Friday, July 1, 2022

ජන සිට ජඩට - මාධ්‍යයේ ගමන

මාධ්‍ය ආයතන විනාශවලට උල්පන්දම් දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක! හිතවත් මාධ්‍යවේදී මිත්‍රයන් තරහවෙන්න එපා. මට නං දැනෙන ඇත්ත ඕකයි. 

මං TV එකෙන් මිදුණේ 2001. ඊටපස්සේ බැලුවත් බැලුවේ ඉඳහිටලා, කරන්න දෙයක් ඇත්තේම නැත්නම්. ඒත් ඔතනින් එහා මෙහා යද්දී ඒකෙ යන විකට ජවනිකා මට පේනවා. බොහොම මෑතකදී තමයි දෙමව්පියන් එක්ක වාඩිවෙලා ප්‍රවෘත්ති TV එකෙන් බලන්න ගත්තේ. ඒකත් එතෙක් බැලුවේ YouTube එකෙන්. ඒ වෙලාවේ දෙමව්පියන් එක්ක වාඩිවෙලා Tv එකෙන් ප්‍රවෘත්ති බලන්න හිතුවෙත් මගේ පවුල සහ එයාලා වෙනුවෙන් වෙන් කරන කාලය ගැන හිතලා මිසක් රූපවාහිනියට නැත්නම් TV එකට ඇති ආකර්ෂණයක් හින්දා නෙවෙයි.

මාධ්‍ය සියල්ල පිළිබඳ පොදුවේ මට පැහැදීමක් නැහැ.
හේතු කීපයක්ම මත.
ඉන්දියානු මෙගා නාට්‍ය සිරසෙන් පටන් ගත්තම ඒක වසංගතයක් වගේ පැතිරිලා මං හිතන්නේ දශක දෙකක් විතර වෙලත් තාම ගැලවීමක් නෑ! මං ඉන්දීය සිනමා නිර්මාණ නොබලන කෙනෙක් නෙවෙයි. හොඳ ඒවා රසවත් ඒවා බලනවා,විඳිනවා. හැබැයි මෙලෝ රහක් නැති ඉන්දීය මෙගා නාටක මට අප්‍රසන්නයි. එකම මූණ කැමරා කෝණ දහයකින් විතර ළං කර කර ඈත් කරකර පෙන්නමින්, කතක් කතකලී නටන්නා වගේ ආලේපන තට්ටු ඇලවූ මුහුණුවල ඇසේ සිට නිකටේ මස්පිඬුව දක්වා චලනය මන්දගාමීව පෙන්නමින්, හෙට්ටිවීදියටම නැතිතරං අබරණ පළන්ඳගෙන ඉන්දියාවේම සාරි කඩ වැහෙන තරමට සාරි පෙරවාගෙන එකම ගෙයක් ඇතුළත පවුල් පිටින් ගේම් දෙන්නම ලෑස්ති වුණ ඒ බහුභූතයන් බලනවාට වඩා ප්‍රසන්න දේවල් මේ ලෝකේ තව තියෙනවා කරනවා නම් කරන්න! 
ඊටපස්සේ ගෙනාවා කොරියානු රැල්ල. ඒකත් ඒ වගේනෙ, වෙනසක් නෑ. ඔක්කොටම වඩා මට ඒ කතාවල ගැහැණු පිරිමි අතර වෙනසක් හොයාගන්න බෑ, සේරම එකම විදියට සුකොමළයි පියකරුයි. 
ලංකාවේ මෙගා ගහන්න ගත්තම ඒකයි අරවයි අතරත් වැඩි වෙනසක් නෑ. 
දෙරණ මම බලලම නෑ, ප්‍රවෘත්තිවත්. අවුරුද්දකින් විතර. එච්චරට ඒකේ යන නාට්‍ය මට අප්‍රසන්නයි! 
ITN තවම යම් තරමක standard එකක් තියාගෙන නාට්‍ය තෝරාගන්න බව පේනවා. ජාතික රූපවාහිනිය, සිරස බලන්නෙම නැති තරම්. 

ඊට පස්සේ පටන් ගන්නවා පත්තරේ කියවන්න. ස්වර්ණවාහිනියෙන් වෙන්න ඇති පටන්ගත්තේ හැබැයි ඔක්කොටම ඕන වෙනවා පාන්දර පත්තරේ කියවලා ඔස්තාද්ලා වගේ ඔපීනියන් දෙන්න. රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔක්කොම ඒක පටන් ගන්නවා. දෙරණේ චතුර ටිකක් හොඳට පටන් අරන් පස්සේ පස්සේ චොර කරගන්නකොට ස්වර්ණවාහිනියේ චමුදිත පටන්ගන්නවා. චමුදිත TNL එකෙන් බිහිවෙච්ච දක්ෂයෙක් බව ඇත්ත. ජනහඬෙන් චමුදිත කරළියට එද්දී තේරුණත් නොතේරුණත් තාත්තා එක්ක වාඩිවෙලා ජනහඬ ඇහුව නැරඹුව ඇටිකිත්තෙක් මම. හැබැයි දැන් උදේට චමුදිතගේ වැඩසටහන ඇහුවම (මට නං ඇහුණම) දවසම මුස්පේන්තුයි! ප්‍රශ්න තියෙනවා. රටට සහ පුද්ගලයන්ට විවිධාකාර ප්‍රශ්න තියෙනවා. හැබැයි චමුදිත ඇතුලු මේ බොහෝ දෙනා කරන්නේ පත්තර කියවන මුවාවෙන් ඒගොල්ලොන්ගේ පෞද්ගලික මත සහ ඒ ඒ මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන එක. පොඩි දේ ලොකු කරන්න, බරපතල දේ ලඝු කරන්න, ඇත්ත බොරු කරන්න, බොරු ඇත්ත කරන්න මේ අය පැකිලෙන්නේ නෑ! එහෙම කළොත් නේ අපි හම්බ කළොත් අපි කනවා වෙන්නේ. හැබැයි උදේ පාන්දර ඉඳන් මිනිසුන්ගේ ඔලු කුරුවල් කරන එක තමයි වැඩියත්ම වෙන්නේ! මොන ප්‍රශ්න තිබ්බත් බොහොම සුබවාදී ආකල්පයෙන් ප්‍රසන්නව දවස පටන් ගන්න මං නං කැමතියි, ඔබ කොහොමද දන්නේ නෑ. එහෙම මනුස්සයෙක්ට අර වගේ අඳෝනා, ක්‍රෝධයෙන් අසුබවාදී ආකල්පයෙන් පිරිච්ච දේවල් අහන්න වෙන එක තරම් මූසලකමක් තවත් නෑ! 

ඊළගට සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කියවීමේ කලාව වෙනස්වීම. ජාතික නාලිකාව පවා මේසේ යටින් ප්‍රවෘත්ති නිවේදිකාවගේ කකුල් පෙන්වීමෙන් තරගයට අවතීර්ණ වුණා මහාචාර්ය ගංගානාත් දිසානායකගේ ධූර කාලයේදී. ඔය නාට්‍යානුසාරයෙන් ප්‍රවෘත්ති කියවීම පටන්ගත්තේ පෞද්ගලික මාධ්‍ය නාලිකානේ. ඊටපස්සේ ඒ කතන්දරේ ආටක නාටක තත්ත්වයට පත්වුණා බොහොම වේගයෙන්. කෙනෙක් අනතුරකින් හරි දිවිනසාගෙන හරි මළා නං අපේ මාධ්‍ය ඒක පොඩි පහේ වෙසක් නාට්‍යයක් කරගන්නවා ප්‍රවෘත්තිවලට ඔබන්න. ඒක වුණු තැන ඉඳන් මැරුණු මිනිහා ජීවිතේටවත් නොහිතන්නත් ඇති සිතුවිලි උපකල්පනය කරලා පසුබිම් කථන හදනවා මිනිහා වලෙන් නැගිටලා "මට එහෙම හිතුණේ නෑ ඕයි" කියන තරමට! ගෙදර වැලපෙන දෙමව්පියන්, දරුවන්, භාර්යාවන්, ස්වාමි පුරුෂයන් තව අඬවමින් ප්‍රශ්න කරනවා, ඔවුන්ගේ දුක අමුඅමුවේ ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් කිසිම හිරිකිතයක් නැතුව ලෝකේටම පෙන්නනවා! ආයෙමත් දවසක ඒ අවස්ථා දැක්කම ඒ මිනිස්සුන්ට දුකකට වඩා දැනෙනවා ඇත්තේ අමුම අමු ලැජ්ජාවක්!! 

කාන්තා වැඩසටහන් කියලා උදේ ඉඳන් එක එක හැඩැති ලලනාවො, දොස්තරලා, රූපලාවන්‍ය ශිල්පියෝ, කෝකියෝ ආදී එකී මෙකී නොකී හැමෝම ගෙන්නලා හැම නාලිකාවකම කාලේ කනවා. ඕවා බලන මිනිස්සු ඉන්නවා ඇති. හැබැයි බලාපොරොත්තු වන තරම් ප්‍රතිඵල තියෙනවද? 
ඒ කාලය විශේෂයෙන්ම, පාසැල් අධ්‍යාපනය අඩපණ වෙච්චි අවුරුදු දෙකක් තුනක් ඇති අපේ දරුවෝ වෙනුවෙන් වෙන් කළා නම් මොකද?? 

ඊටපස්සේ යනවා තරු එක්ක පිළිසඳරවල්. තරහවෙන්න එපා මෙහෙම කියනවට, ලංකාවේ 'තරු' නැහැ! හිටියා, දැං නැහැ. 
කව්රුහරි ඉතින් එකම සෙට් එක ගෙන්නනවා. ඒ යක්කු ඇවිත් රටම ඉස්සරහ කරන ඒවාට දකින අපිට ලැජ්ජ හිතෙනවා උන්දැලට නැතිවුණාට. පෙරේදා හවස කාපු එකේ ඉඳන් අන්තිමට රමණය කළ එක වෙනකල් ඕපාදූපයි මෝඩකමයි ලැජ්ජානැතිකමයි දෝරේ යවනවා! ඉස්සර ලංකාවට හිටියා ඇත්තටම හොඳ නිර්මාණ කරලා මතක හිටින රඟපෑම් කරලා තවම ප්‍රශංසාවට ලක්වන කලා ශිල්පීන් ශිල්පිනියන්. තරුත් හිටියා. හැබැයි තව අවුරුදු දහ පහළවකින් 'ප්‍රවීණ' ලේබලය නමට ඉස්සරහින් අලවගන්නෙ මේ නාලිකාවල චැට් වැඩසටහන්වලට ඇවිල්ලා බට්ටා පනින, ගුඩු පනින, ගොබ්බ කතා කියන, වැරදි වැරදි සිංදු කියන්න තටමන නලුනිලියෝ නේද කියලා මතක් වුණාම ලංකාවේ කලාව වලපල්ලට යෑම ගැන එච්චර පුදුමයක් දැනෙන්නෙත් නෑ. 

පරණ කලා ශිල්පීන් ශිල්පිනියන් බහුතරයක් අපි නොදැනම අවසන් ගමන් යනවා. සමහරු මැරුණද දන්නෙත් නෑ. අසරණවෙලා ඉන්නවා. අසනීපවෙලා ඉන්නවා. ඒවා ගැන කතාවක්වත් නෑ! මෙච්චර මාධ්‍ය දියුණු යුගයකත් මාධ්‍ය නාලිකාම හැටහුටාමාරක් තියෙන රටකත් ඒ වගේ මිනිස්සුන්ට නිසි ඇගයීමක්, අවධානයක් නෑ! දවස ගානේ අර තුට්ටු දෙකේ තොරොම්බල් කෑලි උඩදදා ඉන්නවා! 

දේශපාලන වැඩසටහන්. 
හැම නාලිකාවකම දිනපතා තියෙනවා. මේ කතා කරන කතා කිරිල්ලේ හැටියට ලංකාව තියෙන්න ඕන මෙලහකට ලෝකයේ බලවත්ම රාජ්‍යය වෙලා. බලවත් කෙසේ වෙතත් දැන් එදා වේල ට්‍රැවල්ස්වත් නැති ගානට ගිහින් තියෙන්නේ. ඉස්සර දේශපාලන වැඩසටහනක් බලන්න ආසයි. පොඩ්ඩක් හරි වැදගත් දෙයක් කියැවෙනවා. සමහර වැඩසටහන්වලට දැන් ආරාධිතයා එනවා, අන්තිමට ආරාධිතයට වඩා කතා කරන්නේ නිවේදකයා/යෝ. අර එන මිනිහා බුකවං බලං ඉන්නවා. ඉඩක් හම්බුණොත් වචන කීපයක් කියනවා. ඒකත් වාක්‍යය ඉවර කරන්න කලින් නිවේදකයා හෝ නිවේදක රැළ බුරාගෙන පනිනවා! අන්තිමට ගෙන්නපු මිනිහගේ කාලයත් අපරාදේ, ප්‍රේක්ෂකයාගේ කාලයත් අපරාදේ. නාලිකාව නං දැන්වීම් ටික ගාණට මිම්මට දුවවලා ආදායම තිර කරගන්නවා. 

රියැලිටි වැඩසටහන්. රියැලිටි ආව කාලේ පට්ට. දැන් ඒකේ කාලේ ඉවරයි. ඒක තමයි මගේ මතය. දැන් අර වංශේ කබල් ගාන්න ඕන නිසා අදියර නවය දහය කිය කියා ඇදගෙන යනවා. මාත් රියැලිටි බලන්න පුරුදු වෙලා හිටියා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මට මතක හිටින දක්ෂයෙක් දැකලා නෑ. ඒ වෙලාවට හොඳයි.
ඒ ඇරුණම ඉතින් ප්‍රාසාංගිකත්වය මිසක් ගායන දක්ෂතාවය දැන් රියැලිටිවල මැනෙනවාද කියන සාධාරණ සැකය මට තියෙනවා. 

මාධ්‍යවලින් මවන ප්‍රහසන එන්න එන්නම කෘත්‍රිම වීගෙන එනවා. පිරිමි ගැහැණුන්ට අඳිනවා, ගැහැණු පිරිමින්ට අඳිනවා. හිනා නොයන මෙලෝ රහක් නැති විහිළු දිහා ප්‍රේක්ෂකයෝ ඔහේ බලං ඉන්නවා. ඔච්චර නටන්නේ දඟලන්නේ නැතුව අපේ ගෙදර මිනිස්සුන්ව හරි හිනැස්සවීමට මට ඇති හැකියාව ගැන ඒ වගේ අවස්ථාවල මම නිහතමානීව ආඩම්බර වෙනවා 😂

තව අලුත් සෙල්ලමක් යනවා මොකද්ද මන්දා නාලිකාවක. පුංචි එවුන් දෙමව්පියන්ව ඉස්සරහ ඉන්ඳගෙන කතා කරවනවා. උං කියන එව්වද නැත්නං පිටපත ද මන්දා දෙපැත්ත කැපෙන කතාත් කියවෙනවා! අමු මෝඩ ගොබ්බ තකතීරු කතන්දර පොඩි උං ලව්වා ගිරව් වගේ කියවනවා. දෙමව්පියෝ හරි වීරකමක් වගේ හිකි හිකි ගගා හිනාවෙමින් ඒ දිහා බලං ඉන්නවා. මිනිස්සු ප්‍රසිද්ධිය වෙනුවෙන් කොයි තරම් විකාර අන්තවලට යනවද කියලා ලැජ්ජාවක් දැනිලා මාව ඇකිලිලා යනවා! 

ඒ ඇරෙන්න ප්‍රධාන වශයෙන් මාධ්‍ය නාලිකා බෙදාහරින තොරතුරුවල නිරවද්‍යතාව සහ සත්‍ය අසත්‍යතාව ගැන මට විවාදාත්මක මත තියෙනවා. කිසිම මාධ්‍ය නාලිකාවක් (රූපවාහිනී සහ ගුවන් විදුලි) සමබර නෑ. ඒ හැමෝම ව්‍යාපාර විදිහට තමන්ගේ මතය, දේශපාලනය අනුව තමයි මාධ්‍ය හසුරුවන්නේ. ඒක දිලිත් ජයවීරට විතරක් අදාළ නෑ. මහාරාජා, රෙනෝ, ශාන් පවා එහෙම තමයි. දැන් ඒක බරපතලයි. 
මම අප්‍රේල් 17 ලිව්ව කොටසක් මේ: "හීන සහ යථාර්ථය දෙකක්. ඔය දෙක අතර දෝලනය වෙමින් තමයි අපි පවතින්නේ.
සමහර රැළි ප්‍රායෝගික නෑ, හීනෙට බරයි යථාර්ථයට ටිකක් දුරයි. එහෙම රැළි උස්සලා දෙන අයම රැල්ල තමන්ට අවාසි වේගෙන එද්දි අනික් පැත්ත ගහනවා. ඒක ඒකාන්තයි." 
(https://tharuwehi.blogspot.com/2022/05/blog-post_83.html?m=0) 
මාධ්‍ය කාලෙන් කාලෙට එක එක රැළි උස්සලා දෙනවා. හැබැයි එයාලගේ ව්‍යාපාරයට, පැවැත්මට හෝ පසුබිම් දේශපාලනයට අනතුරක් වෙන තත්වයකට එද්දිම අනික් පැත්ත ගහනවා. නැත්නම් රැල්ල උස්සලා උස්සලා දීලා නොහිතුව විදිහට උස්සලා පොළොවේ ගහන්නත් පුළුවන්. 

ඔය සේරම කරලා පව් සමාකරගන්න CSR (Corporate Social Responsibility) වැඩසටහන් කරනවා. (බලන්න මාධ්‍ය හැසිරීම එක්ක බැලුවම ඒ වචන තුනම කොයිතරම් නම් විහිළුවක් ද කියලා!). පෝයදාට පන්සල් ඒකාලෝක කරනවා. දාන බෙදනවා. ගංවතුරක් නියගයක් ආවම දාන මාන, පරිත්‍යාග කරනවා. 
ඒ එක මොහොතකට. 
හැබැයි ඒ මොහොතට බෑ අර ඉතිරි දවස් 364දී පැය 24පුරා කරන හානිය පියවන්න! 
ලංකාව අද පත්වෙලා ඉන්න තත්වයට දේශපාලකයෝ තරමටම සියලු මාධ්‍ය වගකියන්න ඕන. හැම ප්‍රශ්නයක්ම නිර්මාණය කිරීමේ සිට පෝෂණය කිරීම දක්වා මාධ්‍යවල භූමිකාව සුලුපටු නැහැ. ඊටපසුත් මාධ්‍ය සදාචාරය, මාධ්‍ය වගකීම, වගේ වැල්බයිලා ගයා ගෙන එද්දි ප්‍රේක්ෂකයා අතුල් පහර නොදීමේ ආනිශංස තමයි මේ රටක් හැටියට ලෝකයක් ඉදිරියේ පීචං වෙමින් අපි අද විඳවන්නේ! ජනප්‍රිය වෙන්න, නාලිකාවේ දර්ශක ඉහළ යවාගන්න ඕනෑම කුණු මල්ලක් දිග හැරීමේ මාධ්‍ය භාවිතය නවත්ත ගන්න තිබ්බා ප්‍රේක්ෂක කකුලුවොත් කෙළින් ගියා නං! 

එහෙම දවසක්... හීනයක්! 

~✒️ Aash Weerasinghe

#SLmedia #JournalismIsDead #mediaincrisis #responsiblemediaconsumption #lka #damagebymedia

No comments:

Post a Comment