පළමු ටෙස්ට් තරගයට Smith එන ලකුණු

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

757

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු Steven Smith සහභාගී වනු ඇති බව cricinfo පවසා සිටිනවා. කෙසේ වෙතත් ඇඟිල්ලේ ආබාධයකට ලක්වුනු Mitchell Starc මෙම තරගයට සහභාගී වීම තවමත් ස්ථිර නැහැ.

එක්දින හා විස්සයි විස්ස තරගාවලි අතරතුර Smith සහ Starc දෙදෙනාම ආබාධවලට ලක්වුනේ ආබාධවලට ලක්වුනු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ගණන තවත් වැඩි කරමිනුයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන බදාදා (29) ආරම්භ වීමට නියමිතයි. Travis Head ද මේ වන විට කලව ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටින අතර Ashton Agar ද ආබාධයකට ලක්ව සිටින නිසා කලකට පසුව Glenn Maxwellට ටෙස්ට් වරම් හිමි වීමේ අවකාශය පවතිනවා.

නමුත් Smith මේ වන විට සිය ආබාධයෙන් සුවය ලබා සිටින අතර ඔහු අවසන් වරට ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී ටෙස්ට් ශතකයක් ද රැස් කරගන්නට සමත් වුනා.

“අපි තවමත් එක්දින ක්‍රිකට් ක්‍රීඩා කරනවා නම්, මම සහභාගී වීම අවිනිශ්චිත වෙන්න තිබුණා. නමුත් ටෙස්ට් ක්‍රිකට් සඳහා මම සූදානම්”, යැයි AAP පුවත් සේවයට අදහස් දක්වමින් Smith පවසා තිබුණා.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මදක් පහසුයි. මම පන්දු රකින්නේ slip ස්ථානයේ. මම පිටියේ ගොඩක් දුවන්නේ නැහැ. මේ වගේ ක්‍රීඩාංගණ තත්වයන් වන අමාරු දිවීම් අඩුයි.”

“හතරේ සීමාව අසල සාමාන්‍යයෙන් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් රඳවනවා. ගොඩක් වෙලාවට එය එක ලකුණක්, නැත්තම් හතරේ පහරක්. ඒ නිසා ගොඩක් දුවන්න නැහැ.”

ශ්‍රී ලංකාව සමඟ පළමු විස්සයි විස්ස තරගයේ දී ඇඟිල්ල කැපී යාම නිසා ආබාධයකට ලක්වූ Starc එම තරගයෙන් පසුව කිසිඳු තරගයක් ක්‍රීඩා කළේ නැහැ. ඔහුගේ මැහුම් කපා ඉවත් කර තිබුණු අතර පුහුණු සැසිවල දී ඔහු ප්ලාස්ටරය ද සමඟින් සුපුරුදු වේගයෙන් පන්දු යවා තිබුණා.

Starc ඉරිදා සවස ප්ලාස්ටරය නොමැතිව පන්දු යැවීමට සූදානමින් සිටි නමුත් ඔහු එම පුහුණු සැසියට සහභාගී නොවූ බවයි වාර්තා වෙන්නේ. ඔහු ඒ වෙනුවට ඇඟිල්ලේ කුඩා ප්ලාස්ටරයක් සමඟින් පිටිය වටේ මිනිත්තු 20ක පමණ ධාවනයකට සහභාගී වී තිබෙනවා.

තරගය අතරතුර දී ඇඟිල්ලට හානි වූවොත් පමණක් Starcට පන්දු යවන අතේ ප්ලාස්ටර් පැළඳිය හැකි බව තරග නිලධාරින් පවසා තිබුණා. එම නිසා ඇඟිල්ලේ ප්ලාස්ටර් වෙළුම් සම්පූර්ණයෙන් ඉවත් නොකර ඔහුට තරගයකට සහභාගී වන්නට අවකාශ හිමි වන්නේ නැහැ.

වෙළුම් තිබුණත් Starcට පන්දුව හැසිරවීමේ අපහසුවක් තිබුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එම නිසා බොහෝ විට බදාදාට පෙර වෙළුම් ඉවත් කර සුපුරුදු ලෙස පන්දු යවන්නට Starcට හැකිවන්නේ නැහැ.

“අපි ගොඩක් උත්සහ කළා හැකිතරම් කාලය දීලා එය සුව කරගන්න. නමුත් එය නරකම තැනක තියෙන්නේ”, යැයි Starc පවසා සිටියා.

“පන්දුව අවසානයට අතෙන් නිදහස් වන තැන එය තියෙන්නේ. වෙළුමක් සමඟ ක්‍රීඩා කිරීමෙන් මට වාසියක් ලැබෙන්නේ නැහැ. මොකද මට පන්දුව හොඳින් ග්‍රහණය කරගන්න බැරි වෙන නිසා.”

“ගොඩක් දෙනා විවිධ යෝජනා ගෙනෙනවා. නමුත් මෙහි දී පා දඟපන්දු යවන්නන්ට වඩා පිට දඟපන්දු යවන්නන් දස්කම් දක්වනවා”, ඕස්ට්‍රේලියානු පුහුණුකරු McDonald පවසා සිටියා.

“අපිට විශ්වාස නැහැ පිට දඟපන්දු යවන්නෙක් යොදා ගන්නවා නම් කවුද යොදා ගන්නේ කියලා. Ashton හිටියා නම් ඔහුව තමා යොදා ගන්නේ. ඔහු අපිට හොඳ පාලනයක් ගෙන දෙන්න ඉඩ තිබුණා.”

espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<