සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක් අභිබවා යන දස්කමක්

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2022

610

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2022 ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වූ පැරා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසි කිරීම ඉසව්වේ කැපී පෙනෙන දස්කමක් දක්වන්නට සමත්ව තිබෙනවා.

F44 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීම අවසන් තරගයට සහභාගී වූ සමිත එහි දී මීටර් 66.60ක දස්කමක් දක්වමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

ඔහු එහි දී දැක්වූ දස්කම 2021 පැරාලිම්පික් උළෙලේ දී F44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීම ඉසව්වේ මීටර් 66.29ක දස්කමක් දක්වමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩක Michal Burian පිහිටුවා තිබූ ලෝක වාර්තාව අභිබවා යන දස්කමක් වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් මෙම තරගාවලිය ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ වාර්තා යටතට නොගන්නා තරගාවලියක් නිසාවෙන් එය ලෝක වාර්තාවක් ලෙස නිල වශයෙන් පිළිනොගන්නා බව ජාතික පැරා කමිටුවේ නිලධාරියෙකු ThePapare.com වෙත තහවුරු කර සිටියා.

පැරා ක්‍රීඩකයින් පිහිටුවන වාර්තා සලකා බලන්නේ ජාත්‍යන්තර තරගාවලිවල දී සහ ජාත්‍යන්තර විනිසුරුවරයන් විසින් අධීක්ෂණය කරන තරගාවලිවල දී පමණක් බව එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

පැරා පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන සමිත පසුගිය වසරේ පැවති පැරාලිම්පික් උළෙලේ දී F64 කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනේ මීටර් 65.61ක දස්කමක් දක්වමිනුයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<