එංගලන්තයේ සාර්ථකම නායකයා ඔටුන්න අතහරියි!

174

එංගලන්තයේ වත්මන් එක්දින නායක Eoin Morgan ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. 2006 වසරේ දී ආරම්භ කළ සිය ක්‍රිකට් දිවිය උත්කර්ෂවත් ලෙස නිමා කිරීමට Eoin Morgan සමත්ව සිටිනවා.

මේ වන විට 35 හැවිරිදි වියේ පසු වන Morgan එංගලන්තයේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම එක්දින ක්‍රිකට් පිටියේ සාර්ථකම නායකයා ද වනවා. Morgan එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 225ක දී ශතක 13ක් සමඟින් ලකුණු 6957ක් වාර්තා කර තිබෙනවා. සමස්තයක් වශයෙන් Morgan එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දී ශතක 14ක් සමඟින් ලකුණු 7701ක් රැස්කරගෙන සිටිනවා.

Morgan තරග 126ක දී එංගලන්තයට නායකත්වය දී ඇති අතර ඉන් තරග 76ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් වුනා. ඔහුගේ ජයග්‍රහණ ප්‍රතිශතය 65.25%ක් වනවා. Morganගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන සන්ධිස්ථානයක් සනිටුහන් කෙරුණේ 2019 වසරේ දීයි. 2019 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය මව්බිමේ දී එංගලන්තය වෙත රැගෙන ඒමට Morgan සමත් වුනා. එය ඔවුන්ගේ මංගල ICC ශූරතාවය ද වනවා.

විස්සයි විස්ස තරගවල දී ද අතිශයින්ම සාර්ථක වන Morgan තරග 115ක දී අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 2458ක් වාර්තා කරගෙන ඇත්තේ ප්‍රහාරාත්මක වේගය 136.18ක් ලෙස සටහන් කරමින්.

Morgan ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම විස්සයි විස්ස නායකයා වන අතර ඔහු තම කණ්ඩායමට නායකත්වය දුන් තරග 72න් 42ක්ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

Morgan සිය සමුගැනීම ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක Geoff Allardice විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණා.

“Eoin Morgan අයර්ලන්ත කණ්ඩායම සමඟ ඔහුගේ මුල් කාලයේ සිටම සුවිශේෂී දක්ෂතා දැක්වූවා. වසර ගණනාවක් පුරා ඔහු ඉහළ පෙළේ පිතිකරුවෙකු සහ නායකයෙකු ලෙස වර්ධනය වූනා වගේම සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ එංගලන්තයේ වර්ධනයට නායකත්වය දුන්නා. 2019 වසරේ ලෝඩ්ස් පිටියේ දී ලැබූ ලෝක කුසලාන ජයග්‍රහණය එයට සාක්ෂි සපයනවා. ICC වෙනුවෙන්, මම මේ වෙලාවේ ඔහුට විශිෂ්ට වෘත්තීය ජීවිතය සඳහා සුබ පතනවා. ඔහුගේ ජීවිතයේ මීළඟ අදියර සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<