එංගලන්තයට එරෙහි ඉන්දීය ටෙස්ට් නායකත්වය Bumrahට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021/22

420

එංගලන්තය සහ ඉන්දියාව අතර හෙට (01) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrahට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක Rohit Sharma ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට සිටි නමුත් පසුගිය සතියේ දී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම නිසාවෙන් තරගයෙන් ඉවත් වීමට සිදු වුනා.

කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන KL Rahul ද ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් Rohit Sharma නොමැති විට කණ්ඩායම මෙහෙයවන්නේ කවුරුන් දැයි ප්‍රශ්නයක් මතුව තිබූ අතර එහි දී එම වගකීම Jasprit Bumrahට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.

කණ්ඩායමේ නිත්‍ය නායක Rohit Sharmaගේ කොරෝනා තත්වය යහපත් අතට හැරී ඔහු නියමිත දිනයට පෙර කණ්ඩායමට එක්වෙතැයි ඉන්දීය බලධාරීන් බලාපොරොත්තුවෙන් පසුවූවත්, අවසාන පරික්ෂාවන්ට අනුව ද ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව හිටපු නායක Kapil Devගෙන් පසුව ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවන පළමු වේගපන්දු යවන්නා බවට පත්වීමට Bumrah සමත්වී සිටිනවා.

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දුන් Rishabh Pant කණ්ඩායමේ උපනායකයා ලෙස නම් කර ඇති අතර Rohit Sharma වෙනුවට ආරම්භක පිතිකරු Shubman Gill කණ්ඩායමට එක්වනු ඇතැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් තරග පහකින් යුත් තරගාවලියේ අවසන් තරගය කල් දැමීමට සිදු වූ අතර ඒ් වන විට 2-1ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවුනා. කෙසේ නමුත් පසුව අවසන් තරගය ජූලි 01 සිට 04 දක්වා පැවැත්වීමට සංවිධායකයින් තීරණය කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<