ඉසිපතන සහ ත්‍රිත්ව ක්‍රීඩකයින් අපරාජිකත්වය රැක ගනී

Dialog පාසල් රග්බි ලීගය 2022

1026

Dialog පාසල් රග්බි ලීගයේ ඊයේ (01) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට ඉසිපතන සහ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩකයින් සමත් වුනා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

අනුහස් කොඩිතුවක්කු අවසන් මොහොතේ වාර්තා කළ උත්සාහක දිනුම නිසාවෙන් සාන්ත අන්තෝනි විද්‍යාලය පරදවා ලකුණු 25-18ක් ලෙස ජයග්‍රහණ ලබා ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හැකි වුනා.

ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩක එස්. ඒ. කීර්තිසිරිට හැකි වුනා.

එම අර්ධය ආරම්භයේ දී තරමක පාලනයක් ඇති කර ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වූවත්, උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හැකි වුනා.

එයට පිළිතුරු ලෙස සාන්ත අන්තෝනි ක්‍රීඩක ඩී. එම්. දිසානායක උත්සාහක දිනුමක් වාර්තා කළත්, එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීමට හැකි වුනේ නැහැ.

පළමු අර්ධය අවසානයේ දී සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් දඬුවම් පහරක් සාර්ථකව අවසන් කරන්නට සමත් වුනා.

පළමු අර්ධය – ත්‍රිත්ව විද්‍යාලය 10 (1T, 1C , 1P) – 11 සාන්ත අන්තෝනි විද්‍යාලය (1T , 2P)

දෙවැනි අර්ධය ආරම්භයේ සිටම පෙරට වඩා තරගකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් දඬුවම් පහරක් සාර්ථකව අවසන් කිරීමට සමත් වුනා.

ඒ සමඟම ක්‍රියාත්මක වූ ත්‍රිත්ව ක්‍රීඩක චමේන්ද්‍ර ධනපාල තවත් උත්සාහක දිනුමක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කරමින් කණ්ඩායම පෙරමුණට රැගෙන ආවා.

නමුත් ඉන් ටික වෙලාවකට පසු ක්‍රියාත්මක වූ සාන්ත අන්තෝනි ක්‍රීඩක එස්. වයි. අතුකෝරල උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන අවස්ථාව ද කීර්තිසිරි සාර්ථක කර ගත්තා.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී ක්‍රියාත්මක වූ ත්‍රිත්ව ක්‍රීඩක අනුහස් අන්තෝනි උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනේ සාන්ත අන්තෝනි ප්‍රේක්ෂකයන්ගේ සතුට කෙටි වෙලාවක් තුළ අහිමි කරමිනුයි.

එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට Athab Mansilට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 25 ( 3T, 2P, 2C) – 18 සාන්ත අන්තෝනි විද්‍යාලය (2T, 1C , 2P)

NDB තරගයේ වීරයා – ශවීන් ප්‍රේමරත්න (ත්‍රිත්ව)

ඉසිපතන විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

අවසන් මොහොත දක්වා ඇදී ගිය තියුණු සටනකින් පසුව වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 10-00ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය ආරම්භයේ දී ම ඉසිපතන ක්‍රීඩකයින්ට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමිවූවත් එය සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් වුනා.

එම අර්ධය තුළ දී වෙස්ලි ක්‍රීඩක ශවීන් ජයවර්ධන හට දෙවතාවක්ම කහ කාඩ්පත් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළා.

කණ්ඩායම් දෙකම එම අර්ධය තුළ ලකුණු ලබා ගැනීමට හිමි වූ අවස්ථා සාර්ථක අවසන් නොකිරීම නිසාවෙන් එම අර්ධය අවසන් වුනේ ලකුණු රහිතවයි.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 00 – 00 සාන්ත අන්තෝනි විද්‍යාලය

දෙවැනි අර්ධය තුළ දී සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩක රිනේෂ් සිල්වා තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

පෙර අර්ධයට වඩා එම අර්ධයේ දී තරගයේ පාලනය තමන් වෙත ලබා ගත් ඉසිපතන කණ්ඩායම වෙනුවෙන් Sorya Dodangoda උත්සාහක දිනුමක් වාර්තා කළා.

එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථකව අවසන් කිරීමට රිනේෂ්ට හැකි වූ අතර එම අර්ධයේ ද කිසිදු ලකුණක් ලබා ගැනීමට වෙස්ලි ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: වෙස්ට් විද්‍යාලය 00 – 10 ඉසිපතන විද්‍යාලය (1T, 1C, 1P)

NDB තරගයේ වීරයා – රිනේෂ් සිල්වා (ඉසිපතන)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<