Crystal Palace, Java Lane, St. Mary’s සහ මාතරට ජයග්‍රාහී සතියක්

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

254
Champions League 2022 week 5

මේ දිනවල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ තවත් එක් ජනප්‍රිය පාපන්දු ලීගයක් වන ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 5 වැනි සතිය අද (03) නිමාවට පත්වුනේ Crystal Palace, Java Lane, St. Mary’s සහ Matara City ක්‍රීඩකයින් ජයග්‍රහණ වාර්තා කරමින්.

ඔවුන් හමුවේ පිළිවෙළින් පරාජය වන්නට පොලිස්, Super Sun, Pelicans සහ Solid ක්‍රීඩා සමාජවලට සිදු වුනා.

Crystal Palace FC සහ Police SC

ගෝල 4-0ක් ලෙස Crystal Palace ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කළ මෙම තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට 29 වැනි මිනිත්තුවේ දී Mohamed Afnath සමත් වූ අතර ප්‍රථම අර්ධය නිමා වීමට පෙර Crystal Palace ලකුණු පුවරුව දෙගුණ කරමින් සිය දෙවැනි ගෝලයත් වාර්තා කරන්නට Afnath සමත් වුනා.

ප්‍රතිවාදීන්ගේ පීඩනයත් සමඟින් පිටියට පිවිසි පොලිස් ක්‍රීඩකයින් හට දෙවැනි අර්ධයේ දී ද සාර්ථක වීමට Crystal Palace ක්‍රීඩකයින් අවස්ථාවක් නොදුන් අතර දෙවැනි අර්ධයේ දී තවත් ගෝලය දෙකක් කණ්ඩායම එකතු කරන්නට Crystal Palace ක්‍රීඩක ප්‍රේම් කුමාර් සමත් වුනා. ඒ 52 වැනි සහ 76 වැනි මිනිත්තුවල දීයි.

ඒ සමඟින් Crystal Palace ක්‍රීඩකයින් ජයග්‍රාහීව 5 වැනි සතිය නිමා කරන්නට සමත් වුනේ පොලිස් ක්‍රීඩකයින්ට පරාජයක අමිහිරි මතක ඉතිරි කරමින්.

අවසන් ලකුණු තත්වය: Crystal Palace FC 4 – 1 Police SC

ගෝල ලාභීන්:

  • Crystal Palace – Mohamed Afnath (29’ & 34’), ප්‍රේම් කුමාර් (52’ & 76’)

Super Sun SC සහ Java Lane SC

ගාල්ලේ දී පැවති මේ තරගයේ දී Java Lane ක්‍රීඩකයින් විසින් Super Sun ක්‍රීඩකයින් පරාජය කරන්නට සමත් වුනේ ගෝල 3-0ක් ලෙසයි.

තරගයේ වාර්තා වූ ගෝල 3ම ප්‍රථම අර්ධයේ දී වාර්තා වීම විශේෂත්වයක් වන අතර ආරම්භක ගෝලය වාර්තා කරන්නට Java Lane ක්‍රීඩක Tochokwu Ftancis සමත් වුනේ තරගය ආරම්භ වී මිනිත්තු 6ක් ගත වන විටයි.

ඉන්පසු මාලක පෙරේරා ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනේ 14 වැනි මිනිත්තුවේ දීයි. ඉන් මිනිත්තු 10ක් ගත වන්නටත් මත්තෙන් Java Lane ලකුණු පුවරුව 3ක් දක්වා ඉහළ දමන්නට Oluwaseeun Olawale සමත් වූ අතර ඉන්පසුව පළමු අර්ධය පමණක් නොව තරගය අවසන් වන තෙක්ම Java Lane ක්‍රීඩකයින්ට ලකුණු ලබා නොදෙන්නට Super Sun ක්‍රීඩකයින් වගබලා ගත්තා.

අවසන් ලකුණු තත්වය: Super Sun SC 0 – 3 Java Lance SC

ගෝල ලාභීන්:

  • Java Lane – Tochokwu Ftancis (6’), මාලක පෙරේරා (14’), Oluwaseeun Olawale (25’)

St. Mary’s SC සහ Pelicans SC

St. Mary’s SC ක්‍රීඩකයින් තවත් ජයග්‍රහණයක් සමඟින් මේ තරගයේ දී Pelicans ක්‍රීඩකයින් පරාජය කරන්නට සමත් වුනා. ඒ ගෝල 2-1ක් ලෙසයි.

යාපනය දුරේඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර 16 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කරමින් St. Mary’s පෙරට ගෙන ඒමට Olawale Oluwadamilare සමත් වුනා.

ඒ ගෝලය සමඟින් ප්‍රථම අර්ධය නිමා වූ අතර දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10කට පමණ පසුව ලකුණු පුවරුව සම කරන්නට Pelicans ක්‍රීඩක Jekumar Shanthan සමත් වුනා.

කෙසේ නමුත් 74 වැනි මිනිත්තුවේ දී St. Mary’s ක්‍රීඩකයින් හට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථකව ගෝලය තුලට යොමු කරන්නට Sebamalainayagam Gnanaruban සමත් වුනේ St. Mary’s ලකුණු පුවරුව 2ක් දක්වා ඉහළ දමමින්.

අවසානයේ දී තරගයේ ජයග්‍රහණය ගෝල 2-1ක් ලෙස St. Mary’s සතු වූ අතර St. Mary’s ක්‍රීඩක Kilman Jesuraj හට විනිසුරු විසින් කහා කාඩ්පත් දෙකක් නිකුත් කළ අතර ඒ අනුව රතු කාඩ්පතක් මඟින් ඔහුව පිටියෙන් ඉවත් කෙරුණා.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 2-1 Pelicans SC

ගෝල ලාභීන්:

  • Mary’s – Olawale Oluwadamilare (16’), Sebamalainayagam Gnanaruban (74’P)
  • Pelicans – Jekumar Shanthan (55’)

Solid SC සහ Matara City Club

දිනයේ වාර්තා වූ වැඩිම ගෝල ගණන වාර්තා වූ මෙම තරගයේ දී මාතර ක්‍රීඩකයින් විසින් Solid ක්‍රීඩකයින් ගෝල 6-0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. ඒ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දීයි.

තරගය පුරාවට දක්ෂ ලෙස ක්‍රීඩා කළ මාතර ක්‍රීඩක Larbi Prince විසින් ගෝල 3ක් වාර්තා කරන්නට සමත් වුනා. ඒ් 9 වැනි, 79 වැනි සහ 88 වැනි මිනිත්තුවල දීයි.

ඊට අමතරව මාතර ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණය ගෝල දෙකකින් දායක වීමට Boadu Prince සමත් වුනේ 37 වැනි සහ 73 වැනි මිනිත්තුවල දී ගෝල දෙකක් සාර්ථක කර ගනිමිනුයි.

ඔවුන් දෙදෙනාට අමතරව නවෝද් විහඟ විසින් ද ගෝලයක් වාර්තා කරමින් මාතර ජයග්‍රහණය දායක වුනා. ගෝල 2-0ක් ලෙස අවසන් වූ පළමු අර්ධයෙන් පසුව දෙවැනි අර්ධයේ ආරම්භක ගෝලය වාර්තා කළේ ඔහු විසිනුයි. ඒ් 65 වැනි මිනිත්තුවේ දීයි.

ඒ් සමඟින් තවත් ජයග්‍රාහී සතියක මතක සමඟින් 5 වැනි සතිය අවසන් කරන්න මාතර ක්‍රීඩකයින් සමත් වුනේ Solid ක්‍රීඩකයින් ගෝල 6-0ක් ලෙස පරාජය කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: Solid SC 0 – 6 Matara City Club

ගෝල ලාභීන්:

  • Matara – Larbi Prince (9’, 79’ & 88’), Boadu Prince (37’ & 73’), නවෝද් විහඟ (65’)

තරගාවලියේ 6 වැනි සතිය එළඹෙන සතියේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<