SLC Blues අවසන් මහා තරගයට ලං වෙයි

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

363

2022 SLC ආරාධිත විස්සයි විස්ස ලීගයේ තවත් තරගයක් ඊයේ (10) රාත්‍රියේ දී නිමා වුනා.

SLC Blues සහ SLC Greys අතර පැවති එම තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් වුනු Blues කණ්ඩායම නොකඩවා දෙවැනි තරගයත් ජයගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පෙරමුණ ලබා ගත්තා.

ඒ අනුව Greys කණ්ඩායම අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීම සඳහා තබා තිබූ බලාපොරොත්තු ද අහිමි වීමේ වැඩි අවදානමකට ලක්ව තිබෙනවා. Greys වගකීම් විරහිත පිතිහරඹයත්, අනවශ්‍ය කඩුලු අතර දිව යෑම් Greys අසාර්ථකත්වයට හේතු වුනා.

රාත්‍රියේ දී මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් Greys කණ්ඩායම Blues අභියෝගය හමුවේ නියමිත පන්දුවාර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 115ක් ලබා ගත්තා. එම අභියෝගය පහසුවෙන් හඹා ගිය Blues පිතිකරුවන් කඩුලු 6ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමින් සිය ඉලක්කය සපුරා ගත්තා.

කණ්ඩායම් දෙකම එක් වෙනස්කම බැගින් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වූ අතර Blues කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක වෙනුවට ලහිරු උදාර මේ තරගයට කැඳවන විට, Greys කණ්ඩායම ලක්ෂාන් ගමගේ වෙනුවට දුවිඳු තිලකරත්න හට මේ තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දුන්නා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • SLC Blues – චරිත් අසලංක (නායක), ලහිරු උදාර, සදීර සමරවික්‍රම (WK), ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුශාන්, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ඩිල්ශාන් මදුශංක
  • SLC Greys – අශාන් ප්‍රියන්ජන් (නායක), අශාන් රන්දික, තනුක දාබරේ, සංගීත් කුරේ, මිනෝද් භානුක (WK), මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ, පුලින තරංග, මිලාන් රත්නායක, දුවිඳු තිලකරත්න, අකිල දනංජය

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් Greys ආරම්භක පිතිකරු රන්දික මුළු ලකුණු සංඛ්‍යාව 9ක්ව තිබිය දී දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුවත්, දාබරේ සමඟ එක්වූ කුරේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවයක් එක් කරමින් කණ්ඩායම ශක්තිමත් කළා.

මැනවින් පන්දුවට පහර දුන් දාබරේ සහ කුරේ Greys ලකුණු පුවරුව ඉහළ දමමින් සිටිය දී ඒ මැදට පැමිණි චාමික කරුණාරත්න කුරේව ලකුණු 21ක් ලබා සිටිය දී දවා ගැනීමට සමත් වුනා.

8 වැනි පන්දුවාරයේ දී කුරේ දැවී යාමත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වුණු Blues පන්දු යවන්නන් ලකුණු 24ක් ඇතුළත පිතිකරුවන් ලෙස නම් දරා සිටි සියල්ලෝම තරග නරඹන්නන් බවට පත් කළා.

මදුශාන් විසින් දාබරේව ලකුණු 31ක දී දවා ගැනීමෙන් පසු පැමිණි ජයවික්‍රම පන්දු 4ක් ඇතුළත දී මිනෝද් භානුක සහ සුබසිංහගේ කඩුලු දවා ගනීමින් Greys ලකුණු සටහනට වැඩි පීඩනයක් එක් කළා.

ඔවුන්ගේ කඩුලු පිට කඩුලු දැවී යද්දී එය නවතාලීම පමණක් නොව අවශ්‍ය වේගය ද රඳවා ගැනීම Greys නායක ප්‍රියන්ජන්ගේ කර මතට වැටුණා. එහෙත් කඩුලු අතර දිව යෑමේ දී සිදු වූ අතපසුවීමක් හේතුවෙන් නායක ප්‍රියන්ජන්ට ද අකමැත්තෙන් වුවද පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

අවස්ථාව ලද මොහොතේ දී පිතිකරණයෙන් සහයෝගයක් ලබා දිය හැකි පිතිකරුවන් ලෙස නම් දරා සිටින පුලින ස්ටම්ප් කිරීමකට ද, අකිල කඩුලු අතර දිව යෑමට ගොස් දැවී යෑම නිසා Greys පිලට යළි හිස එසවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් 10 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි තිලකරත්න ලකුණු 11ක් ලබා සිය අන්තය ආරක්ෂා කර ගැනීම නිසා Greys ලකුණු පුවරුව ලකුණු 115ක් දක්වා ඉහළ නැගුණා. Greys ඉනිම සුන්කර දැමූ ජයවික්‍රම පන්දුවාර 4 තුල ලකුණු 13කට කඩුලු 3ක් දවා ගැනීම තරගයේ කැපී පෙනුණා.

හඹා යෑමේ දී සිය පළමු පන්දුවාරයේ දී ම සමරවික්‍රමව දවා ගත් තිලකරත්න, යම් පීඩනයක් සිය ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීමට සමත් වුනා. අසලංක ඇතුළු ඉදිරි‌ පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම නිසා කඩුලු 3කට ලකුණු 102ක් තරම් ප්‍රබල තත්ත්වයක පසුවීමට Blues කණ්ඩායමට හැකියාව ලැබුණා.

එහෙත් මිලාන් ඇතුළු Greys පන්දු යවන්නන් තවත් ලකුණු 11ක දී කඩුලු 3ක් දවා ගනිමින් පීඩනයක් එල්ල කළත්, සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට නොහැකි වීම නිසා Blues ජයග්‍රහණය වළකාලීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

තරගයේ වීරයා – ප්‍රවීන් ජයවික්‍රම

තරගාවලියේ තවත් තරග දෙකක් මේ මස 13 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<