HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය අපට පෙන්වන විස්මිත රූ!

නාසා ආයතනය විසින් උඩුගුවනට යවා ඇති නවතම අභ්‍යවකාශ දුරේක්ෂය වූ ජේම්ස් වෙබ් මෙතෙක් නුදුටු අමුතු දසුන් අපට ලබා දෙමින් තියෙනවා. කලින් දිනක මා ඔබට කීවා, බෘහස්පතීගේ මෙතෙක් නුදුටු දසුන් එවා ඇති බව. දැන් කියන්න යන්නේ එසේ එවූ පෘථිවිය බඳු නව ග්‍රහ ලොවක දසුනක් ගැනයි. මුලින් ම මේ ග්‍රහයා අප දැක ඇත්තේ, පෘථිවිය මත සවිකර ඇති දුරේක්ෂවලිනුයි. ඒත් එහි වඩාත් පැහැදිලි දසුන් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් දැන් අපට දැක ගත හැකි වී තියෙනවා. 

වෙබ් දුරේක්ෂය එවූ දත්ත අනුව සැකසුණු බහිර්ග්‍රහයා

විද්‍යාඥයන් විසින් HIP 65426 කියා හඳුන්වා ඇති, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 385ක් ඈතින් පිහිටි මේ බහිර්ග්‍රහයා (exoplanet) අපේ පෘථිවියට වඩා වයසින් අඩු ග්‍රහ‍යෙක්. මේ සොයා ගත් නව ග්‍රහයාගේ වයස වසර මිලියන 15ත් 20ත් අතර වෙතැයි සැල‍කේ. අපේ පෘථිවියේ වයස වසර බිලියන 4.5ක් වෙනවා. 

මේ ග්‍රහයා මුලින් ම තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබුවේ 2017 දීයි. ඒ චිලි රටේ සවි කර ඇති දක්ෂිණ යුරෝපීය ආකාශ නිරීක්ෂණාගාරයට (European Southern Observatory) අයත් දැවැන්ත දුරේක්ෂය යොදා ගෙනයි. ඒත් පෘථිවිය කරා එන දිගු තරංග ආයාම පෘථිවි වායුගෝලය විසින් අතර මග දී වළක්වන නිසා මෙය අපට හරි හැටියට දැක ගන්නට ලැබුණේ නැහැ. එදා මෙය දැක ගත හැකි වූයේ එහි සවි කර ඇති කෙටි තරංග හඳුනා ගත හැකි ස්පියර් (SPHERE) නමින් හැඳින්වුණු උපකරණය යොදා ගෙනයි. 

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙහි සවි කර ඇති නිර්කැම් (NIRCam) කියා හඳුන්වන අධෝරක්ත කිරණ තෙක් ආසන්න ආලෝක කිරණ හසු කර ගත හැකි ප්‍රබල කැමරාවත්, මධ්‍ය අධෝරක්ත කිරණ හසුකර ගත හැකි එම්අයිආර්අයි (MIRI) කැමරාවත් යොදා ගෙන අවට විහිදෙන තරුකාලෝක කිරණ මඟ හරවා ගෙන ඒ බහිර්ග්‍රහයාගේ ආලෝක කිරණ හසු කර ගැනීමට මේ අති නවීන කැමරා සමත් වෙලා තියෙනවා. 

මේ නිරීක්ෂණයට නායකත්වය දුන්, ඇමරිකාවේ සැන්ටා කෲස්වල කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අපේක්ෂකයකු වූ ආරියන් කාටර් කියන්නේ මේක හරියට ම ‘අභ්‍යවකාශයේ නිදන් හෑරීමක් වැනි වැඩක්’ කියලයි. 

නාසා ආයතනයේ වෙබ් දුරේක්ෂය පසුගිය දා ඈත අභ්‍යවකාශයේ තිබී හඳුනා ගත් බහිර්ග්‍රහයකුගේ 
පිළිබිඹු එව්වා. මෙහි ඇති දුරේක්ෂවලට වඩා අති නවීන තාක්ෂණයෙන් යුතු උපකරණවලින් 
අපට තොරතුරු එවූ අයුරු මේ රූ සටහනෙන් දැක්වෙනවා.

නාසා ආයතනය හඳුනාගෙන ඇත්තේ මේ ග්‍රහයා වායු යෝධයකු (gas giant) ලෙසයි. පෘථිවියෙහි මෙන් පාෂණමය බිමක් එහි නැති නිසා එහි ජීවීන් සිටිය නොහැකියි. 

මේ වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට තාක්ෂණික හැකියාව තියෙනවා, අභ්‍යවකාශය සිසාරා විමසුම් කරද්දී, බාධාවකින් තොරව දීර්ඝ අධෝරක්ත තරංග ආයාම හසුකර ගන්න. 

මේ දවස්වල පර්යේෂකයන් දිවා රෑ නොබලා වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබා ගත් දත්ත විශ්ලේෂණය කරන්න වෙහෙසනවා. ඊළඟට ඒ තොරතුරු විමර්ශනය කර අධ්‍යයන වාර්තාවක් සකසනවා. දැනට ලබාගෙන ඇති තොරතුරු විමර්ශනය සඳහා සමීපදස්ථ කණ්ඩායම්වලට තවමත් යොමු කර නැහැ. 

මේ ආකාරයට වෙබ් දුරේක්ෂය විසින් පළමුවරට හසුකර ගත් බහිර්ග්‍රහයාගේ ඡායාරූපයෙන් අපට පැහැදිලිව පෙනී යනවා, අනාගතයේ දී දුරස්ථ ග්‍රහ ලෝක අධ්‍යයනයට අපට ඉඩ සැලැසෙන බව. මේ නව බහිර්ග්‍රහයා වූ HIP 65426 පිහිටා ඇත්තේ එය අයත් වූ තරුවට ඇති දුරට වඩා අපේ හිරුගේ සිට පෘථිවියට ඇති දුර මෙන් 100 ගුණයක් දුරින් බව. 

මේ විධියට ඉදිරියේ දී බහිර්ග්‍රහයන් රැසකගේ රූප මේ දුරේක්ෂය මගින් පොළොවට එවනු ඇති. ඒ නිසා අනාගතයේ දි ලොව පුරා විද්‍යාඥයන්ට සක්වළ තතු සොයන්නට කාලය වැඩිපුර මිඩංගු කිරිමට සිදු වනු ඇති. මේ නව දුරේක්ෂයට සවි කර ඇති උපකරණ අනුව අපේ සක්වළ බිහි වූ දා මේ දක්වා සිදු ඕනෑම දෙයක් එදා නිකුත් වූ ආලෝක තරංගවලින් හඳුනා ගෙන ඒ දත්ත පොළොවට එවන්නට හැකියාව තියෙනවා. මෙය හඳුන්වන්නේ විශ්වයේ සැඟවුණු රහස් හෙළිදරවු කළ හැකි විශ්ව කාල යන්ත්‍රයක් (time machine) හැටියටයි. 

ඇමරිකාවේ නාසා ආයතනය විසින් මෑත දී ඈත අභ්‍යවකාශයේ රැඳ වූ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සඳහා නාසා ආයතනය ඇමරිකන් ඩොලර් බිලියන 10ක් එනම් ශ්‍රී ලංකන් රුපියල්වලින් නම් බිලියන 3550ක් වැය කොට තියෙනවා. මෙය සලකනු ලබන්නේ අතීතය දැකිය හැකි විශ්වකර්ම ඇසක් හැටියටයි. මේ දුරේක්ෂයට වසර බිලියන 13.5ක් අතීතයට ගොස් බැලීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මේ දුරේක්ෂයට තරුවල පමණක් නොව, බහිර්ග්‍රහයන්, චන්ද්‍රයන් ආදියේත්, අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ ‍ලෝකවල අතීතය දකින්නත් පුලුවන්. ලෝකයේ විශාලතම හා බලවත්ම දුරේක්ෂය වූ මෙයට මේ විශ්වය බිහිවූ බිග් බෑන් නම් මහා පිපිරුමෙන් පසු වසර මිලියන 100-200ත් අතර කාල පරාසයක අතීතයට යාමේ හැකියාව තියෙනවා. 

බහිර්ග්‍රහයා ගේ ඡායාරූපය

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය හා එහි උපකරණ දළ වශයෙන් කෙල්වින් 40ක උෂ්ණත්වයකට එනම් ෆැරන්හයිට් -387ක (සෙල්සියස් -233ක) උෂ්ණත්වයක පවා ක්‍රියාත්මක වෙනවා. මෙය මීට කලින් යැවූ හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂයට වඩා 100 ගුණයක් ප්‍රබලයි. නාසා ආයතනය කියන්නේ මෙය හබ්ල් දුරේක්ෂය වෙනුවට යැවූ එකක් නොව එයට අමතරව යැවූ වැඩි දියුණු කළ එකක් බවයි. තාමත් හබ්ල් දුරේක්ෂයෙන් වැඩ ගන්නා විද්‍යාඥයන් ලොව පුරා ඉන්නවා. 

හබ්ල් දුරේක්ෂය උඩු ගුවනට යැව්වේ වසර 32කකට ඉස්සර 1990 අප්‍රේල් මාසේ 24 වැනිදායි. ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලය තමයි, ඒක උඩු ගුවනට අරන් ගියේ. එය පොළොවේ සිට සැතැපුම් 340ක් ඉහළ ආකාශයේ තමයි රඳවා තියෙන්නේ. එය පැයට හැතැප්ම 17,000ක (පැ.කී.මි. 27,300ක) වේගයකින් පෘථිවිය වටා යනවා. 

මේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය රඳවා තියෙන්නේ පොළොවේ සිට කි.මී. මිලියන 1.5ක් (සැ. මිලියනයක්) ඉහළ අභ්‍යවකාශයේ ලැග්රැන්ජ් (lagrange point) ලක්ෂ්‍ය‍ය ලෙස හැඳින්වෙන දුරින් පිහිටි ආකාශ වස්තූන් දෙකක ගුරුත්වය එකිනෙක කැපී ශූන්‍ය වෙන තැනකයි. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments