“මාව සෑහෙන වතාවක් කණ්ඩායමෙන් කැපුණා” – Dinesh Karthik

1161

2022 IPL තරගාවලියේ දී දැක්වූ සුපිරි දස්කම් නිසා ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නැවතත් අසුනක් හිමි වුනු Dinesh Karthik ඊයේ (17) දකුණු අප්‍රිකාව හමුවේ සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරගාවලිය 2-2ක් බවට පත් කරමින් Karthik ඉන්දීය ජයග්‍රහණයට අර්ධ ශතකයකින් දායක වුනා.

පන්දුවාර 12.5ක දී ඉන්දීය කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 81කට දැවී ගොස් තිබිය දී Karthik පිටියට පිවිසුණා. අනතුරුව Karthik සහ Hardik Pandya අගනා සබඳතාවයක් ගොඩනැගුවේ ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 169ක් දවා ඉහළ දමමිනුයි.

Karthik පන්දු 27ක දී අගනා ලකුණු 55ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් අන්තර්ගත වුනා.

“මම හිතනවා මම කණ්ඩායමෙන් සෑහෙන වතාවක් කැපිලා තියෙනවා. මට හැමතිස්සෙම උවමනාව තිබුණා ඉන්දීය කණ්ඩායමට නැවතත් එන්න.”

Rahulගේ නව නායකත්වයත් Dravidගේ නව පුහුණුකාරීත්වය ගැනත් ඔහු අදහස් දක්වා සිටියා.

“මම ගොඩක් සතුටුයි. මම ගොඩක් ආඩම්බරයි. කණ්ඩායමක් විදියට එහි වාතාවරණය විශිෂ්ටයි.”

නිමා වූ IPL තරගාවලියේ දී RCB වෙනුවෙන් Karthik ලකුණු 330ක් රැස් කළා. ඔහුගේ පන්දුවට පහර දීමේ වේගය ලෙස දැක්වුනේ 183.33ක්.

Karthik අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළේ 2019 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. ඔහු ඉන්දියාව වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ දීයි.

“මම හැමතිස්සෙම මගේ ක්‍රීඩාව දියුණු කරගන්න විදි හොයාගත්තා. මගේ වටේ ගොඩක් දෙනෙක් හිටියා මට උදව් කරපු. ඔවුන් මගේ ගමනට උදව් කළා. ඔවුන් විශේෂයි.”

Dinesh Karthik ඉන්දියාවේ පළමු විස්සයි විස්ස තරගයටත් ක්‍රීඩා කළා. ඒ 2006 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි. වසර 21ක යොවුන් ක්‍රීඩකයෙකු ලෙස ඔහු පන්දු 28ක දී ලකුණු 31ක් රැස් කළා. එම තරගයේ තරගයේ වීරයා වුනේ ද ඔහුයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පෙර තරගයේ දී රැස් කළ අර්ධ ශතකය Karthikගේ පළමු විස්සයි විස්ස අර්ධ ශතකයයි. ඒ අර්ධ ශතකයක් සමඟින් ඔහු ඉන්දීය හිටපු නායක Mahendra Singh Dhoni සතුව තිබුණු වාර්තාවක් තමන් සතු කරගත්තා. ඒ විස්සයි විස්ස අර්ධ ශතකයක් රැස් කළ වයස්ගතම ඉන්දීය ක්‍රීඩකයාගේ වාර්තාවයි.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<