රංගන සහ මුරලිගෙන් ලැබූ පන්නරය සිහිකරන ඕස්ට්‍රේලියානුවා

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය 2022

1120

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සාමාන්‍යයෙන් ආසියාතික තණතීරු දඟපන්දු යවන්නන්ට හිතකර වනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ තණතීරු පළමු දිනයේ සිටම දෝලනයක් සහ දඟකැවීමක් සහිත වන නිසාවෙන් සංචාරක ඕස්ට්‍රේලියාව සිය ප්‍රමුඛතම දඟපන්දු යවන්නා වන Nathan Lyon මත දැඩි ලෙස විශ්වාසය තබනු ඇත.

Pat Cumminsගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා කණ්ඩායම ජුනි 29 වැනිදා තරගයට පිවිසෙන්නේ පාකිස්තානය 1-0ක් ලෙස පරාජය කරමින් තරගාවලි ජයග්‍රහණයක් සටහන් කිරීමෙන් අනතුරුවයි. පාකිස්තානය සමඟින් පැවති තරග තුනෙන් මුල් තරග දෙක ජය පරාජයකින් තොරව අවසන් වූ අතර අවසන් තරගය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ටෙස්ට් තරග 108කට ක්‍රීඩා කරමින් කඩුලු 427කට හිමිකම් කියන Nathan Lyon, 2016 වසරේ ශ්‍රී ලංකාවේ දී 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු ද වුනා.

දඟ කැවීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන උපමහාද්වීප තත්වයන් තුළ පන්දු යවන අතරතුර ඔහුගේ දැක්ම වෙනස් කළ ආකාරය Nathan Lyon මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබුණා. ඒ රංගන හේරත් සමඟින් ඔහු මීට පෙර කළ සාකච්ඡාවක් ද උපුටා දක්වමින්.

2011 වසරේ දී සිය මංගල තරගයට සහභාගී වූ Nathan Lyon, ගාල්ලේ දී පැවති ඔහුගේ පළමු ටෙස්ට් තරගයේ පළමු පන්දුවෙන්ම විශිෂ්ට පිතිකරු කුමාර් සංගක්කාර දවා ගැනීමට සමත් වුනා.

මම රංගනගෙන් ඇහුවා ‘මම නොකරන ඒත් ඔබ කරන දේ කුමක්ද?’ කියලා. වෙලාවේ ඔහු කිව්වා, ‘මම දන්නවා මම පන්දුව එක තැනකට දැම්මොත්, ඔයාලා ඒකට පහරදෙනවා කියලා’, ඒවා තමයි ඔහුගේ වචන. ඒක හරිම සරල මානසිකත්වයක්. සාර්ථකත්වය කියන්නේ දිගු කලක් තිස්සේ පිතිකරුවාගේ ආරක්ෂක පහරට අභියෝග කරන එක. අපිට ඒක කරන්න පුළුවන් නම්, අපිට ඔවුන් දවා ගන්න අවස්ථා නිර්මාණය කරන්න පුළුවන් වෙනවා”, Nathan Lyon පවසනවා.

ඒක තමයි රංගන හේරත් ඉතා හොඳින් කළේ. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ අපේ ආරක්‍ෂක පහරට අභියෝග කළා. ඔහුට ඒකේ ප්‍රතිඵල ලැබුණා.”

2014 වසරේ දී කොළඹ SSC පිටියේ පැවති සතියක පුහුණු කඳවුරක දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමඟ කළ පුහුණුවීම් පිළිබඳව ද Nathan Lyon පවසා සිටියා.

මම මුරලි සමඟ පුහුණුවීම් කළා, මුරලිට එරෙහිව පන්දුවට පහර දුන්නා. දිනකට පැය දෙක තුනක් මුරලි සමඟ පන්දු යැව්වා”, Nathan Lyon ඔහුගේ මතකය සිහිපත් කරමින් පවසා සිටියා. 2014 දී කොළඹ SSC පිටියේ සතියක් පුරා පැවති පුහුණු කඳවුරේ දී ලොව විශිෂ්ඨතම දඟපන්දු යවන්නෙකු සමඟ පළමු අත්දැකීම ලබා ගැනීමට Nathan Lyon හට අවස්ථාව ලැබී තිබුණා.

ඔහු සමඟ ශ්‍රී ලංකාවේ කාලය ගත කිරීමට ලැබීම ඉතා කැපී පෙනෙන දෙයක්. බොහෝ විට ඔහු මම මෙතෙක් ක්‍රීඩා කළ විශිෂ්ටතම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයායි. නියත වශයෙන්ම ඔහු ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා විය හැකියි. මුරලි සමඟ කතා කරන විට මට තේරුණා මම කරන්න ඕනේ ඔහු මෙන් පන්දු යවන්න උත්සාහ කිරීම නෙමෙයි. එය මානසික ක්‍රීඩාවක්. මම හිතන්නේ මම ඇත්තටම ලෝකයේ බොහෝ මිනිසුන්ගෙන් ඉගෙන ගැනීමට හැකි වෙලා තියෙනවා. නමුත් මුරලිගේ මානසිකත්වය තරමක් අද්විතීය දෙයක්”, Nathan Lyon වැඩිදුරටත් පවසා සිටියා.

මාර්තු මාසයේ දී පාකිස්තානයට එරෙහිව ඔවුන් ලැබූ ජයග්‍රහණය ආසියානු තණතීරු තුළ ඔවුන්ට ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාසයක් ඇති කර ඇති බව ද Nathan Lyon පවසනවා.

අපි කරන ක්‍රියාවලිය සහ අප කරන දේ ක්‍රියාත්මක වෙන බවට විශ්වාසය හදාගන්න ඕනේ. තමන්ගේ රටෙන් බැහැරව ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණය කිරීම කොතරම් දුෂ්කර දැයි අපි කවුරුත් දන්නවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<