2020/06/15 – ලංකාදීප

පොසොන් පුර පසලොස්වක දිනය ඊයේ ට යෙදී තිබුණි. මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම, පොසොන් පොහොය දිනයෙක සිදුවිය. දඩ කෙළියෙහි නිරතව සිටි දේවානම් පියතිස්ස රජු සමග මිහිදු රහතන් වහන්සේ පවත්වන ලද සංවාදය ඉතා ප‍්‍රකටය. දහම අවබෝධ කරගන්නට තරම් ප‍්‍රඥාවන්ත සමාජයක් ද යන්න සනාථ කරගැනීම සදහා එය පවත්වා තිබේ. එවැනි සංවාදයක් අද නැවතත් අවශ්‍යය. ජන සමාජය දැනුමෙන් පොහොසත්ය. තාක්ෂණ අවබෝධය තිබේ. ප‍්‍රඥාවන්තභාවය ගැන ප‍්‍රශ්නයක් ඇත. අදහස් සහ මතවාද ඒවායේ වෙනස්කම් පුළුල්ව දකින්නට තරම් සමර්ථභාවයක් අපට නැත.

දහම තුළ ගැබ්ව ඇති කරුණු ක‍්‍රියාවට නැංවීම අවශ්‍යය. මධ්‍යස්ථබව, නොඇලී නොගැලී සිටීම කොපමණ වැදගත්ද? සංඝ සමාජයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ගේ හැසිරීම උගන්වන පාඩමක් තිබේ. බුද්ධ දේශණාවෙහි එය සදහන්ව ඇත. සියල්ල වෙනස්වන සුළුය. ස්ථිර දෙයක් නැත. බුදු දහම පවා කාලානුරූපව වෙනස් වන බව ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සියළු ආසාවන් අත් හැර නිර්වාණය සොයා යන ගමනට එකතු වූ  සමහර භික්ෂුන් වහන්සේ ලා ගිහියන් ද ඉක්මවා ප‍්‍රකෝපකාරීව හැසිරෙති. ප‍්‍රචණ්ඩය. වෛරීව කටයුතු කරති. මෑත කාලයේ සිදුවූ අරගලයේ දී ද එවැනි සිද්ධි දැකගත හැකිවිය. පසුගිය අවුරුදු දහයක දොලහක කාලය තුළ සමාජයේ සිදුවූ පිරිහීම සාසනයට ද බලපා තිබේ. සාසන කතිකාවතක් සංවිධානය කොට නිසි ක‍්‍රියාමාර්ග ගත යුතු බව මධ්‍යස්ථ මතධාරී නායක හිමිපාණන් වහන්සේලා ප‍්‍රකාශ කරති. තරුණ භික්ෂුන් වහන්සේලා ගේ පැවැත්ම අරභයා වැදගත් තීරණ වලට එළැඹිය යුතු බව දක්වන ලද අවස්ථා ගණනාවකි. එහෙත් එවැනි පියවර පහසු නැත. ශාසනයත්, භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සම්බන්ධ ක‍්‍රියාකලාපයත් සංකීර්ණ අවධියකට පැමිණ තිබේ.

සංඝ සමාජය හා ගිහි පිරිස් අතර දුරස්ථබවක් තිබුණ අතර දැන් එකී පරතය ඉතාම අඩුය. බුද්ධ වංශයක් ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. ශුද්ධෝදන රජු අමතන බුදුන් වහන්සේ ඔබ ශාක්‍ය වංශයේ වන අතර තමන් බුද්ධ වංශයෙහි බව සදහන් කළහ. වර්තමානයෙහි මෙම පරතරය අවම තැනකට පත්ව ඇති බව පෙනෙන අතර එමගින් පත් වන අනතුර බෞද්ධයන් වශයෙන් අප හදුනාගත යුතුව තිබේ.

භික්ෂු අධ්‍යාපනය කාලානුරුපව ප‍්‍රතිසංවිධානය මනා පියවරක් වනු ඇත. තරුණ භික්ෂුන් වහන්සේලා පිරිවෙණකට සීමා කර පාලි, සංස්කෘත ඉගෙනගෙන සමාජ ප‍්‍රශ්නවලින් ඈත් කළ යුතු බවක් එයින් අදහස් නොකෙරේ. දැනුම, අවබෝධය හා ප‍්‍රඥාව සම්පාදනය කරන භික්ෂු විශ්ව විද්‍යාල ක‍්‍රමයක් ඇති කළ යුතුය. දැනට ඇති විෂය මාලා සංශෝධනය කර කාලීන සංකීර්ණ පර්යේෂණ අධ්‍යයනය කළ හැකි තැන් භික්ෂු අධ්‍යාපනය සදහා පිහිටුවීම සුදුසුය.

තරුණ භික්ෂුන් දේශපාලනය, ඉතිහාසය, තොරතුරු තාක්ෂණය හා ජාත්‍යන්තර ප‍්‍රවණතා ඉගෙනගැනීම ගැටළුවක් නොවේ. ගිහියන් සමග එකට අධ්‍යාපනය ලැබ සාමාන්‍ය සමාජයේ ප‍්‍රශ්නවලින් කැකෑරෙන හිත් ඇතිව පාරට බැසීම සුදුසු නැත. ආවේගයෙන් ගැටෙන අවස්ථා අනුචිතය. කදුළු ගෑස්, බැටන් ප‍්‍රහාර මැද ඇද වැටෙන චීවරය ජන සමාජයට ඇති කරන පීඩනය බලවත්ය. එය හුදෙක් සුළු සිද්ධි ලෙස තැකීම වරදකි. රට ජාතිය ගලවාගැනීම සදහා ජාතියේ මුර දේවතාවුන් වශයෙන් නැගී සිටීමක් ලෙස අර්ථ දැක්වීම අනුචිතය. රෝහිණී ගංගාවේ ජලය බෙදා ගැනීම සදහා ශාක්‍ය සහ කෝලිය දෙපාර්ශවය ගැටෙන අවස්ථාවේ රාජ්‍ය වෙනුවෙන් පෙනී නොසිටි බුදු රජාණන් වහන්සේ දෙපැත්ත සමගි කරන ලද බව දැක්වේ. රටට අවශ්‍ය එවැනි මග පෙන්වීමකි.

ශ‍්‍රී ලංකාව පැමිණ ඇති විනාශකාරී මාර්ගය සහ දේශපාලනයෙහි අගතිගාමී රාමුව ගැන සමාජයට ප‍්‍රශ්න තිබේ. ස්වකීය දායකයන් අත් විදින ගැහැට දකින තරුණ භික්ෂූන් වහන්සේලා චීවරය පසෙක තබා තීරණ ගැනීම වැලැක්විය නොහැක. ප‍්‍රශ්න දෙස මතුපිටින් බැලීම වෙනුවට සමාජය සුවපත් කරන දාර්ශණික මාර්ගයක් වෙත අවතීර්ණ විය යුතුය. එවැනි මගපෙන්වීමක් සදහා තරුණ භික්ෂූන් වහන්සේලා පුහුණු කළ යුතුය. හොද ඉගෙන ගැනීමේ පරිසරයක්, වෙනම අධ්‍යාපන ධාරාවක් සැපයීම අප සියළු දෙනාගේ වගකීමකි. එය ධර්මයත් ජන සමාජයත් ආරක්ෂා කරනු ඇත.