එය මාලිගාවක් හෝ විශාල වතුයායක මන්දිරයක් හෝ රෝහලක් හෝ නොව. ලන්ඩනයේ ජනාකීර්ණ වීථියක පිහිටි නාගරික තට්ටු නිවාසයකි. 

මේ තට්ටු නිවාසයේ පදිංචිය සඳහා ඇගේ දෙමාපියන් පැමිණියේ ඇය ඉපදීමට සති කීපයකට පෙරය. මේ නිවාසය අයත් වූයේ, ඇගේ මුත්තණුවන් වූ ස්කොට්ලන්තයේ ස්ට්‍රැත්මෝර් හි ආදිපාදවරයා හා එම දේවියටය. එදා කුමරියගේ මාපියන්ට අතමිට සරු නොවූ නිසා මෙසේ මුත්තණුවන්ට අයත් තට්ටු නිවාසයට පදිංචියට යාමට ඔවුන්ට සිදු විය. 
ඇය එකල බ්‍රිතාන්‍ය කිරුළ දරා සිටි රජුගේ දෙවැනි පුතාගේ දියණිය වූ බැවින්, බ්‍රිතාන්‍ය කිරුළ ඇයට හිමිවෙතැයි ලොව කිසිවකු එදා සිතුවේ නැත. එහෙයින්‍ දෙවන එලිසැබත් රැජින උපන් නිවස රැක ගන්නට අවශ්‍යතාවක් ඒ කාලයේ කිසිවකුටත් තිබුණේ ද නැත. 

කුඩා කළ එලිසැබත් කුමරුගේ පවුලේ අය ඇය හැඳින්වූයේ 'ලිලිබට්' යන සුරතල් නමිනි. 1936 වසරේ දෙසැම්බරයේ එලිසබත් කුමරියගේ දෛවය වෙනස් විය. ඒ, ඇගේ මාමා අටවැනි එඩ්වඩ් රජු ආදරයේ නාමයෙන් රජ කිරුළ අත්හැරීමත් සමඟය. 

අටවැනි එඩ්වඩ් රජු ආලය කළේත් පසුව විවාහ වූයේත් දෙවරක් දික්කසාද වුණු ඇමෙරිකන් කාන්තාවක වන වොලිස් සිම්ප්සන් සමඟය. අටවැනි එඩ්වඩ් රජු රජකම අත්හැරීමත් සමඟ එලිසැබත් කුමරියගේ පියා හය වැනි ජෝර්ජ් රජු ලෙස කිරුළු පැලඳීය. ඒ වනවිට එලිසැබත්ගේ වයස අවුරුදු 10 කි. 

ඒ අනුව, රජ කිරුළේ මීළඟ උරුමකරු බවට එලිසබත් කුමරිය පත්වූවාය. එයින් වසර 3 ක් ගතවෙද්දී, මහා බ්‍රිතාන්‍යය නාසි ජර්මනිය සමඟ යුද්ධයකට පැටැලී සිටියේය. එලිසැබත් කුමරිය සහ ඇගේ නැගණිය මාග්‍රට් කුමරිය වැඩි කාලයක් ගත කළේ වින්ඩ්සර් මාලිගයේය. 

18 හැවිරිදි එලිසැබත් කුමරිය මෝටර් රථ කාර්මික ශිල්පය ඉගෙන ගත්තාය. එලිසැබත් කුමරිය දෙවන ලෝක යුද සමයේ දී හමුදාවේ ස්වේච්ඡා සේවයේ යෙදී ඇත. ඒ ට්‍රක් රථ රියැදුරකු හා මිකැනික් (මෝටර් කාර්මික ශිල්පියකු) කෙනකු හැටියටය. ඒ අනුව, හමුදා සේවයේ යෙදුණු රජ පවුලේ එකම සාමාජිකාව ඇයයි. 

දෙවැනි ලෝක යුද සමයේ එලිසැබත් කුමරිය, රාජකීය නාවික හමුදාවේ සේවය කළ ඇගේ තුන්වන ඥාති සොහොයුරා ද වූ ග්‍රීසියේ පිලිප් කුමරු සමඟ පෙම් හසුන් හුවමාරු කර ගත්තාය. දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය මල්පල ගැන්වී 1947 නොවැම්බර් 20 වැනිදා වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේදී විවාහ වූ අතර, කුමරුන්ට එඩින්බරෝ ආදිපාද පදවිය ලැබුණි. අවුරුදු 99ක් ආයු වළඳා පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූයේ පසුගිය 2021 වසරේය. ඒ, විවාහ වී වසර 74 ක් සපිරෙද්දීය. 

පිලිප් කුමරු ඇගේ ශක්තිය සහ ජීවනය විය. ඔහුගේ අභාවය එලිසැබත් රැජිනට තදින්ම දැනුනා විය හැකිය. පසුගිය මාස කීපයේ ඇගේ සෞඛ්‍යය පිරිහීයෑමට එක් හේතුවක් වන්නට ඇත්තේ ද එයයි. එලිසැබත් රැජින සහ පිලිප් කුමරුන්ගේ පළමු පුතු චාල්ස් කුමරු 1948 දීත්, පළමු දියණිය ඈන් කුමරිය 1950දීත්, දෙවැනි පුතු ඇන්ඩෘ කුමරු 1960දීත්, තෙවැනි පුතු එඩ්වඩ් කුමරු 1964 දීත් උපත ලැබූහ. ඔවුන් අතර ඔවුන් තම දෙමාපියන්ට මුණුබුරන් අට දෙනෙකු සහ මී මුණුබුරන් 12 දෙනකු ද ලබා දුන්හ. 

එලිසැබත් රැජිනගේ අභාවයෙන් පසු චාල්ස් කුමරුන්ට රජකම හිමිවිය. ඒ අනුව, චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ කිරුළ දරන්නේ තෙවැනි චාල්ස් රජු නමිනි. 1952 වසරේ දී එලිසැබත් කුමරිය සිටියේ කෙන්යාවේ සංචාරය නිරතව ය. ඇයට ඇගේ රෝගී පියා ගැන දුක්මුසු පුවත අසන්න ලැබුණේ එවිටය. පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි හය වැනි ජෝර්ජ් රජු අභාවප්‍රාප්ත විය. 
ඇය සැමියා පිලිප් කුමරුන් ද සමඟ ලහිලහියේ යළි ලන්ඩනයට පැමිණියාය. ඒ, බ්‍රිතාන්‍ය රුජින ලෙස රජකම බාර සඳහාය. ඇය රජ පදවියට පත්වූයේ 1952 පෙබරවාරි 6 වැනිදාය. වසරකට පසු 1953 වසරේ ජූනි 2 වැනිදා ඇගේ කිරුළු පැලඳීමේ මෞලි මංගල්‍යය පැවැත්විණි. ඒ, වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුරේය. 

පසුගිය 8 වැනිදා ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ දී අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසැබත් මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට දස දහස් ගණනකගේ සෝසුසුම් මැද එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙන ඒම ආරම්භ වූයේ පසුගිය 10 වැනිදා ය. දේහය පිළිබඳ අවසන් කටයුතු 19 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 
මහ රැජිනගේ අවමංගල්‍යය ලබන 19 වැනිදා උදෑසන 11 ට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී පැවැත් වීමට නියමිත බවත්, එදින විශේෂ නිවාඩු දිනයක් ලෙස ද නම් කර ඇති බවත් බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 

෴ ලුසිත ජයමාන්න
   Daily Mail ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom