විද්‍යාර්ථය හමුවේ පීතරයින් පසුබසිද්දී කිංග්ස්වුඩ්ට රාජකීය ප්‍රහාරයක්

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය 2022

2623

2022 Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිඅන්තය අද (03) නිමාවට පත්වුනා.

කොළඹ රාජකීය විද්‍යාලය විසින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 53-00ක් ලෙස පරාජය කරද්දී, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය විසින් ප්‍රබල සාන්ත පීතර විද්‍යාලය ලකුණු 11-07ක් ලෙස පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කරන්නට සමත් වුනා.

විද්‍යාර්ථ විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

දැඩි වර්ෂාව මැද සාන්ත පීතර විද්‍යාලය ලකුණු 11-07ක් ලෙස පරාජය කරන්නට විද්‍යාර්ථයින් සමත් වුනා. ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් විද්‍යාර්ථ අංක 8 ක්‍රීඩක රනිඳු ගජනායක පළමු උත්සාහක දිනුම වාර්තා කළා. පළමු අර්ධය අවසන් වුනේ ලකුණු 05-00ක් ලෙස විද්‍යාර්ථය පෙරමුණේ සිටිමින්.

දෙවැනි අර්ධයේ දී මේනුක තිලකරත්න දඬුවම් පහර දෙකක් රැස් කරමින් විද්‍යාර්ථ ලකුණු පුවරුව ලකුණු 11ක් දක්වා ඉදිරියට ගෙන ගියා. සචිර කොඩිතුවක්කු සහ විමන්ත සෙනෙවිරත්න කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවතට ගියේ විද්‍යාර්ථ කණ්ඩායමට දැඩි අවාසියක් ගෙනෙමින්.

එම මොහොත ප්‍රයෝජනයට ගත් විශේංක සිල්වා සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් යළිත් තරගයට පිවිසීමට උත්සාහ කළත්, එම උත්සාහය  සාර්ථක වුනේ නැහැ.

අවසන් ලකුණු තත්ත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 11 (1T,2P) – 07 (1T,1C) සාන්ත පීතර විද්‍යාලය

NDB තරගයේ වීරයා – දේශාන් බාලසූරිය (විද්‍යාර්ථ)

සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් වසර දෙකකට පසුව ‘ජයතිලක ආර්යා පළිහ’ දිනා ගන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා. ඒ ලකුණු 30-28ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින්.

සාන්ත තෝමස් විද්‍යාලය අවසන් මොහොතේ උත්සාහක දිනුමක් රැස් කළත්, තරගයේ ජය ආපසු හරවන්නට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

නවීන් මාරසිංහගේ උත්සාහක දිනුමෙන් සාන්ත ජෝසප් කණ්ඩායම තරගයේ පෙරමුණ ගත් අතර චරිය කුරුකුලසූරිය සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා.

මාරසිංහගේ දෙවැනි උත්සාහක දිනුමෙන් සහ ජෙහාන් අතුකෝරාළගේ උත්සාහක දිනුමෙන් සාන්ත ජෝසප් කණ්ඩායම ලකුණු 17-10ක් ලෙස පළමු අර්ධය පෙරමුණ ගත්තා.

දෙවැනි අර්ධය ආරම්භයත් සමඟ යෙහාන් බුලත්සිංහලගේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් තරගයේ ලකුණු සම කළා. පසුව දිල්හාර සුභාෂ් දඬුවම් පහර දෙකක් වාර්තා කරමින් ජෝසප් කණ්ඩායම නැවතත් තරගයට ගෙන ආවා.

මාරසිංහගේ උත්සාහක දිනුමකට පසුව Jaden Koch සාන්ත තෝමස් ලකුණු පුවරුව ලකුණු 28ක් බවට පත් කළේ ලකුණු පරතරය ලකුණු 2ක් දක්වා අඩු කරමින්. තරගය සම කරන්නට බුලත්සිංහලගේට හිමි වූ ප්‍රවර්තනය සාර්ථක කරගන්නට ඔහු සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්ත්වය:  සාන්ත ජෝසප් විද්‍යාලය 30 (4T 2C 2P) – 28 (3T 2C 3P) සාන්ත තෝමස් විද්‍යාලය

  • NDB තරගයේ වීරයා – නවීන් මාරසිංහ (සාන්ත ජෝසප්)

ධර්මරාජ විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර තරගය

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර පැවති මේ තරගය ලකුණු 15-15ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

විද්‍යා විද්‍යාලය ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ මල්ෂාන් දෙව්මින්ගේ සුරතින් වාර්තා වූ උත්සාහක දිනුමකින්. නදුන් කවිෂ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. ධර්මරාජ කණ්ඩායම ද පළමු අර්ධය නිමා වීමට පෙර උත්සාහක දිනුමක් රැස් කරගත්තේ පළමු අර්ධය ලකුණු 7-5ක් ලෙස අවසන් කරමින්.

දෙවැනි අර්ධයේ පළමුවෙන් ලකුණු රැස් කරන්නට සමත් වුනේ ධර්මරාජ විද්‍යාලයයි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගන්නට ඔවුන් සමත් වුනා. කෙසේ වෙතත් සරුණ හසිත විද්‍යා විද්‍යාලය වෙනුවෙන් නැවත වතාවක් උත්සාහක දිනුමක් රැස් කරමින් තරගයේ ලකුණු තත්ත්වය සම කළා.

තරගය නිමා වීමට පෙර කණ්ඩායම් දෙකම දඬුවම් පහරක් බැගින් රැස් කරගන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්ත්වය : ධර්මරාජ විද්‍යාලය 15 (2T, 1C, 1P) – 15 (2T, 1C, 1P) විද්‍යා විද්‍යාලය  

රාජකීය විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ වත්මන් ශූර කොළඹ රාජකීය විද්‍යාලය හමුවේ දරුණු පරාජයක් අත්විඳින්නට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට සිදු වුනා. ඔවුන් තරගය පරාජය වුනේ ලකුණු 53-00ක් ලෙසයි.

පළමු අර්ධය ලකුණු 33-00ක් ලෙස අවසන් වූ අතර කවීන් සසංග උත්සාහක දිනුම් 2ක්, නවීන් පෙරේරා, ෂෙනාල් අධිකාරම් සහ පසිඳු හේෂාන් එක් උත්සාහක දිනුමක් බැගින් රැස් කළා.

දෙවැනි අර්ධයේ දී ද කිංග්ස්වුඩ් කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා දෙන්නට රාජකීය ක්‍රීඩකයින් කටයුතු කළේ නැහැ. දෙවැනි අර්ධයේ දී ඔවුන් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් රැස් කළ අතර රහිල් විජේසේකර, සුපුන් ගම්ලත් සහ පසිඳු හේෂාන් එම උත්සාහක දිනුම් වාර්තා කළා.

අවසන් ලකුණු තත්ත්වය: කොළඹ රාජකීය විද්‍යාලය 53 (8T, 1P, 5C) – 00 කිංග්ස්වුඩ් විද්‍යාලය

  • NDB තරගයේ වීරයා: නවීන් පෙරේරා (රාජකීය)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<