IPL කාලසීමාව දීර්ඝ කිරීමට පාකිස්තානය එරෙහි වෙයි

4138

IPL පැවැත්වෙන කාලසීමාව මාස 2 1/2ක් දක්වා දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ආ යෝජනාවකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වෙනවා.

මේ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Raja මීළඟ ICC සැසිවාරයේ දී ICCයේ අවධානය යොමු කරන බව පවසා සිටියා.

“IPL පැවැත්වෙන කාලසීමාව දිගු කිරීම ගැන තවමත් ස්ථිර තීරණයක් ගෙන නැහැ. මම ICC සමුළුවේ දී මේ පිළිබඳ අවධානය යොමු කරනවා”, Raja පවසා සිටියා.

“මගේ තර්කය පැහැදිලියි. ඒ පිළිබඳව හිතනවා නම් ඒක යම් වංචාවක්. අපි ඒකට හැම විදියටම අභියෝග කරනවා ICCයේ දී”, ඔහු පවසා සිටියා.

PTI වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah පවසා සිටියේ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය 2024 – 2031 චක්‍රයේ දී IPL සඳහා වැඩි කාලසීමාවක් යොදා ගන්නට අපේක්ෂා කරන බවයි.

“මීළඟ FTP චක්‍රයේ සිට, IPL තරගාවලිය සඳහා මාස දෙකහමාරක කාලසීමාවක් වෙන් වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර තලයේ ඉහළම ක්‍රීඩකයින්ට තරගාවලිය සඳහා සහභාගී වෙන්න පුළුවන්. අපි ICCය සමඟ වගේම විවිධ ක්‍රිකට් පාලක මණ්ඩල සමඟත් සාකච්චා පැවැත්වූවා”, යයි PTI පුවත් සේවය වෙත අදහස් දක්වමින් Shah පවසා තිබුණා.

Raja පවසා සිටියේ පාකිස්තානය, ඉන්දියාව සමඟ ක්‍රීඩා කරන්නට කැමැත්තෙන් සිටියත් රටවල් දෙක අතර දේශපාලනය නිසා එයට බාධා එල්ල වී ඇති බවයි.

“මම Sauravට කතා කළා සහ මම ඔහුට කිව්වා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩල වල මූලිකත්වය දරණ මේ වගේ වෙලාවක, ඔවුන්ට මේක වෙනස් කරන්න බැරි නම් කාට ද පුළුවන් කියලා.”

“IPL අවසන් මහා තරගයට එන්න කියලා Ganguly මට දෙපාරක් කිව්වා. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් බලද්දී එහි යන එක සාධාරණයි. නමුත් මේ තියෙන තත්වය නිසා අපිට ආරාධනා භාරගන්නකොට දෙපාරක් හිතන්න වෙලා තියෙනවා.”

Times Of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<