අරගලය ගැන කව් ගී ලියවුනා මදි ය

සුවිශාල ජනවරමක් සහිත බලයට පත් වූ, වරෙක රටේ විශාල පිරිසකගේ ගෞරවාදරයටත් තවත් වරෙක සැළකිය යුතු පිරිසකගේ භීතියටත් හේතූ වූ, පාලක පරපුරක් ම එලවා දැමීමට අරගලයට හැකි විය.

අපකීර්තිමත් යුද ජයග්‍රහණයේ කිර්තිය හොඳින් හා නරකින් තමන්ගේ තනි භුක්තියට සවි කර ගෙන එහි ප්‍රතිඵලයක් ලෙස රටේ බහුතරය සෑහෙන කාලයක් තිස්සේ මුලා කිරීමට සමත් ව සිටි පාලක පරපුර බිංදුවට ම බැස්සේ ය. මහ රජාණන් ද අප්පච්චී ද බලු නොවටිනා තැනකට වැටුනේ ය. ඔවුන්ට ලියූ කවි ගී ඔවුන්ට ම පාරා වළල්ලක් වී වීදියේ තෙල් පෝලිම් වල උපහාසයට ගැයුනේ ය.

ගැලවුම් කාරයා ලෙස පෙනී සිටිමින් බලය ලබා ගත් නමුත් නොබෝ දිනකින් ම රටට ඔවුන්ගෙන් ගැලවීමට සිදු වන තැනට වැඩ සිද්ධ වුනේ ය.

එලවා දැමීමේ කටයුත්තේ නායකත්වය ගන්නට විකල්පයක් තිබුණේ නැත. නිර්පාක්ෂික ධජයක් යටතේ මිනිසුන් එක් රැස් වූයේ ඒ නිසා ය. එය දුර්වලකමක් ලෙස බොහෝ අය දුටුව ද වඩාත් දැඩි ශක්තියක් අරගලයට ගෙනාවේ ඒ නිර්පාක්ෂිකත්වය ය. ඒ නිසා ම ඒ ධජය යටතේ ලජ්ජාවකින් තොරව සිට ගැනීමට බොහෝ අයට හැකි විය.

රටේ තෙල් අඩුවන වේගයට අරගලයට තෙල් සැපයුනේ ය. පාලකයන් අසමත් වන තරමට අරගලය ශක්තිමත් වුනේ ය.

තිස් අවුරුදු ශාපලත් යුද්ධය නිර්මාණය කළේ පාලකයන් ය. අරගලය ද ඒ අර්ථයෙන් ඔවුන්ගේ නිර්මාණයක් විය.  ඒ අර්ථයෙන් අරගලය හා යුද්ධය සමාන විය. එසේ වුව ද පාලකයන්ට එරෙහි අවිගත් උතුරේ තරුණයන්ගේ යුද්ධය අසාර්ථක වෙද්දී පාලකයන්ට එරෙහි ව අවිහිංසාවේ මාවත තෝරාගත් අරගලකරුවන් සාර්ථකත්වය ලබා ගත්තේ ය. ආදරය මුල් කරගෙන ද අරගල කළ හැකි බව ඔවුහු ලොවට කීහ. ඇතැම් තැනක වෛරය ඉරිසියාව හා සොර සිත අරගලයේ කීර්තිය උදුරාගන්නට තැත් කළ ද ඒවා ව්‍යාතිරේඛයන් පමණක් විය. ප්‍රධාන ධාරාව තුළ විනය ඉහළින් ක්‍රියාත්මක වූයේ ය.

යුද්ධය තුළ එල්ටීටිය හැරුණු කොට ඉතිරි සියලු බලවේග විනාශ කර තනි බලයක් ගොඩ නගන්නට පාලකයන්ට එරෙහි වූ පිරිස තැත් කළ ද සුළු සිද්ධි කිහිපයක දී ඇරෙන්නට අරගලය සියලු අයට ඊට එකතු වන්නට අවස්ථාව සැලසීය. වඩාත් පළල් සන්ධානයන් බිහි වූයේ ඒ හරහා ය.

යුද්ධය ඇති කළ මූලයන් එසේ තිබිය දී යුද්ධයට මිලිටරි විසඳුම් සෙව්වා සේ ම අරගලයට හේතු බීජ එලෙස ම තබා ගෙන අරගලයට ද බලය යොදවන්නට පාලකයන්ට වුවමනා වූයේ ය. එහෙත් අරගලයේ අවිහිංසා ක්‍රමවේදයත් පළල් බලවේගයන්ට ඒ තුළ ඉඩ තිබීමත් හේතුවෙන් පාලකයන්ට ඒ කටයුත්ත පහසු වූයේ නැත. නීතිඥ සංගමය ද මානව හිමිකම් කොමිසම ද තවත් එවැනි සංවිධාන හා පුද්ගලයන් ද ඒ සමග සිටීම ඒ අපහසුතාවයට හේතු විය.

කුඩා ව්‍යාතිරේඛයන් (සජිත් අරගල භූමියෙන් එලවා දැමීම, රාජිතට පහර දීම, ඇතැම් නිවාස හා දේපලවලට මැයි 9 හා ජූලි 9 දා කරන ලද අලාභහානි) කිහිපයක් හැරුණු විට බරපතල මානව හිමිකම් කඩ වීම් සම්බන්දයෙන් අරගලයට චෝදනා කිරීමට ආණ්ඩුවට නොහැකි විය.

ඒ නිසා ම සමස්තයක් ලෙස අරගලයට මල් මිටක් පුද කළ යුතු ය. කවි ගී ලිවිය යුතු ය. මේ සටහන ඒ උදෙසා ය.

Leave a comment