Thursday, July 21, 2022

කළු රත්තරන් කියන්නේ ඉල්ලමක්


තෙල් කියන්නේ පොල්තෙල් වලට නෙවෙයි. තෙල් කියන්නේ පෙට්‍රල් නැත්තම් අලුත් ජාතියේ ආයෝජන අවස්ථාවකට. කළු රත්තරන් වලට  මෙච්චර වටිනාකමක් කවදාවත් තිබිලා නෑ. මීට අවුරුදු  2-3ට කලින් ෂෙඩ් එකක් ගාවින් යනකොට මතක් වෙන / කල්පනා කරන විකාර දේවල් තමයි කොච්චර ලොකු ටැංකි මේ පොලව යට ඇද්ද..  ඒව කවදා ඉවරවෙයිද.. සුද්ද කරන්නේ කොහොමද.. වගේ සාමාන්‍ය මෝඩ ප්‍රස්න ... ඒ වුනාට දැන් අපි හිතන්නේ...නෑ වැරදුනා..දැන් අපි හිතන්නේ නෑ... දැන් අපි දන්නවා ෂෙඩ් ගැන සෑහෙන්ඩ දේවල්. තෙල් එන බවුසරෙක කැපැසිටි එකේ ඉදන් ගමේ ෂෙඩ් එකේ ඩීසල් ටැංකිය පෙට්‍රල් ටැංකිය කොයි එකද,  වේ⁣ගෙන් ම තෙල් වදින පොම්පේ මොකක්ද, තෙල් බාන්ඩ යන වෙලාව, ඇත්තටම ෂෙඩ් එක අයිති කාටද, සමූහ ව්‍යාපාර කියන්නේ මොනාද වගේ අතිශ්‍යය කාලීන තෙල්මය දැනුමින් අපි හැමෝම මාර විදියට අප්ඩේට්.

කොරොනා වලින් පස්සේ ගෙදර ඉදන් වැඩ කරන්ඩ පුළුවන් ෆීල්ඩ් එකක ජොබ් එකක් කරන නිසා හැමදාම බයික් එකේ කොළඹ යන එක නැවතුනා. ඒත් ලේසියට බයික් එකේ යන ගමන් අඩුවුනේ නෑ... ඉතින් මෙච්චර දරුණු තෙල් අර්බුදේ ලොකුවට දැනෙන්ඩ ගත්තේ ලගම යාළුවෙක්ට බයික් එක දෙන්ඩ වුනාට පස්සේ... ලීටර් 5ක විතර ටැංකියක් තියෙන ස්කූටියක් පදින ඌ සතියට දෙපාරක් විතර තෙල් ගහන්නේ ඌගේ රස්සාව ම සයිට් වලට යන එක නිසා... අරන් පලයන් කියන පුරුද්ද වෙනුවට තෙල් බලලා ගනින් කියන්ඩ උනේ මගදි නතර වුනාම තල්ලු කරන්ඩ යන්ඩ වෙන නිසා...


පැය 10ක් බයික් පෝලිමක ඉදලා රු.2500ක තෙල් ගහගෙන ගෙදර ඇවිත් සතියක් යද්දි  යාළුවා එකෙනුත් ටිකක් අරන් ගියා.. කිලෝමීටරයක් විතර දිග පෝලිමක දවස් 2ක් තිස්සේ ඇවිත් ෂෙඩ් එක ලගට ආවම තෙල් ඉවර වෙන්නේ අපේ කාලකණ්නිකමට වඩා ගමේ පෝලිමේ හයිය වැඩි නිසා... අන්තිමට මුල් 20ට ඇවිත් නතර වුන නිසා බයික් එතන එහෙමම තියෙද්දි මාරුවෙන් මාරුවට පෝලිමේ හිටියා... දවස් 6ට පස්සේ ටෝකන් එකක් දීලා ⁣ඔය ළමයි ගෙදර යන්ඩ කිව්ව දවසේ ඉදන් ආයේ පෝලිමට ගියේ නෑ. කරන්ට් එකයි ඉන්ටර්නෙට් එකයි තියෙනකොට වැඩ කරන්ඩ පුළුවන් නිසා ගැටළුවක් නැතිවුනත් මිනිස්සු  7-8 දෙනෙක් ට රස්සා දෙන නිසා යාළුවා කොහොමහරි ගිහින් තිබ්බේ ලීටරයක් 2500ගානේ අරන්.


 අලුතින් ම ආපු QR Code එකෙන් සලාක ක්‍රමයට තෙල්දෙන එක වෙලාවේ හැටියට මාර වටින දෙයක්.... හැමෝටම පොඩ්ඩක් හරි හමුබුවෙන වනම් ඒක සහනයක්. තෙල් ගහන්ඩ කලින් ස්කෑන් කරලා ඒ ප්‍රමානෙට තෙල් ගහන සිස්ටම් එකට කැමති නැති, ඒකෙන් කෙල වෙන කට්ටිය ගොඩක් ඉන්නවා..
වැඩි ගානට විකුනන අය වගේම බූලි වලට පුරවන අයටත් මේක කරදරයක්.. හැදීගෙන ආපු ඒ මජර සංස්කෘතිය මෙකෙන් ඉවර වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරමු.

මේ අදින්නා දානා තෙල් භූතයෝ ටික අයින් කරගන්ඩ බැරි වුනොත් අන්තිමට අපිට කරන්ඩ වෙන්නේ දේශානුරාගේ ලීටරේකට සංස්කෘතියෙන් මිලිලීටර් 50ක් වගේ දාලා වාහන පදින්ඩ.

3 comments:

  1. ඔබ නැවතත් ලියන්නට පටන් ගෙන!
    සඳකඩ පහන සින්ඩියේ අපට මෙතරම් සතුට ගෙන දෙන තවත් ආරංචිය නැති තරම්! පසුගිය වසර 3 කට අධික කාලයක් නොලියවුනු ඔබගේ පන්හිඳ නැවත ලිවීම ඇරඹීම බ්ලොග් පාඨකයන්ගේ මහත්වූ සතුටට හේතුවක් වේවි.
    දැණට අවකාශයේ පවතින වඩත්ම සක්‍රීය හා වඩාත් පුළුල් පරාසයක් පුරාවට විහිදී ගිය සින්ඩිය වන සඳකඩපහන සින්ඩිය යනු තවත් බ්ලොග් අඩවි 1200 කට අධික සංඛ්‍යාවකට පා නැගිය හැකි පියගැට පෙලක ආරම්භක ද්වාරයයි!
    මෙතෙක් කලක් "පුරාවස්තු වසර 1 - 3 නොලියවුනු" කොලමේ දක්වා තිබූ ඔබගේ බ්ලොග් අඩවිය මේ වනවිට බ්ලොග් සඟරා"කොලමට එක් කොට ඇති බව සතුටින් දන්වා සිටින්නෙමු!
    ඔබගේ බ්ලොග් අඩවිය තුල අපගේ සින්ඩියට කිසියම් ප්‍රචාරණයක් ලබාදෙන්නේ නම් එය ඉමහත් උදව්වක් ලෙස අප දකිමු!

    ReplyDelete