වාර්තා පොත් අලුත් කළ Nathan Lyon

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1229

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරගය පසුගිය දා නිමා වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි මතක කිහිපයක් එක් කරමින්.

මෙම තරගයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකුට හෝ සාර්ථක වීමට ඉඩ ලබා දුන්නේ නැහැ.

ඕස්ට්‍රේලියාවේ හිටපු සුපිරි ක්‍රීඩක Shane Warneගේ විශිෂ්ට ටෙස්ට් වාර්තාව සමකරමින් සහ නවසීලන්ත විශිෂ්ට ක්‍රීඩක ශ්‍රීමත් Richard Hadlee පසුකර දින දෙකකට පසු ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyon තවත් වාර්තාවක් තමන් සතුකර ගැනීමට සමත් වුනා. එහි දී ඔහු Kapil Dev පසුකරමින් ටෙස්ට් ඉතිහාසයේ හොඳම 10 දෙනාගේ සමාජයකට ඇතුළු වීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන අතරතුර Nathan Lyon මෙම දස්කම දැක්වීමට සමත් වුනා.

Nathan Lyon ඔහුගේ 20 වැනි ටෙස්ට් කඩුලු 5 පළමු ඉනිමේ දී වාර්තා කිරීමට සමත් වුනා. ඒ සමඟින් ඔහු ආසියාවේ දී වෙනත් රටක දඟපන්දු යවන්නෙකු විසින් වාර්තා කළ වැඩිම කඩුලු 5 දවා ගැනීමේ වාර්තාව (9) සමකිරීමට සමත් වුනා. Nathan Lyon ලකුණු 90කට කඩුලු 5ක් ලබා ගත් අතර එහි දී ඔහු Richard Hadlee පසුකරමින් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවුුලක් හිමි ක්‍රීඩකයන්ගේ 12 වැනි ස්ථානයට පත්වුනා.

දෙවැනි ඉනිමේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවාර 11ක දී ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් සිය ආධිපත්‍යය දිගටම පවත්වා ගෙන යාමට Nathan Lyon සමත් වූ අතර ශ්‍රී ලංකාව ලකුණු 113කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුනා.

එම කඩුලු 4 සමඟින් Nathan Lyon වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් (433) සහ ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Kapil Dev (434) පසුකරමින් 10 වැනි ස්ථානයට පත්වීමට සමත් වුනා.

මේ වන විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 109ක දී කඩුලු 436ක් දවාගෙන ඇති Nathan Lyon, මෙම ලැයිස්තුවේ දඟපන්දු යවන්නන් අතරින් මුත්තයියා මුරලිදරන් (800), Shane Warne (708), Anil Kumble (619) සහ ඉන්දියාවේ R Ashwin (442) ට පසුව සිටින පස්වැනි දඟපන්දු යවන්නා වනවා. එමෙන්ම ඔහු James Anderson (651), Stuart Broad (549) සහ Ashwinගෙන් පසුව ක්‍රියාකාරී පන්දු යවන්නන් අතර සිව්වැනි හොඳම පන්දු යවන්නා ද වනවා.

මෙම වාර්තාවට අමතරව Lyon Shane Warne සමඟින් ආසියාතික තණතීරු තුළ කඩුලු 100ක් ලබා ගත් ක්‍රීඩකයන් ලැයිස්තුවට ද එක්වුනා. මේ වන විට Nathan Lyon ආසියානු රටවල දී කඩුලු 101ක් වාර්තා කර ඇති අතර එය ආසියානු භූමියේ වෙනත් රටක දඟපන්දු යවන්නෙකු විසින් ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව වනවා.

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගයේ දී ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන් වන Lyon, Mitchell Swepson සහ Travis Head ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 10 ම දවා ගත් අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 10ක් වුනා.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner පන්දු 4ක් තුළ හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණ ගැනීමට සමත් වුනා.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<