HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ ලොකුම ග්‍රහයාගේ මෙතෙක් ‍නුදුටු විස්මිත රුවක්!

ඔබ දන්නවා නේ, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා බෘහස්පති බව. බෘහස්පතිගේ මෙතෙක් නුදුටු හරි අපූරු ඡායාරූපයක් නාසා ආයතනය පසුගිය දා නාසා ආයතනයේ බ්ලොක් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළා.

පසුගිය කාලේ අපට මේ තරම් ළං වෙලා බෘහස්පති දිහා බලන්න ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් තාක්ෂණික අතින් අපි ලබා තියෙන දියුණුව නිසා බෘහස්පති ග්‍රහයාගේ මින් පෙර අපට දකින්න නොලැබුණු ආකාරයේ දර්ශන මතුකර ගන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. 

නව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ගත් ජුපිටර් (බෘහස්පති) ගේ පිළිබිඹුවලට, ඒ ග්‍රහයාගේ යාන්තමට 
පේන රිදී පැහැති වළලු, දීප්තිමත් ආලෝක ධාරා, දිළිසෙන කුණාටු ආදිය හසු කර ගෙන ඇත. ඊට අයත් 
චන්ද්‍රයන් දෙදෙනා වූ ඇමල්තියා (වමේ ඈතින් දිදුලන තිත) හා ඇඩ්‍රස්ටියා (ග්‍රහයාගේ වළලුවල 
මුදුනේ දිදුලන තිත) මෙහිදි දැක ගන්න පුලුවන්.

මෙම ඡායාරූපය හරහා දකින්න ලැබුණි. ධ්‍රැවීය ආලෝකයෙන් සහ දිදුලන වලාකුළුවලින් බෘහස්පති දීප්තිමත්ය. බෘහස්පතිගේ මෙම ඡායාරූපය තනි ඡායාරූපයක් ලෙස නාසා ආයතනය ප්‍රසිද්ධියට පත් කළත්, මෙම තනි ඡායාරූපය ආලෝකයේ විවිධ තරංග ආයාම කීපයකින් ලබා ගත් ඡායාරූප කීපයක එකතුවකි. 

මෙම අපූරු ඡායාරූපයේ බෘහස්පති පමණක් නොව, බෘහස්පතිගේ චන්ද්‍රයන් දෙදෙනකු වන ඇමල්තියා සහ ඇඩ්‍රස්ටියා ද වෙයි. මේ චන්ද්‍රයන් දෙදෙනා, වායු යෝධයකු වන බෘහස්පතිගේ කක්ෂය පහළින් ආලෝකයෙන් දිප්තිමත්ව පෙනෙයි. බෘහස්පතිගේ පෙනෙන නොපෙනෙන වළලුත් දිදුලයි. බෘහස්පතිගේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවවල උතුරු සහ දකුණු ආලෝක දිස්වන්නේ දීප්තිමත් සුදු පැහැති ගිනිදැල් මෙනි. 

‘ඇත්තම කියනවා නම්, මේ විදියට බෘහස්පති දකින්න අප බලාපොරොත්තු වුණේ නැහැ.’ යැයි තාරකා විද්‍යාඥ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉම්කේ ද පැටර් පවසන්නේ මහත් උද්යෝගයකිනි. 

නාසා ආයතනයෙන් අභ්‍යවකාශයට යවන ලද අලුත් දුරේක්ෂය වූ ජේම්ස් වෙබ් මගින් දැනටමත් අභ්‍යවකාශයේ ඈත පිහිටි වස්තූන්ගේ විචිත්‍ර පිළිබිඹු රැසක් එවා ඇති අතර එය නොකඩවා සිදු වෙයි. මෙම අභ්‍යවකාශ දුරේක්ෂය පිහිටුවීමට නාසා ආයතනයට යුරෝපීය අභ්‍යවකාශ ආයතනයත් (ESA), කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයත් (CSA) හවුල් වී තිබේ. 

මේ සමඟ පළ වෙන බෘහස්පතීගේ අලුත්ම ඡායාරූප සකසා ගැනීමට මහාචාර්ය පැටර්ට, පැරීසියේ ග්‍රහලෝක නිරීක්ෂණාගාරයේ මහාචාර්ය තියර් ෆූචේගේ සහය ද ලැබී ඇත. මේ ඡායාරූප පිළිබිඹු ගැනීමට යොදා ගෙන ඇත්තේ අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇති අධෝරක්ත කිරණ භාවිත කළ හැකි කැමරාවකි. ඉන් ගන්නා පිළිබිඹු මිනිස් ඇසට දැකිය හැකි වර්ණ බවට පෙරළා ගනු ලබයි. ඒවා දිගු තරංග ආයාම රතු වර්ණයෙන්ද, කෙටි තරංග ආයාම නිල් වර්ණයෙන්ද දැක්වේ. වසර දහස් ගණනක් පැරණි බෘහස්පතීගේ යෝධ රතු ලපය හිරු එළියෙන් දිලිසෙන නිසා මෙහි පෙනේනේ සුදු පැහැයෙනි. මෙම ලපය ප්‍රමාණයෙන් පෘථිවියට වඩා විශාලය. 

“මෙහි දැක්වෙන දීප්තියෙන් පෙන්නුම් කරන්නේ යෝධ රතු ලපය පිහිටි කලාපයේ පවා සමකයේ මෙන් වැඩි උසකට වලා පටලය විහිදි ඇති බව” යයි වෙබ් දුරේක්ෂයේ සේවය කරන සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ විශේෂඥ හයිඩි හැමල් කියයි. “මෙහි ඇති දිදුලන සුදු ලප හා රේඛාවලින් පෙනෙන්නේ සංවාහක වලාකුළු කැටි මතට වැටෙන දීප්තිමත් හිරු එළිය පරාවර්තනය වන අයුරුයි” ඇය වැඩි දුරටත් කියයි. 

පෘථිවියේ දී මෙන් ම බෘහස්පතීගේත් ඉහල වායුගෝලය සූර්යයාගෙන් එන අංශුවලින් ආලෝකධාරා නිකුත් කිරීම් සිදුවේ. ඒ අනුව නව ඡායාරූපවල එහි උතුරු හා දකුණු ධ්‍රැවවල ආලෝක දර්ශනය වීම් දැක ගත හැකියි. 

ජේම්ස් වෙබ් දුරේක්ෂය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ජේම්ස් වෙබ් යනු ඇමෙරිකාවේ 'නාසා' ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය එක් වී, වසර 24 ක් තිස්සේ නිපදවා අභ්‍යවකාශයේ රැඳවූ දුරේක්ෂයකි. මිනිසා අභ්‍යවකාශයට යැවූ විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය වන්නේ ද මෙයයි. දුරේක්ෂය නිපදවීමට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කට ආසන්නය. 

'ජේම්ස් වෙබ්' දුරේක්ෂය, කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇති වන අයුරින් අති නවීන තක්ෂණයෙන් නිපදවූවකි. ඒ අනුව, එම ආලෝකයේ මුල මැද සහ අවසානය පැහැදිලිව හඳුනා ගැනීම කළ හැකි වෙයි. 

රතු, කහමුසු කොළ හා නිල් (cyan) පෙරණ යොදා ගෙන, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ගත් බෘහස්පතිගේ පිළිබිඹුවලින් සකසාගත් සේයා රුවක්. මෙහි යෝධ රතු ලපය සුදට පෙනෙන්නේ 
යෝධ කුණාටු වලා පෙළක් පරාවර්තනය මගින් හිරු එළිය ඒ මත පතිත කරවූ නිසයි.

තවත් පැහැදිලි කළොත්, හිරුගෙන් (හිරු ද තරුවකි.) නිකුත් වන ආලෝකය පෘථිවියේ අපට දකින්න ලැබෙන්නේ මිනිත්තු 8 කට පසුවය. ඒ, එම ආලෝකය පෘථිවියට ළඟා වීමට මිනිත්තු 8 ක් ගතවන බැවිනි. අප හිරුගේ ආලෝකය ලෙස දකින්නේ මිනිත්තු 8 ක් පැරැණි ආලෝකයයි‍. 

'ජේම්ස් වෙබ්' දුරේක්ෂයට තරු, මන්දාකිණි, ග්‍රහලෝක ඇතුළු ග්‍රහ වස්තූන්ගෙන් නිකුත් වන මුල් ආලෝකය අධ්‍යයනය කිරීමේ හැකියාව තිබේ. ඒ කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය හසු කර ගැනීමෙනි. මේ සඳහා අවශ්‍ය රන්වන් දර්පණ පද්ධතියක් දුරේක්ෂය සතුය. විශ්වය මූලාරම්භයේ රහස් සොයා ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණ වෙයි. 'ජේම්ස් වෙබ්' දුරේක්ෂය වැදගත් වන්නේ මේ නිසාය. 

-  ලුසිත ජයමාන්න 

ලයිව් සයන්ස් ඇසුරිනි 

Post a Comment

0 Comments