HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවේ ළමයින් නොපෙනෙන අනතුරක! යුනිසෙෆ් ලෝකයේ අවධානය ඉල්ලයි!

‘ගෝටාගෝගම’ අරගලය දැන් නො කඩවා දින හැත්තෑවක් තිස්සේ පැවැත්වෙනවා. ඒ සඳහා එක් වූ තරුණයන් රටේ දැවෙන ප්‍රශ්න රාශියකට විසඳුම් ඉල්ලා තවමත් උද්ඝෝෂණය කරනවා. ඔවුන්ගේ ඒ සමහර ඉල්ලීම්වලට විසඳුම් පවා ලැබුණා. තරුණ පරපුරේ මේ උද්ඝෝෂණය නිසා රටේ ජනතාව ඡන්දය දීමට එහා කාර්යභාරයක් හා වගකීමක් තමන්ට තියෙන බව තේරුම් අරගෙන තියෙනවා. ඒත් රටේ දේශපාලන අධිකාරියට තවමත් ඒක තේරුම් ගිහින් නැහැ. 


ළමා මන්දපෝෂණය මඬින්න හොඳම ක්‍රමය පාසල් ළමුන්ට දිවා ආහාර වේලක් දීමයි.

මේ රට අවුරුදු තුනක් පාලනය කරපු ගෝඨාභය ජනාධිපති තුමා හිතන්නේ ඉදිරි අවුරුදු දෙකේදී තමාට මේ ප්‍රශ්න සියල්ල විසඳිය හැකි වන බවයි. ඔහුට මෙතෙක් වැරදුණේ ප්‍රශ්න හරියට තේරුම් නො ගැනීමත්, නිසි වෙලාවට නිසි තීන්දු තීරණ නොගැනීමත් නිසා බව අවබෝධ කර ගෙන සිටින තරුණයන්, තවදුරටත් ඔහුට කළ හැකි දෙයක් නැතැයි කියා තීරණය කරලා තියෙනවා. ඒකයි ඔවුන් ‘ගෝඨා ගෝ හෝම්’ කියන්නේ. 

දැන් අපේ රටේ ජනතාවට ගෑස් නෑ; බූමිතෙල් නෑ; පැට්රල් නෑ; ඩීසල් නෑ; ඖෂධ නෑ; කිරිපිටි නෑ; අත්‍යවශ්‍ය ආහාර නෑ; තිබුණත් කළු කඩේ ගානට ගන්න මුදල් නෑ; මිල පාලනයක් නෑ. ඕවා තමයි පාරට බැස්සාම අපට එකපාරටම පෙනෙන ප්‍රශ්න. ඔය ප්‍රශ්නවලට අමතරව ඕවා එක්කම ගැටගැහුණු තවත් ප්‍රශ්න කන්දරාවත් තියෙනවා. ඒවා එකින්එක කියන්න මේ වගේ ලිපියකින් බැහැ. 

ඉහත කී ප්‍රශ්නවලට මුල රාජ්‍ය භාණ්ඩාගාරයේ ඩොලර් නැතිකමයි. පසුගිය දෙවසර තුළ අපේ රටේ මුල්‍ය පාලනයේ ඇති වැරදි නිසා සිදුවූවක් බව අප දැනටමත් දන්නවා. මේ තත්වය උද්ගත වීමට ප්‍රධාන හේතුව වූ ආනයන හා අපනයනවල සමතුලිත භාවයක් නොතිබීම කලක් තිස්සේ පැවතිය දෙයක් වුනත් මෙය උත්කර්ෂයට පත් වූයේ මේ රජයේ මුල්‍ය පාලනය කළ අයගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසයි. ඒ වගේම අද අප මුහුණ පා තියෙන ආහාර අර්බූදය, අපනයන ආදායම අඩු වීම ආදියට මුල් වූයේ ජනාධිපතිවරයා හදිසියේ කෘෂි රසායනික ගෙන් වීම තහනම් කර ගොවීන්ට කාබනික පොහොර භාවිතයට බල කිරීම නිසා ඇති වූවක්. ඩොලර් හිඟය නිසා ඒ තීරණය ගත්තත් අන්තිමේ දී අතේ ඇති ඩොලර් ටිකත් සහල් ගෙන්වීමට වැය කිරීමට සිදු වූ නිසා අත්‍යවශ්‍ය ඉන්ධන හා ඖෂධ ගෙන්වීමට විදේශ මුදල් නැතිවීම නොවැළක්විය හැකි වුණා. 

අපේ ජනදිවිය අවුල් කළ ප්‍රශ්න ලෙස, මගතොට දී පැහැදිලිව පෙනෙන, ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ආහාර හිඟය, ඖෂධ හිඟය, උද්ධමනය නිසා ඇති වන මුදල් හිඟය, ආදිය අපට දැක්විය හැකි වුවත් මේ සියල්ලටම වඩා බරපතල ප්‍රශ්නයක් අපට නොපෙනෙන මානයේ තියෙනවා. ඒ ළමා මන්ද පෝෂණයයි. 

පසුගියදා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය වාර්ෂිකව නිකුත් කරන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ළමුන් 56,000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවක් හෙළිදරවු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ළමුන් ලක්ෂ 48ක් ඉන්නවා. එයින් ලක්ෂ 23ක් මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානමක් ඇති බවත් එයින් හෙළිවුණා. ඒ වගේ ම ආයතන ගත ව, ඒ කියන්නේ ළමා නිවාසවල රඳවා ඉන්නා, දරුවන් 10,000ක් ඉන්නවා. වර්තමාන ආර්ථික තත්වයන් යටතේ දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දීමට නොහැකි මාපියන්ගේ සංඛ්‍යාව ගණනය කිරීම අපහසුයි. ඒ නිසා කුසගින්නෙන් පෙළෙන ළමුන්ගේ ගණන නිශ්චිතව කිව නොහැකියි. අපේ රටේ වර්තමාන තත්වය අනුව මේ සංඛ්‍යාවන් මීට වඩා ඉහළ යා හැකියි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟවීම හා අධික ලෙස මිල ඉහළ යාම නිසා යුනිසෙෆ් ගණනය කළ ගණන මීට වඩා වැඩි වේවි. 

මට මතකයි, අපි පුංචි සන්ධියේ, ඒ කියන්නේ මීට අවුරුදු 70කට විතර ඉස්සර මගේ පියා වැඩ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත වන්නියේ පිහිටි දුෂ්කර පාසලකයි. ඒ පාසලට ආවේ ළමයින් සීයක් විතර ප්‍රමාණයක් නිසා රජයෙන් අනුග්‍රහයක් නො ගෙන ම කෘෂිකර්ම පාඩම යටතේ ළමයින්ගේ ශ්‍රමය යොදා ගෙන වවන දෙයින් ළමයින්ට දිවා ආහාර වේලක් දෙන්න ඔහු ක්‍රියා කළා මට මතකයි. කුඩා පාසලක් නිසා එය කළ හැකි වුනත් ලොකු පාසල්වලට ඒ විසඳුම් හරියන්නේ නැහැ. ඒත් ළමා මන්දපෝෂණය අඩු කිරීමට කළ හැකි පහසුම දෙය සෑම පාසල් ළමයකුට ම කෙසේ හෝ දිවා ආහාර වේලක් දෙන එකයි. 

අතීතයේ දී ඇමරිකන්-කැනඩා ආධාර වැඩ පිළිවෙළක් වූ ඇදිහැස ව්‍යාපාරය යටතේ පාසල් ළමුන්ට නොමිලේ කිරි වීදුරුවක් දුන්නා. ඒවා කිරි පිටි හැටියට ලොකු බෑග්වල පාසල්වලටම ගෙනැවිත් දුන්නා. ඊළඟට මුල්ගුරුවරුන් දෙමාපියන්ගේ සහය ඇතිව දවල් කාලයේ දී ඒවායින් කිරි හදලා වීදුරුවක් බැගින් දරුවන්ට දුන්නා. ඊට පස්සේ කාලෙක ඒ වෙනුවට විස්කෝතු කීපයක්, බනිස් ගෙඩියක් වගේ දෙයක් දුන්නා මට මතකයි. ඒකෙන් ළමා මන්දපෝෂණය අඩු කර ගන්න ලොකු තල්ලුවක් ලැබුණා. 


අනාගත ළමා පරපුර වෙනුවෙන් මව්වරුන්ටත්, කුඩා දරුවන්ටත් 
නිසි පෝෂණය ලබා දීම අප හැමගේම ප්‍රමුඛ වගකීමක්.

ඩඩ්ලි සේනානායක අගමැතිතුමා එයාගෙ එක පාලන කාලයක දී සමුපකාරය හරහා එකල භාවිත වුණු හාල් කූපන් පොතට හාල් සේරුවක් බැගින් නොමිලයේ දුන්නා. ඒත් මන්දපෝෂණය තුරන් කිරීමේ පියවරක් හැටියටයි. 

සමහර ඡන්ද කාලෙකදි මන්දපෝෂණයට පිළියමක් හැටියට නොයෙක් ආකාරයේ ආහාර වැඩ සටහන් දෙනවා කියලා නායකයන් පොරොන්දු වුණා. ඒ වගේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ඇට අටක් දෙනවා කියලා පොරොන්දු වුණා. ඒත් දිනුවාට පස්සේ ඒවා දෙන්න අමතක වුණා. ආර්. ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිතුමා මාසෙකට සැරයක් ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් දුන්නා. ඒත් ඒකත් වෙන පක්ෂයක් බලයට ආ ගමන් නතර වුණා. 

ඒ වගේ ම ප්‍රේමදාස මහත්තයාගේ කාලෙ ඔහුගේ ජනසවියට අමතරව තවත් අපූරු දිළිඳු සහන වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරුණා. ඒක ‘කැපකරු-මාපිය ක්‍රමය’ කියලයි හැඳින්වුණේ. දිළිඳු පවුල්වල ළමයින් තෝරාගෙන ඒ අය ඔවුන්ගේ දෙමවුපියන් සමග ජීවත්වන අතර ඔවුන්ට ආධාර කිරීමේ වැඩ පිළිවෙළක්. ඒ සඳහා ධනවත් අයට විතරක් නොවේ, ආයතනවලට පවා සහය වෙන්න ඉඩ සලසලා තිබුණා. ඒ වැඩ පිළිවෙළ යටතේ යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ අනුග්‍රහයෙන් ඉගෙන ගත් අය කීපදෙනකුම ඒ ආයතනයේ උසස් තැන්වල රැකියාව කරන බැව් මට පසුගියදා අසන්ට ලැබුණා. මේ ‘කැපකරු-මාපිය ක්‍රමය’ ඉතා හොඳ එකක් ලෙස යුනිසෙෆ් ආයතනය පැසසුවා පමණක් නොව එය අප්‍රිකානු රටවලටත් ගෙන ගියා. අද මේ වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ පින්නවල අලි බබාලාට විතරයි. අලුතින් බිහි වූ රජයන් ඒ වැඩ සටහන් එකක්වත් එක දිගට ම පවත්වා ගෙන ගියේ නැහැ. 

ආහාර තත්වය සාමාන්‍ය පරිදි තියෙද්දීත් මන්දපෝෂණය අපේ ළමයින්ට ප්‍රශ්නයක්ව තිබුණා. දැන් වෙනත් ප්‍රශ්න නිසා ඒ ප්‍රශ්නය යට ගියා. දැන් ඒ ප්‍රශ්නය ආයිත් මතුවෙලා තියෙනවා. අප ඉදිරියේ ඇති අනෙක් ප්‍රශ්නවලට මුදල් ලැබුණු ගමන්ම විසඳුම් දෙන්න පුලුවන්. ඒ වුණාට මන්දපෝෂණය කෑම ලැබුණු ගමන්ම නැති වෙන්නේ නැහැ. ඒ තත්වය නංවා ගන්න  කාලයක් ගත වෙනවා. 

ගැබිණි මවුවරුන්ගේ හා ළමයින්ගේ මන්දපෝෂණය නැති කරන්න ලොකු පිටිවහලක් වූ ත්‍රිපෝෂ ආහාර දීමනාව දැන් ලැබෙන්නේ නැහැ. එකට හේතුවත් ජනාධිපතිතුමා ගේ කාබනික පොහොර තීන්දුවයි. ඒ නිසා ගිය කන්නයේ ඉරිඟු වගාව සාර්ථක නොවුණු නිසා ඉරිඟු සැපයුම නතර වුණා. ඒකෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයත් නතර වුණා. තාමත් ත්‍රිපෝෂ සැපයීමක් සිදුවන්නේ නැහැ. 

ශ්‍රී ලංකාව පුරා ආයතන ගත ළමුන් 10,000ක් ඉන්නවා, අනාථ නිවාසවල. සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පවත්වා ගෙන හා වෙනත් ආයතන මගින් දෙන ආධාර මත පවත්වා ගෙන යන මේ ආයතනවලට වර්තමානයේ පවත්නා අධික මිල ගණන් නිසා ළමුන්ට ආහාර සැපයීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ආයතනයකට මුළු දවසකටම (වේල් තුනකටම) එක් ළමයකුට ආහාර සැපයීම සඳහා දෙනු ලබන්නේ රුපියල් සියයකට මඳක් වැඩි මුදලක්. පාන් රාත්තලක් රුපියල් 180ක් වුණාම, හාල් කිලෝ එකක් රුපියල් 300ක් වුණාම ඒ මුදලෙන් ඒ කාර්යය කළ නොහැකියි. ඉතින් මෙතෙක් කාලයක් රෝහල්වල ආහාර සැපයුම කළ කොන්ත්‍රාත්කරුවනටත් එය කළ නො හැකි දෙයක් වීමත් අහන්නත් දෙයක්යැ. ළමා වාට්ටුවල ළමයින්ට ආහාර සැපයුමත් දැන් ගැටලු සහගත වී ඇත්තේ ඒ නිසයි. මෙයත් ළමා මන්දපෝෂණයට බලපාන්නක්. 

දැන් අප හැමෝගෙම අවධානය ඉතා ඉක්මනින් ම මේ ළමා මන්දපෝෂණය කෙරෙහි යොමු කරවන්න ඕනෑ. ආණ්ඩුවට මේ ව්‍යවස්ථා සංශෝධන ප්‍රශ්න නිසා මෙයට අවධානය දෙන්න වෙලාවක් නෑ. යුනිසෙෆ් ආයතනය දැන් අනතුරු අඟවලා ඉවරයි. ලෝකයේ රටවලින් ආධාරත් ඉල්ලලා තියෙනවා. ඒවා ලැබෙන තෙක් මාපියන් වශයෙන් අපට ඒ දරුවන්ගේ මාපියන්ට මේ ගැටලුව විසඳා ගන්න හැකි ආකාරයෙන් උදවු කරමුද? අපට මේ සඳහා සංවිධානය වෙන්න අවශ්‍ය ම නැහැ. අපට පුළුවන් විධියට අවට හමුවන අයට අප හැකි මට්ටමින් යමක් කරන්න බලමු. මේ විධියට හිතුවොත් අපටත් මේ සඳහා යමක් කළ හැකි වේවි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments