HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවසීලන්තයේ සිට ඇමෙරිකාව සඳ වෙත යැවූ කැප්ස්ටන් යානය

පසුගිය ජූනි 28 වැනිදා ඇමරිකාවට සම්බන්ධ ඉතා කුඩා ප්‍රමාණයේ අභ්‍යවකාශ යානයක් නවසීලන්තයෙන් වන්ද්‍රයා ඉලක්ක කර ගෙන යවනු ලැබුවා. ඇමරිකාවේ නාසා ආයතනයෙන් යවනු ලැබූ මේ කුඩා අභ්‍යවකාශ යානය හැඳින්වෙන්නේ කැප්ස්ටන් (Capstone) කියායි. නවසීලන්තයේ මාහියා අර්ධද්වීපයේ අභ්‍යවකාශයට රොකට් යැවීම සඳහා ඉදිකර ඇති විශේෂ අට්ටාලයක සිටයි. මයික්‍රොවේව් උදුනක් තරම් ප්‍රමාණයේ මෙම අභ්‍යවකාශ යානය අනාගතයේ මිනිසුන් හඳට ගෙන යාමට සැලසුම් කර ඇති ආටිමීස් (Artemis) අභ්‍යවකාශ වැඩ පිළිවෙළ සඳහා කරන මූලික අත්හදා බැලීමේ පියවරක් හැටියටයි. 

කැප්ස්ටන් චන්ද්‍ර යානය සිත්තරකුගේ ඇසින්.

නාසා ආයතනයේ මේ යානය සඳ වටා අවම වශය‍ෙන් මාස හයක්වත් වළල්ලක ආකාරයේ කක්ෂයක යනු ඇති. මේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ ‘ලූනා දොරටුව’ (Lunar Gateway) කියා හැඳින්වෙන සඳෙහි කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන නව අභ්‍යවකාශ නැවතුම්පොළ සඳහා පරීක්ෂණ කටයුත්තක් ලෙසයි. 

මයික්‍රොවේව් උදුනක් තරම් වූ හතරැස් පෙට්ටි හැඩයකින් යුත් මේ යානය බරින් රාත්තල් 55ක්. එය ගමන් කරන වළල්ලක හැඩැති කක්ෂය ඉදිරියේ දී නව අභ්‍යවකාශ නැවතුම් පොළේ ගමන් කක්ෂය ලෙස භාවිත කිරීමේ දී ඇති විය හැකි ගැටලු මොනවාදැයි පිරික්සීම මේ මෙහෙයුමේ අරමුණයි. නව ආටිමීස් අභ්‍යවකාශ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ දී මෙයින් ලබන අත්දැකීම සඳ මතට පා තැබීමට පෙර නැවතුම ලෙසින් ‘ලූනා දොරටුව’ පිහිටුවීමට බොහෝසෙයින් ප්‍රයෝජනවත් වනු ඇති. 

‘ලූනා දොරටුව’ නම් නව අභ්‍යවකාශ නැවතුම්පොළ දියත් කිරීමට බලාපොරොත්තු වන්නේ 2024 දියි. වසර 50කට පසු මිනිසුන් නැවතත් සඳට පා තැබීමට පෙර මෙහි රැඳී සිටිනු ඇති. ඒ වගේ ම අනාගත අඟහරු ගමන්වල දී අතරමඟ නැවතුමක් ලෙස මෙම ‘ලූනා දොරටුව’ පාවිච්චි කරනු ඇති. 

කැප්ස්ටන් යානය උඩු ගුවනට යවන්නට නියමිතව තිබුණේ 2021 ඔක්තෝබරයේ වුවද එය පසුගිය 28 වැනිදා තෙක් පමා කිරීමට සිදු වුණා. මෙවර කැප්ස්ටන් යානය උඩු ගුවනට යවන්නට යොදා ගත්තේ ඇමරිකන් සමාගමක් වූ රොකට් ලැබ් ආයතනය විසින් නිපදවන ලද නව ‘ඉලෙක්ට්‍රෝන’ බූස්ටර රොකටයක්. 

එය දියත් කළ මොහොතේ රොකට් ලැබ් සමාගම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ‘අපි රොකට්ටුව දියත්කරණ සංකීර්ණ අංක එකෙන් සාර්ථකව දියත් කළා.! දැන් කැප්ස්ටනය සඳ බලා කෙළින් ම ගමන් කිරීම ඇරඹුවා.’ කියා කීවා. රොකට් ලැබ් සමාගම ඊළඟට තහවුරු කළා, රොකට්ටුව එහි ගතික පීඩනයේ උපරිමය ළඟා කර ගත් බව. 

නාසා ආයතනයේ දියත්කිරීම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ බ්‍රැඩ්ලි ස්මිත් මේ ගැන තම බලවත් සතුට පළ කරනවා. “හරිම අපුරුයි! මට වසර අටක් ගත වුණා මේ නිර්මාණයට කරවා ගන්ට. දසකයක් යන්නටත් කලින් කණ්ඩායම සමත් වුණා, කැප්ස්ටනය යවන්නට, ගුරුත්වාකර්ෂණ බලය උපයෝගි කර ගෙන චන්ද්‍ර කක්ෂයට.” ඔහු පවසනවා. 

මේ කැප්ස්ටන් යන නම තනා ගෙන ඇත්තේ, ‘චන්ද්‍ර කක්ෂගත යානයක් සඳ හා පොළොව අතර ස්වයංක්‍රීයව ස්ථානගත කිරීමේ පද්ධතියක තාක්ෂණික මෙහෙයුම් අත්හදා බැලීම’ යන අරුත් ඇති Cislunar Autonomous Positioning System Technology Operations and Navigation Experiment යන්නෙහි මුල’කුරුවලින් තනා ගත් නම කැප්ස්ටන් (Capstone) යන්නයි. 

එහි ඇති සුවිශේෂත්වය වන්නේ ඒ යානය යන්නේ දික් වෘත්තයක ආකාරයකට වීමයි. එය එක් කොනකින් චන්ද්‍රයා මතුපිටට සැතැපුම් 1000කින් ළංවන අතර වෘත්තයේ අනෙක් කෙළවරින් එය සැතැපුම් 43,500කින් ඈත් වෙනවා. 

චන්ද්‍ර කක්ෂයකට ළඟා වීමට එය සිය ප්‍රචාලන පද්ධතිය යොදාගෙන මාස තුන හතරක ගමනක් යායුතු වෙනවා. ඉන්පසු එ් කක්ෂය ඔස්සේ හඳ වටා යාමට පටන් ගන්නවා. මෙසේ එක්වරක් යාමට දවස් හතක් ගත වෙනවා. අභ්‍යවකාශ යානයකට චන්ද්‍රයා වෙත යාමට සාමාන්‍යයෙන් ගත වන්නේ දින කීපයක් වුවත් මේ කැප්ස්ටනයට එහි ළඟා වීමට ඊට වැඩි කාලයක් ගත වෙනවා. ඒ එය ඉතාමත් හෙමින් ගමන් කරන නිසයි. ඒ එයට එහි මේ අසාමාන්‍ය ඕවලාකාර හැඩය ගැනීමට වඩාත් ඈතින් ඇති කක්ෂයක ගමන් කිරීමට සිදුවන නිසයි. 

කැප්ස්ටන් චන්ද්‍ර යානය දියත් කළ ඉලෙක්ට්‍රෝන බූස්ටර රොකට්ටුව.

මේ අමුතු හැඩයේ කක්ෂය නිල වශයෙන් හැඳින්වෙන්නේ දිගටි ආයත හැඩයකට ආසන්න වලයාකාර ස්වරූපය යන අරුත් ඇති near rectilinear halo orbit (NRHO) යන වදන්වලිනුයි. මෙවැනි කක්ෂක ගත ගමනක් මීට පෙර කිසිදාක සිදු කර නැහැ. මෙම කක්ෂය පිහිටා ඇත්තේ හරියටම පෘථිවියේත් චන්ද්‍රයාගේත් ගුරුත්වාකර්ෂණය ලක්ෂ්‍යය මතයි. 

කැප්ස්ටන් යානය සඳ වටා යන්නේ දිගටි ආයත හැඩයක කක්ෂයකයි.

“කක්ෂයේ ඇති මේ ස්ථායිතාව නිසා කැප්ස්ටනය පෘථිවිය හා චන්ද්‍රයා අතර බැඳී තිබෙන ආකාරයක් දිස් වෙනවා.” යයි නාසා ආයතනයේ ඒමිස් පර්යේෂණ මධ්‍යස්ථානයේ එල්වුඩ් අගාසිඩ් කියනවා. “මෙහි රැඳී සිටීමට හෝ පෘථිවිය හා චන්ද්‍රයා අතර එහා මෙහා යාමට අවශ්‍ය වන්නේ අඩු ම බලයක් පමණයි.” ඔහු යයි වැඩිදුරටත් කියනවා. 

කැප්ස්ටනය මේ චන්ද්‍ර කක්ෂයේ යමින් අඩු තරමින් හය මාසයක්වත් ඒ කක්ෂය පිළිබඳව හැදෑරීම් කරනු ඇති. ඉන්පසු නාසා ආයතනය කියන පරිදි එය සඳ මතට කඩා වැටෙනු ඇති. 

අභ්‍යවකාශ ඒජන්සිය කියන්නේ, කලින් නාසා ආකෘති මගින් පුරෝකථනය කර ඇති පරිදි එහි කක්ෂය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය බලය සහ ප්‍රචාලනය එතැනින් ම සැපයෙන බවයි. එයින් සැපයුම් අවිනිශ්චිතතා අඩු කෙරෙනවා. එමගින් පෙන්වා දෙන්නේ මෙයින් නව්‍ය අභ්‍යවකාශ යානා අතර ඇති වන සන්නිවේදන ගැටලුවලට මෙන්ම පෘථිවිය සමඟ ඇති කරන සන්නිවේදනයට ද මෙයින් විසඳුම් ලබා දෙන බවයි. 

ලූනා දොරටුවේ මුල් අදියරේ කොටස්, 2024 නොවැම්බර් තෙක් උඩු ගුවනට යවන්නේ නැහැ. ඒ නිසා නාසා ආයතනයට කැප්ස්ටනයෙන් තොරතුරු ලබා ගන්න ඇති තරම් කල් තියෙනවා. 

මේ වීඩියෝවෙන් යානය උඩුගුවන් ගත කළ අයුරු බලන්න! 

නවසීලන්තයේ මාහියා අර්ධද්වීපයේ අභ්‍යවකාශයට රොකට් යැවීම සඳහා 
ඉදිකර ඇති විශේෂ අට්ටාලය පිහිටි සිතියම.

නාසා ආටිමීස් වැඩ සටහන සඳහා ඉතා වැදගත් කොටසක් ලූනා දොරටුව මගින් ඉටු කෙරෙනවා. එය සඳ වටා කැරකෙමින් තියෙන කුඩා අභ්‍යවකාශ නැවතුම් පොළක් පමණක් නොව විවිධ සේවාවන් සපයන තැනක්. නාසා ආටිමීස් වැඩ සටහන කරන ප්‍රථම නිල කාර්යය වන්නේ 2025 දී ප්‍රථම ගැහැනියට හා මීළඟ මිනිසාට හඳ මතට පා තැබීමට ආධාර කිරීමයි. මෙය සමහර විට තවදුරටත් කල්යා හැකි යයි නාසා පරීක්ෂක ජෙනරල් පෝල් මාටින් කියනවා. මොකද කලින් නාසා බලාපොරොත්තුව සිටියේ 2024 දී මිනිසුන් සඳ මතට ගෙන යාමටයි. එයට පමා කිරීමට හේතුව බ්ලූ ඔරිජින් හිමිකරු වු ජෙෆ් බෙසෝස්ගෙන් සිදුවූ බලපෑම් නිසයි. 

මේ වසරේ, 2022 අගෝස්තුවේ දී නාසා බලාපොරොත්තු වෙනවා, ආටිමීස් I (Artemis I) යානය මගින් මිනිස් අනුරූ කීපයක් අභ්‍යවකාශයට යවන්න. එහිදී අනුරූ යැවීම මගින් කරන්නේ මිනිසුන් පිරිසක් යැවීම සඳහා පෙරහුරුවක්. ආටිමීස් II යානය සැබෑ මිනිසුන් රැගෙන ගියත් සඳ වටා යනවා මිස එහි ගොඩ බසින්නේ නැහැ. ප්‍රථම ගැහැනිය හා වසර 50කට පසු මිනිසකු හඳ මතට යළි ගොඩ බසින්නේ ආටිමිස් III යානයෙන්. 

ලූනා දොරටුව නම් චන්ද්‍ර අභ්‍යවකාශ නැවතුම් පොළ

ආටිමීස් III යානය 2025න් මෙහා දියත් කෙරෙන්නේ නැහැ. 1972 දෙසැම්බරයේ දී ඇපලෝ 17 යානයෙන් මිනිසකු හඳ මතට ගියාට පසු මෙවර මිනිසුන් යැවෙන්නේ වසර 50කට පසුවයි. මේ ආටිමිස් මෙහෙයුම මගින් 2028 දී මිනිස් ජනාවාස ඉදිකිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments