ජනවරම කරේ තබා ගෙන යා හැකි තරමට සුජාත ද?

අද වඩාත් වර නැගෙන වචනය ජනවරම යන්න ය. එය වඩාත් දැඩි ලෙස භාවිතා වූයේ රනිල්ගේ අගමැති හා වැඩබලන ජනාධිපති ප්‍රාප්තිය හෑල්ලු කරනු සඳහා ය. අද එය ඔහුගේ ජනාධිපති ප්‍රාප්තිය සාධාරණීකරණය කරනු සඳහා ප්‍රතිපක්ෂය විසින් ද භාවිතා කරන්නට පටන් ගෙන තිබේ. එක ම කාරණය ප්‍රතිවිරුද්ධ ලෙස භාවිතා කිරීමේ පුදුම හැකියාවක් තර්කයට තිබේ.

හෑල්ලු කරනු සඳහා ගෙනෙන තර්ක අතර තිබෙන්නේ ඔහුට සිය ආසනය පවා ජය ගන්නට බැරි වූ බවත් එසේ වූ ඔහු පක්ෂයට ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය යොදා ගනිමින් “හොර” පාරෙන් පාර්ලිමේන්තුවට පැමිණි බවත් ය. සාධාරණීකරණය කරනු සඳහා ඉදිරිපත් වන තර්කය නම් ඔහු පත් වන්නේ ජනවරමක් ඇතුව පැමිණි මන්ත්‍රිවරුන්ගේ නීත්‍යානුකූල ඡන්දයෙන් බවත් ඒ නිසා එය ව්‍යවස්ථානුකූල වනවාට අමතර ව නව ජනවරමක් සහිත බවත් ය.

සමහරු කරේ තියාගෙන වටේ යන, තවත් අය ප්‍රතිවාදියාට පහර දීම පිණිස භාවිතා කරන, තවත් අය නැතිව ම බැරි යයි සිතන මේ ජනවරම ඇත්තට ම කුමක් ද?

මේ ජනවරම වනාහි ඊනියා බැංකු “හොරෙකු” ගෙදර යැවූ නිසා අතිශය ප්‍රබල ලෙස පෙන්වා ඉහළ ලංසුවක් තැබිය හැකි වූ ද ඒ බැංකු හොරා ඇල්ලූ කෝප් කමිටුවේ සභාපති පැරදවීම හරහා දෙකේ කොළයට පහළ ගියා වූ ද අටමගලයකි.

ඊට දිය හැකි ආසන්න ම ලාංකික අර්ථ කථනය නම් අපරාධ නඩු ගණනාවක් තියෙන අපේක්ෂකයින් (හොරකම්, මැරකම්, වංචා හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා රාශියක් තිබෙන, ඇතැම් තැනක ඒ නිසා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටින, අපේක්ෂකයින් පවා) ඉතා ඉහළ මනාපයෙන් තෝරා පත් කර ගැනීමට ලැජ්ජාවක් හෝ බියක් නැති මිනිසුන් රැලක් විසින් කරන අපූරු පරිත්‍යාගයක් යන්න ය.

ජනතාවට අභිප්‍රායයන් තිබේ. ඒවා බොහෝමයක් සාධාරණ විය හැකි ය. ඒ අතුරින් සමහර ඒවා එක කණ්ඩායමකට වාසියක් සලසන අතරේ තව කණ්ඩායමකට අවාසියක් සලසන ඒවා විය හැකි ය. ජනවරම ලැබෙන්නේ බහුතරයකට වාසිදායක තැන හිට ගැනීමෙන් පමණකි. ඇතැම් තැනක ඒ නිසා සුළුතරය අතිමහත් පීඩාවන්ට ලක් වෙන බව ජනවරම වෙනුවෙන් නොසලකා හැර තිබේ. ඒ නිසා ජනවරමක් තිබේ ද යන්න පමණක් නොව ඒ ජනවරමේ සුජාත භාවය ද ප්‍රශ්න කළ යුතු ය.

ජනතාවට ඇත්තේ අභිප්‍රායයන් පමණක් නොවේ. ඔවුන්ට ඒ අභිප්‍රායයන් ජය ගත හැක්කේ කෙසේ ද යන්න ගැන මතයක් ද තිබේ. ඒ සඳහා කළ යුත්තේ කුමක් ද යන්න ගැන පමණක් නොව ඒ සඳහා වුව නොකළ යුත්තේ කුමක් ද යන්න ගැන ද ඔවුන්ගේ අදහසක් තිබේ. ඔවුන්ගේ කී පමණින් ඒවා ඔවුන්ගේ නොවන බවත් ඒ ඔවුන් තුළ ඇති කර තිබෙන එකක් මිස ඔවුන් තනිව ම හදා ගත් දෙයක් නොවන බව ඇත්ත ය. එහෙත් ඔවුන් විසින් එය ඔවුන්ගේ කර ගෙන තිබෙන නිසා ඔවුන්ගේ ම බව ද අප විසින් පිළිගත යුතු ව තිබේ. ජනවරම ලබා ගැනීම සඳහා අභිප්‍රායයන් පමණක් නොව එම වැඩ පිළිවෙළ ද වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. ඒවා පරස්පර වුව ද ඒවා වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. වැඩ පිළිවෙළ හරහා ගොස් අභිප්‍රායන් ඉටු කර ගැනීමට බැරි වුව ද ඒ ගැන කිසිවක් නොකියා ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. උදාහරණයක් ලෙස ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම වැනි මිනිසුන් අකමැති වැඩ රාශියක් කළ යුතු වුව ද ඒවා නොකරන බව කිව යුතු ය. ඒවැනි සංවේදී ඒවා හංගා, ආර්ථික අර්බුදය වෙනුවෙන් තඩි බෑමට වෙනත් සුදුසු මුව හමක් තෝරා ගත යුතු ය. එහෙම කරන්නට ඉදිරිපත් වන එකා ට ජනවරම ලැබෙන්නේ ය. ඒ නිසා ද ජනවරමේ සුජාත භාවය ප්‍රශ්න කළ හැකි ය.

ජනතාවට පෞද්ගලික සිල්ලර වුවමනාවන් තිබේ. වහලෙට ටකරමක්, පාරට බෝක්කුවක්, පොඩි එකාට ජාතික පාසලක්, බිරිඳට මාරුවක්, ලොකු එකාට රස්සාවක්, තමන්ට වැලි පර්මිට් එකක්, බලපත්‍රයක්, ව්‍යාපාරික අවස්ථාවක්, කොන්ත්‍රාත් එකක් ලෙස මේ ලයිස්තු දිග හැරෙන්නේ ය. ඒ ඔ්නෑම එකක් (සුදුසුකම් පැත්තකට දමා) කර දෙන්නේ නම් ජනතාව ජනවරමක් ලබා දෙන්නේ ය. ඒවා ගැනෙන්නේ අල්ලස් හැටියට ය. ඒ නිසා ද ජනවරමේ සුජාත භාවය ප්‍රශ්න කළ යුත්තේ ය. සිස්ටම් චේන්ජ් කරන්නට උත්සහ කරන්නේ නම් විශේෂයෙන් ප්‍රශ්න කළ යුත්තේ ය.

ජනතාව තමන්ගේ එකෙකු ද පරයෙකු ද යැයි කිසිවෙකු හඳුනා ගන්නා ක්‍රමයක් තිබේ. ජනවරම සඳහා එය ද බලපාන්නේ ය. තමන්ගේ ජාතියට, කුලයට, ආගමට අයත් නම් ද ඒ අනන්‍යතා වෙනුවෙන් නිර්ලජ්ජීව පෙනී සිටින්නේ නම් ද ඒ ලක්ෂණ ඇඳුම තුළ, හැසිරීම තුළ, වචන තුළ, පරම්පරාව තුළ, පෙනෙන්නේ නම් ද ඔවුන් එවැනි අයට මනාප ය. ඩලස් සිය දශක ගණනාවක දේශපාලන ඉතිහාසයේ ශේෂ පත්‍රයේ බැලන්ස් එක ලෙස පෙන්වා දෙන්නේ තමන් බුලත් විට කන විදුහල්පති වරයෙකුගේ පුතෙකු බව ය. වෙන කිසිවක් ගිණුමේ නැති වුව ද ඒ වචන හද කම්පනය කරනු තරම් ප්‍රබල ය. ජනතාව එයින් තේරුම් ගත යුත්තේ තමන්ගේ නියෝජිතයන් විසින් පරාජය කරනු ලැබ තිබෙන්නේ “අපේ” මිනිහෙකු බව ය.

ලංකාවට බොහෝ අභියෝග මැද නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් කන්නංගර මහතා ආසනයෙන් පරදවා, ආසනය තුළ කුඩා පාසලක් ඉදි කළ කෙනෙකුට ජනවරම ලබා දීමට මිනිසුන් ක්‍රියා කළ දුරාතීතයක් ද අපට තිබේ. ජනවරම ගැන නැවත සිතා බැලීමට මේ සියල්ල ප්‍රමාණවත් මදි ද?

මේ කියන්නේ ජනවරම වැදගත් නැතැයි කියා ද? එය තුට්ටුවකට නොසැළකිය යුතු යැයි කියා ද? ඒ වෙනුවට වෙනත් විකල්පයක් ඇතැයි කියා ද?

නැත. කිසිසේත් නැත. ඒත් මේ සටහන පැහැදිලිව ම කියන්නේ ජනවරම ඉතා සුජාත එකෙකැයි කියා මොහොතකටවත් නොසිතිය යුතු බව ය. එය ඉතා ඉහළින් සැළකීම සහ එය කර තබා ගෙන වටේ යෑම අශෝභන බව ය.

ජනවරමේ සැබෑ ස්වභාවය ඒ අටමගලය කර තබා ගෙන අයට වැටහීමට නම් තවත් මැතිවරණයක් තැබිය යුතු ය. එයට තවත් කාලයක් ගත වෙතැයි සිතන නිසා මා යෝජනා කරන්නේ ඔය කරේ තබා ගෙන යන එක අවබෝධයෙන් යුතු ව බිමින් තබන ලෙස ය.

ඒ අතර ජනවරම බුද්ධිමත් එකක් කිරීම සඳහා අප විසින් විශාල වැඩ කොටසක් කළ යුතු ව තිබෙන්නේ ය. අවලාද හා ඒක පාක්ෂික නියෝග පනවනු වෙනුවට සංවාද ගොඩ නැගිය යුතු ව තිබෙන්නේ ය. ආවේගවලට ආමන්ත්‍රණය අවම කොට බුද්ධියට ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළ යුතු ව තිබෙන්නේ ය.

ජනතාවට ඉවක් තිබෙන බව ඇත්ත ය. ඒ ඉව ඇත්තේ යමක් වූ පසු එයින් තමන්ට කෙළ වූයේ ද නැද්ද යන්න නිශ්චය කිරීමට ය. ගෝඨාගේ පාලනය ඉදිරියට යන විට ඔවුන් තුළ අවදි වූයේ ඒ ඉව ය. අරගලය ගොඩ නැගුණේ ඒ ඉව විසින් මෙහෙයවනු ලැබීමෙනි. එහෙත් ඔවුන්ට තවමත් තමන්ට දිගු කාලීන ව ඉදිරියට යා හැක්කේ කුමන මාවතේ ද යන්න ගැන පැහැදිලි අදහසක් නැත. ඒ නිසා තවත් කාලයක් ඔවුන් රවටමින් ජන වරම දිනා ගැනීමේ හැකියාව “කළු බලවේග” සතු ය.

අප සටන් කළ යුත්තේ එය වෙනස් කිරීමට ය. ජනතාව හැදෑරීමට පෙළඹවීමට ය. ඔවුන් දැනුමෙන් බලාත්මක කිරීමට ය. ඒ සඳහා ජනවරම වැනි අතිශය දුර්වල අටමගලයක් ඉස්සරහට දමා ගෙන සටන් පාඨ වැමෑරීමේ තේරුමක් නැත.

එලවීමේ අරගලය පහසු වුව ද ගොඩ නැගීමේ අරගලය අපහසු ය. අප අද ඉන්නේ ඒ අභියෝගය ඉදිරියේ ය.

Leave a comment