සභාපති කුසලානය නුගේගොඩින් පිළියන්දලට

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය 2022

488

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ සභාපති කුසලානය සඳහා වන අවසන් මහා තරගය නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අතර අද (09) පැවැත්වුණේ කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දීයි.

එම තරගයෙන් හිටපු ශූරයින් වන සාන්ත ජෝන් ක්‍රීඩකයින් ලකුණු 32-10ක් ලෙස පරාජය කරමින් සභාපති කුසලානය ජයග්‍රහණය කිරීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වුනා.

සභාපති කුසලානයේ වත්මන් ශූරයින් වූ සාන්ත ජෝන් ක්‍රීඩකයින් තරගයේ ලකුණු ලබා ගැනීම දඬුවම් පහරකින් ආරම්භ කළ අතර එම අවස්ථාව සාර්ථකව අවසන් කළේ ජෝන් ක්‍රීඩක ශිවන්ත නාරද විසිනුයි. (සාන්ත ජෝන් 03-00 පිළියන්දල)

සාන්ත ජෝන් ක්‍රීඩකයින්ගේ එම දඬුවම් පහරට පිළිතුරු ලෙස පිළියන්දල ක්‍රීඩක වික්‍රමසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන අවස්ථාව ජී. ධනුශ්ක විසින් සාර්ථකව අවසන් කරන්නට සමත් වුනා. (සාන්ත ජෝන් 03-07 පිළියන්දල)

සාන්ත ජෝන් ක්‍රීඩකයින්ට වැඩි පීඩනයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට පිළියන්දල ක්‍රීඩක එන්. මෙන්ඩිස්ට හැකි වූ අතර ඉන් කෙටි වේලාවකට පසුව නැවතත් ක්‍රියාත්මක වූ ඔහු 26 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වුනා. (සාන්ත ජෝන් 03-17 පිළියන්දල)

35 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ පිළියන්දල නායක ඩී. නන්දිනු විසින් සිය කණ්ඩායමේ සිව්වැනි උත්සාහක දිනුමත් වාර්තා කළේ පළමු අර්ධයේ පෙරමුණ සිය කණ්ඩායමට ලබා දෙමිනුයි. (සාන්ත ජෝන් 03-22 පිළියන්දල)

පළමු අර්ධය: සාන්ත ජෝන් විද්‍යාලය 03 (1P) – 22 (4T, 1C) පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

පළමු අර්ධයේ සිදු වූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් පිටියට පිවිසි සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ප්‍රවීන් ජනිත් විසින් රැස් කරද්දී, ශිවන්ත නාරද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (සාන්ත ජෝන් 10-22 පිළියන්දල)

නමුත් 45 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ පිළියන්දල ක්‍රීඩක වී. ජයසංක සිය කණ්ඩායමේ පස්වැනි උත්සාහක දිනුම වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ. (සාන්ත ජෝන් 10-27 පිළියන්දල)

තරගය අවසන් වීමට සුළු වෙලාවක් තිබිය දී සිය කණ්ඩායමේ හයවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කිරීමට පිළියන්දල ක්‍රීඩක ගජනායකට හැකි වුනා.

ඒ සමඟින් Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ සභාපති කුසලානය හිටපු ශූරයින් පරදවමින් තමන් සතු කර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් 10 (1T,1C,1P) -32 (6T, 1C) පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්,

  • සාන්ත ජෝසප්: ශිවන්ත නාරද (1C,1P), ප්‍රවීන් ජනිත් (1T)
  • පිළියන්දල: වික්‍රමසිංහ (1T), ජී. ධනුෂ්ක (1C), එන්. මෙන්ඩිස් (2T), ඩි. නන්දිනු (1T), වී. ජයසංක (1T), ගජනායක (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<