ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින හරඹයට සූදානමින්

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

326

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ මෙතෙක් ඉන්දියාව සමඟ එක ම හෝ තරගාවලියක් ජයග්‍රහණය කර නොමැති පසුබිමක ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. තරග 3කින් සමන්විත මෙම තරගාවලිය ජූලි 1 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 29ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 2ක් පමණයි. තරග 26ක් පරාජය වී ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග ඉතිහාසයේ අප කණ්ඩායම සතු වෙන්නේ එක ම එක වාර්තාවක් පමණයි. ඒ කණ්ඩායමක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි. 2013 වසරේ පැවති ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව කඩුලු 5කට ලකුණු 282ක් ලබා ගැනීමට අපේ ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

ඉන්දීය ක්‍රීඩිකාවෝ අපට එරෙහිව ඉනිමක ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2006 වසරේ දී කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු 269යි.

එකී වාර්තාව එසේ වෙද්දී, දෙරට අතර ද්විපාර්ශීය එක්දින තරග ආරම්භ වෙන්නේ 1997 වසරේ දී ශ්‍රී ලංකාවට එක්දින වරම් හිමි වී වසර 17ක් ඉක්ම වූ පසුවයි. ඒ 2014 වසරේ දී අප කණ්ඩායමේ ඉන්දීය සංචාරයත් සමඟින්.  එදා තරගාවලියේ දී අපේ කණ්ඩායමේ නායිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන කටයුතු කළ අතර ඉන්දීය කණ්ඩායම මෙහෙය වූයේ Mithali Raj  විසින්. තරගාවලිය 0-3ක් ලෙසින් අපේ ක්‍රීඩිකාවෝ පරාජයට පත් වෙනවා.

ඊට පසුව 2016 වසරේ දී 3-0ක් ලෙසත්, 2018 වසරේ දී 2-1ක් ලෙසත් ඉන්දියාව ජයග්‍රහණය කරනවා. මේ එතැන් සිට පැවැත්වෙන දෙරට අතර තරගාවලියයි.

ඉන්දීය ක්‍රීඩිකාවෝ මෙරට පිවිසෙන්නේ එක්දින තරග ඉතිහාසයේ දරුණුතම පරාජයන් හී අවමානය තුරුල් කරගෙනයි. ඔවුන් අවසන් වරට ද්විපාර්ශීය තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ මීට වසර ත්‍රිත්වයකට පෙර 2019 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි. ඊට පසුව පැවති දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ වූ තරගාවලි වෙතින් ඔවුන් පරාජයට පත් වෙනවා.

ශ්‍රී ලංකාවේ එක්දින තරග ඉතිහාසය ඉන්දියාවට වඩා ඛේදනීයයි. ශ්‍රී ලංකාව 2008 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ මෙරට දී පැවති තරග 5කින් යුත් තරගාවලිය 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙතෙක් මේ දක්වා පැවති කිසිදු ද්විත්ව තරගාවලියක් ජයග්‍රහණය කර නැහැ. එය සංඛ්‍යාත්මක ව 22ක්.

ඒ අනුව දෙරට ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට එක් වෙන්නේ තම අභිමානයන් නැවත කැන්දීමේ අරමුණ පෙරදැරිවයි. ශ්‍රී ලංකාව වසර 14කින් නොලද ජයග්‍රහණයක් ජයග්‍රහණය කිරීමටත් සහ ඉන්දියාව වසර 3කින් නොලද ජයග්‍රහණයක්, ජයග්‍රහණය කිරීමටත් ය. එහි දී එකිනෙකා මත පැටවෙන වගකීම් සුළු පටු නැහැ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: චමරි අතපත්තු (නායිකාව), නිලක්ෂි ද සිල්වා, කවිෂා දිල්හාරි, විශ්මි ගුණරත්න, අමා කාංචනා, හංසිමා කරුණාරත්න, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාර, හර්ෂිතා මාදවි, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනි, ඕෂදි රණසිංහ, ඉනෝකා රණවීර, සත්‍යා සංදීපනී, අනුෂ්කා සංජීවනී, මල්ෂා ෂෙහානි, තාරිකා සෙව්වන්දි,

චමරි අතපත්තු

32 හැවිරිදි නායිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අතරින් වඩාත් විශ්වාසවන්ත සහ බලාපොරොත්තු අතුරින් ඉහළින් ම සිටින ක්‍රීඩිකාවයි. මේ දක්වා තරග 87ක දී ලකුණු 2767ක් ලබා සිටින චමරි මෙරට දී සහ විදෙස් රටවල දී ශතක 3 බැගින් වාර්තා කරමින් ශතක 6ක් සහ අර්ධ ශතක 14ක් තම ලකුණු අතරට එක් කර තිබෙනවා.

එමෙන් ම ඇය මෙරට ක්‍රීඩිකාවන් අතරින් පෞද්ගලිකව වාර්තා කරන ලද හොඳම ඉනිම් ලැයිස්තුවේ ඉදිරියෙන් වූ අවස්ථා 8 ම සතු කරගෙන තිබෙනවා. ඇයගේ ඉහළ ම වාර්තා ගත ලකුණු සංඛ්‍යාව වෙන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 178යි. එය මෙරට ක්‍රීඩිකාවක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වෙනවා. මෙරට ක්‍රීඩිකාවන් අතුරින් වැඩිම ශතක සහ වැඩිම අර්ධ ශතකවල හිමිකාරිය ද වන්නේ ඇයයි.

චමරිගේ තරග අතර මෙරට දී තරග 37ක දී ලබා ගන්නා ලද ලකුණු 1154ක් ඇති අතර ඉන්දියාවට එරෙහිව දෙරටේ දී තරග 12ක දී ලබා ගන්නා ලද ලකුණු 310ක් ඇතුළත්. එහි සාමාන්‍ය තරගයකට 25.83ක්.

12 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා නායිකා ලැයිස්තුවේ චමරි මේ දක්වා තරග 30කට නායකත්වය දී ඇති අතර ඉන් ජයග්‍රහණය කරා රැගෙන යෑමට හැකි වි ඇත්තේ තරග 3ක දී පමණයි. තරග 26ක් පරාජය වෙද්දී එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් ව තිබෙනවා.

චමරි පන්දු යවන්නියක් ලෙසින් කඩුලු 25ක් ලබා ඇති අතර ඉන් ඉන්දියාවට එරෙහිව ලබා ඇත්තේ කඩුලු 4ක් පමණයි. කෙසේ වෙතත් චමරිගේ අවසන් වසර 3ක එක්දින ජාත්‍යන්තර ඉනිම් 5ක දී ලකුණු 259 රැඳී ඇති අතර එහි සාමාන්‍ය 51.8ක්. එබැවින් ඇය මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩිකාව බවට පත් වන්නේ ඉබේමයි.

හර්ෂිතා මාධවී

23 හැවිරිදි වමත් පිතිකාරිනියක් වන හර්ෂිතා මාධවී විශ්වාසය තැබිය හැකි ක්‍රීඩිකාවක් ලෙසින් හැඳින්වේ. මේ දක්වා  එක්දින ජාත්‍යන්තර පිටියේ තරග 15කට සහභාගී වී ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව අර්ධ ශතකයක් සමඟින් ලකුණු 369ක් පමණයි. ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු ලෙසින් සටහන් වෙන්නේ පාකිස්තානයට එරෙහිව ලබාගත් ලකුණු 75යි.

ඇය විසින් නිමා කරන ලද එක්දින සහ විස්සයි විස්ස තරග දෙවර්ගයෙන් ම අවසන් ඉනිම් 10 දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 261ක් ලබා ගෙන ඇති අතර, එහි සාමාන්‍ය 32.62ක් ලෙසින් සටහන් වෙනවා.

අවශ්‍ය අවස්ථාවක දී දකුණතින් මද වේගපන්දු යැවීමේ ද නිරත ඇය ඉන්දියාවට එරෙහිව තරග බිමට  පිවිසෙන පළමු අවස්ථාව මෙයයි.

හසිනි පෙරේරා

26 වැනි වියේ පසුවෙන හසිනි පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දක්වන තවත් වමත් පිතිකාරිණියක් ලෙසින් හැඳින්විය හැකියි. මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 35කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 462ක්.

දක්ෂතා පෙළ ගැස්වීමේ දී ඇය සහභාගී වූ අවසන් ඉනිම් 10 දී ලබා ඇත්තේ ලකුණු 103ක් පමණක් වූව ද මෙතෙක් ඉන්දියාවට එරෙහිව තරග 3කට ක්‍රීඩා කරමින් ලකුණු 89ක් ලබා සිටිනවා.

ඉනෝකා රණවීර

36 හැවිරිදි වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර, මේ දක්වා තරග 62කට ක්‍රීඩා කරමින් කඩුලු 64ක් ලබා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරග ඉතිහාසයේ තෙවැනියට වැඩිම කඩුලු ලාභිනිය ලෙස ලැයිස්තු ගතව සිටිනවා. වමත් පිතිකාරිණියක් ලෙසින් ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 168ක්.

විශ්වාසවන්ත යෞවනීයෝ

මොවුන් සමඟ කණ්ඩායමට එක් වී සිටින 16 හැවිරිදි විශ්මි ගුණරත්න, 21 හැවිරිදි කවිෂා දිල්හාරි, 22 හැවිරිදි සත්‍යා සංදීපනී සහ 21 හැවිරිදි තාරිකා සෙව්වන්දි ද තමන්ට අවස්ථාවක් ලදොත් වහා ක්‍රියාත්මක වීමට සූදානම් ව සිටිනු නොඅනුමානයි. මොවුන් සියලු දෙනා දේශිය පිටියේ දී පෑ දක්ෂතා ජාත්‍යන්තර පිටියට ද රැගෙන ඒ නම් ඉන්දීය ක්‍රීඩිකාවන් පාලනය කිරීම එතරම් ම අමාරුවක් නොවනු ඇත.

ඉන්දීය එක්දින සංචිතය: Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana (උප නායිකාව), Shafali Verma, Yastika Bhatia, S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh, Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Taniya Bhatia, Harleen Deol

Harmanpreet Kaur

33 වියේ පසුවෙන Harmanpreet Kaur 2009 වසරේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගන්නේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසින් වර්ගීකරණය පත් වෙමින්. එදා සිට මේ දක්වා එක්දින තරග 118කට ක්‍රීඩා කර ඇති ඇය ඉනිම් 100ක දී ලකුණු 2982ක් ලබා සිටිනවා. එය ඉන්දීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් ලබා සිටින වැඩිම ලකුණු අතර දෙවැනි තැන රැඳී තිබෙනවා. ශතක 4ක් සහ අර්ධ ශතක 15ක් ඊට අයත්. ඇයගේ තරග ලැයිස්තුවේ පෞද්ගලික හොඳම ඉනිම ලෙසින් සටහන් වෙන්නේ 2017 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 171යි.

ඇය ශ්‍රී ලංකාවට එරෙහිව තරග 13ක දී ලකුණු 181ක් රැස් කරගෙන ඇති අතර ඊට අර්ධ ශතකයක් ද ඇතුළත්. එමෙන් ම ශ්‍රී ලංකාවේ දී තරග 9කට ක්‍රීඩා කර ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 136ක් ලෙසින් ද සටහන් වෙනවා.

ඇයගේ අවසන් එක්දින තරග 5 දී ශතකයක් සහ අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 242ක් රැස් කරගෙන ඇති අතර එහි සාමාන්‍ය 60.5ක් ලෙසින් සටහන් වෙනවා. එබැවින් ඉන්දීය කණ්ඩායමේ වඩාත් ප්‍රචණ්ඩ ක්‍රීඩිකාව ලෙසින් ඇය හැඳින්විය හැකියි.

පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය සතුව ලබා ගත් කඩුලු 29ක් ද වෙනවා.

ඉන්දීය තරග ඉතිහාසයේ තරග 5කට නායකත්වය දී ඇති ඇය ඉන් තරග 4ක් ම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වෙනවා.

Smriti Mandhana

25 වැනි වියේ පසුවෙන Smriti Mandhana කණ්ඩායමේ උපනායිකාව ලෙසත්, කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකාරිණිය ලෙසත් කටයුතු කරනවා. මේ දක්වා එක්දින තරග 71කට සහභාගී වී ඇති ඇය ලකුණු 2788ක් ලබා ගන්නේ ශතක 5ක් සහ අර්ධ ශතක 22ක් සමඟින්. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.24ක් ලෙසින් ඉහළ අගයක සිටින ඇය, ඉන්දීය කාන්තාවන් අතර සිව්වැනියා ලෙසින් පිතිකරු ලැයිස්තුවේ ස්ථාන ගතව සිටිනවා.

මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 10කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 333ක්. ඉන් ලකුණු 138ක් වාර්තා කරන්නේ මෙරට දී. ශ්‍රී ලංකාවට එරෙහිව අර්ධ ශතක 4ක් වාර්තා කරන ඇය ඉන් 2ක් වාර්තා කරන්නේ මෙරට දී.

ඇයගේ ලකුණු පුවරුවේ අවසන් එක්දින තරග 5 දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 269ක් ලබා තිබෙනවා. එහි තරගයක සාමාන්‍ය 53.8ක්. එබැවින් පිතිකාරිණියක් ලෙසින් පිටියට පිවිසි වහා හරවා යැවිය යුතු තැනැත්තියක් ලෙසින් ඇය පත් වෙනවා.

 Rajeshwari Gayakwad

31 වැනි වියේ පසුවෙන වමතින් දඟපන්දු යවන ඇය 2014 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින වරම් දිනා ගත් ක්‍රීඩිකාවක්. එතැන් සිට මේ දක්වා තරග 58කට සහභාගී වී ඇති ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 92ක්. එය ඉන්දීය පිතිකාරිණියන්ගේ ඉතිහාසයේ හොඳම 5 වැනියා ලෙසයි සටහන් වෙන්නේ.

ඇය ශ්‍රී ලංකාවට එරෙහිව තරග 9ක දී කඩුලු 13ක් ලබා සිටින අතර ඉන් කඩුලු 10ක් ම ලබා ගන්නේ මෙරට දී බැවින් ඇයට මේ තණතිලි වඩාත් යෝග්‍ය වෙනු ඇත. එනිසා මෙරට පිතිකාරිණියන් පරිස්සම් විය යුතු පන්දු යවන්නියක් ලෙසින් ඇය හැඳින්විය හැකියි.

Deepti Sharma

තවමත් 24 වැනි වියේ පසුවෙන Deepti Sharma මේ දක්වා තරග 74ක දී කඩුලු 81ක් බිඳ හෙලා ඇති ක්‍රීඩිකාවක්. දකුණතින් පිට දඟපන්දු යවයි. තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසින් ද හැඳින්වේ. මේ දක්වා ඇති ලකුණු සංඛ්‍යාව 1782ක්. ශතකයක් සහ අර්ධ ශතක 11ක් එහි ඇතුළත්.

කෙසේ වෙතත් ඇය තම අවසන් ඉනිම් 5 දී එතරම් දක්ෂතා අතරට පැමිණි නැහැ. එමෙන් ම ශ්‍රී ලංකාව සමඟින් තරග 8කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ද වගකිව යුතු යමක් කර නැහැ. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට යම් අස්වැසිල්ලක් ලද හැකියි. නමුත් මෙම තරගාවලියේ දී දක්ෂතා අතරට පිවිසීමේ දැඩි උවමනාව හේතුවෙන් ඇය වඩාත් ප්‍රවේගකාරී ද විය හැකියි.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය; ජුලි 1 – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • දෙවැනි එක්දින තරගය; ජුලි 4 – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • තෙවැනි එක්දින තරගය; ජුලි 7 – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

දෙපිලේ කණ්ඩායම් දක්ෂතා ගැන සැලකිලිමත් වීමේ දී ඉන්දීය ක්‍රීඩිකාවෝ පෙරමුණේ සිටින බැව් පිළිගත යුතු සත්‍යයක්. නමුත් අපේ ක්‍රීඩිකාවෝ ද තරගයක් ලෙහෙසියෙන් බැහැර කරන පිරිසක් නොවේ. ඊට සූදානම්, වඩාත් සටන්කාමී කණ්ඩායමක් අප සතුය. තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<