2022/07/13 – ලංකාදීප

ඛනිජ තෙල් වෙළදාම ඉතාම සංකීර්ණ තැනකට පත්ව ඇත. ජනී ජනයා පැය ගණන් තෙල් පෝලිම්වල සිටින අතර තෙල් ලීටර කිහිපයක් ලබාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බව පෙනේ. තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානවල ඇති ගැටුම් ජන සමාජය පත්ව ඇති ශෝචනීය තත්ත්වය දක්වයි. පොලිසිය ගැටුම් පාලනය කිරීමට අසමත්ව ඇති අතර යුද හමුදාව කැදවීමට රජයට සිදුවී තිබේ. නොවැලැකවිය හැකි අවස්ථාවක හැර සිවිල් කටයුතු සදහා හමුදාව යොදා ගැනීම අවදානමට හේතුවකි. ඇතැම් තීරණ සාමාන්‍ය ජන ජීවිතය තවත් අවුල් කරනු ඇත.

ඛනිජ තෙල් අර්බුදයට මුහුණුවර දෙකක් ඇති බව පෙනේ. විදේශ විනිමය හිගය හේතුවෙන් රටට අවශ්‍ය තරමට ආනයනය කරගත නොහැක. යුක්රේනය හා රුසියාව අතර ගැටුම් ඛනිජ තෙල් වෙළද පොල මුහුණ පා ඇති ස්වභාවය දක්වන අනෙක් පැත්තකි. මාස කිහිපයකට කලින් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් හැටක් පමණ වූ අතර දැන් ඇමරිකානු ඩොලර් එකසිය දහය ඉක්මවා ඇත. විනිමය සංචිත හිග ශ‍්‍රී ලංකාව මෙම තත්ත්වයට ඔරොත්තු දෙන්නේ කෙසේද? වෙනදා තෙල් නැව් දෙකකට ගෙවන මුදල් දැන් ප‍්‍රමාණවත්, එක තෙල් නැවකට ගෙවන්නට සිදුවී ඇත. නිව්යොර්ක් හි ආයෝජන බැංකුවක් වන ජේ. පී. මෝර්ගන් මෑතක දී ඔවුන්ගේ අලූත්ම මතය ජාත්‍යන්තර ප‍්‍රජාවට ප‍්‍රකාශ කළේය. ගැටුම් තවදුරටත් පැවැතුනහොත් බොරතෛල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් තුන්සිය අසූවක් විය හැකි බව දක්වයි. ඩොලර් එකසිය දහයක මිල දරාගැනීමට දුෂ්කර වී ඇති රටවලට තවත් තුන් ගුණයකින් තෙල් මිල වැඩිවුවහොත් තවත් ප‍්‍රශ්න ඇතිවිය හැක. තෙල් මිල අඩු විය හැකි නමුත් ප‍්‍රවාහන හා අනෙක් වියදම් අඩුනොවන බව ද විචාරක මතය වී තිබේ.

ඛනිජ තෙල් ප‍්‍රශ්න සලකා බලන ජර්මනිය තෙල් හා ගෑස් බෙදාහැරීම සදහා සලාක ක‍්‍රමයක් හදුන්වා දෙන්නට සූදානම්වෙයි. ඉන්දියාවේ තෙල් මිල 2014-22 කාලය තුළ සියයට 33.4 කින් ඉහළ නැග ඇති බව එරට ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් අමාත්‍ය හර්දීප් පූරි නොබෝදා සදහන් කළේය. ක‍්‍රමානුකූලව තෙල් මිල නංවන්නට සිදුවූ අතර 2006-2014 කාලය තුළ පවා තෙල් මිල සියයට 64.45 කින් වැඩි කර ඇති බව ඔහු පෙන්වා දි තිබේ. බි‍්‍රතාන්‍යයෙන් ලැබෙන වාර්තා දක්වන පරිදි එරට වැසියෝ මාර්ග හරස්කර ඒවා පාපන්දු ක‍්‍රීඩාංගන බවට පත් කරගෙන ඇත. විරෝධය පළ කරන ජනී ජනයා මහ පාරේ ක‍්‍රිඩා කරමින් අධික වාහන තදබදයක් නිර්මාණය කර තිබේ. සුඩාන්, ඉක්වදෝර් හා පකිස්තානයේ ගැටුම් හටගෙන ඇති බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. ඇමරිකාවේ ද තෙල් මිල වැඩි කර ඇති අතර එයට විරෝධයක් ඇත. ලෝකය අවුල් ජාලාවක් බවට පත්ව තිබේ. ආර්ථික වර්ධනය අඩු විය හැකි අතර දුප්පත් ජනතාව තවත් දුප්පත් විය හැකි බව ජාත්‍යන්තර සංවිධාන අනතුරු අගවමින් සිටී.

අත්‍යවශ්‍ය ආහාර හිගය, තෙල් මිල ගණන්, අධික උද්ධමන අනුපාත රටවල බලවත් කැළඹීම් ඇති කර තිබෙන අවස්ථාවක් වන අතර මෙම තත්ත්වයට ක්ෂණික විසදුමක් නොපෙනෙන බව ජාත්‍යන්තර විචාරකයන් ගේ අදහස වී තිබේ.

පාසල පැවැත්විය නොහැකි, විභාග කල් දමන්නට සිදුවන, කාර්යාල කාවකාලිකව වසාදමන සහ පොදු ප‍්‍රවාහනය සීමාකරන්නට සිදුවී ඇති පසුබිම තුළ පරෙස්සමෙන් තීරණ ගැනීමට සිදු වී ඇත. තමන් දැවෙන ප‍්‍රශ්න හේතුවෙන් අධික කෝපයෙකින් ක‍්‍රියා කරන ජනතාවට කරුණු කියා දීම අපහසුය. ආණ්ඩුව පෙරලා අලූත් නායකයන් පත්කරගෙන මුලික ගැටළු නිරාකරණය කරගත හැකි බව ඇතැම් පිරිසක ගේ බලවත් විශ්වාසයකි. නායකත්ව වෙනස් කළ පමණින් ගැටළු වලට විසදුම් ලැබෙන්නේ නැත. එහෙත් ප‍්‍රශ්න දෙස බලන ආකාරය වෙනස්විය හැක. තීරණාත්මක අවස්ථාවක එකගතාව වැදගත් වන අතර සමාජ විනය ඉතාම අවශ්‍යය. සංයමය හා කැපවීම රටට අලූත් අනාගතයක් ඇති කරනු ඇත. අරපිරිමැස්මෙන්, විකල්ප ක‍්‍රමවලට හැඩගැසීම අවශ්‍යය. වෙනදා පුරුදු රටාව වෙනස් කළ යුතු අතර දේශපාලන හා සමාජ නායකයන් ආදර්ශයක් විය යුතුය. ආගමික නායකයන් පවා ව්‍යසනයේ තරම හදුනාගත යුතු අතර ඇවිලවීමෙන් පසු ගිණි නිවිය නොහැකි බව වටහා ගැනීම වැදගත්ය. ලෝකයේ පවතිත වාතාවරණය අවබෝධ කර ගෙන කුණාටුව තුරන්වන තෙක් ඉවසිල්ලෙන් යුතුව කාලය ගත කිරීම අවශ්‍ය කෙරේ.