යුපුන් තත්පර 10 කඩඉම පසුකරමින් සුපිරි වාර්තාවකට

42th Resisprint International Championship 2022

624
Yupun Abeykon

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසයට අමතක නොවන දිනයක් එක් කරමින් දකුණු ආසියානු කෙටිදුර ශූර යුපුන් අබේකෝන් 42 වැනි Resisprint International Championship හි මීටර් 100 අවසන් තරගය තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට අද (03) සමත් වුනා.

ඒ සමඟින් තත්පර 10 කඩඉම පසු කර ගිය එකම ශ්‍රී ලාංකික මෙන්ම දකුණු ආසියානු කෙටිදුර ධාවකයා වන්නේ ද ඔහු වීම ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම ආඩම්බර විය හැකි කරුණක්.

මෙම දක්ෂතාවය සමඟින් යුපුන් ආසියාවේ හොඳම දක්ෂතා වාර්තා කළ ක්‍රීඩකයින් අතරින් සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වීම ද සුවිශේෂී කරුණක්.

මීටර් 100 ආසියානු හොඳම දක්ෂතා

මෙම තරගාවලියේ මූලික වටය අද දහවල් පැවති අතර එහි දී තත්පර 10.11ක කාලයක් සමඟින් ප්‍රථමයා ලෙස ඉසව්ව අවසන් කරන්නට ඔහු සමත් වුනා. ඉන්පසුව ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6:45ට පමණ පැවති අවසන් මහා තරගයේ දී ඔහු තත්පර 9.96ක දක්ෂතාවයක් සමඟින් මෙතෙක් පැවති ඔහුගේ ජාතික සහ දකුණු ආසියා වාර්තා (10.06) අලුත් කරමින් ප්‍රථමයා ලෙස ඉසව්ව අවසන් කරන්නට සමත් වුනා.

පසුගිය කාලවකවානුවේ දී අඛණ්ඩව දක්ෂතා දක්වමින් කෙටිදුර ධාවන පිටියේ දක්ෂතා දැක්වූ ඔහු ජූලි 1 වැනිදා පැවති Stockholm Diamond ලීගයේ මීටර් 100 ඉසව්ව තත්පර 10.21ක කාලයකින් අවසන් කළේ සිව්වැනි ස්ථානය සඳහා හිමිකම් කියමිනුයි.

එමෙන්ම මෙම වසරේ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ඔස්සේ යුපුන් සුදුසුකම් ලබා ගන්නට සමත් වුනේ ප්‍රසාද ලකුණු 1239ක් සමඟ 42 වැන්නා බවට පත්වෙමිනුයි. එම ඉසව්වට සුදුසුකම් ලැබූ මුළු ක්‍රීඩකයින් ගණන 48ක්.

දිනෙන් දින දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තරයේ බබළවන යුපුන් අබේකෝන් හට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<